අගෝස්තු 10 සිට 16 දක්වා උපන් ඔබේ ගතිගුණ

අගෝස්තු 9, 2024

අගෝස්තු 10

(පෞද්ගලික අංකය 1)

පෞද්ගලික අංකය දෙවැන පෙළින් 1 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 1 හා 19 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම් පවසනවා. ෙමි දිනයේදී රවිගේ බලය චක්‍රයක් ඔස්සේ ගමන් කිරීම නිසා ඔබේ පෞරුෂය වඩාත් කැපී පෙනෙනු ඇත.

එමෙන්ම ඔබ තුළ වැඩියෙන් කැපී පෙනෙන්නේ අංක 1 ද අංක 4 ද යන්න අනුව ඔබේ සමාජශීලී බව තීරණය වනු ඇත. කොණ්ඩය අඩු බව, දීප්තිමත් බව වගේම නායකත්ව ගුණාංග කැපී පෙනීම සුවිශේෂී කරුණු වේ. හැඩ උපැස් යුවල පැල¼දීම මඟින්ද ඔබේ පෞරුෂය වඩාත් ඔප් නැංවිය හැකිය. උෂ්ණ බිබිලි ආසාධන, උණ හා වසංගත රෝගයන්ට මෙන්ම ඩෙංගු රෝගයට පහසුවෙන් ගොදුරු වීමේ අවදානමක් ඔබ සතුයි. ඔබ තුළ ජනිතවන අධික කායික ශක්තිය ව්‍යායාම මඟින් අනිවාර්යයෙන්ම දවා හැරිය යුතුයි.

නැතහොත් කාමුක ආශාවන් ආකාරයෙන් ඔබව එකී ශක්ති ධාරාව විසින් විනාශකාරී මාවතට ඇද දමනු ඇත. දුෂ්කර ළමා කාලය විසින් ඔබේ ජීවිතයට ගෙන දෙන පන්නරය විසින් ඔබේ ජීවිතයේ දෙවැනි අවදිය ඉතා සශ්‍රීක එකක් බවට පත් කර දෙනු ඇත. කෙසේ වෙතත් වයස 37 ක් පසු ඔබේ ජීවිතයේ ඇති කරවන දියුණුව ඔබ පෞද්ගලික අංක 4 ට නොව අංක 1 ට වැඩි බරක් ඇති අයෙක්නම් ශක්‍රයාටවත් නවත්වන්නට බැරි වේවි. නිතරම සිනාමුසු මුහුණින් පසුවන ඉතා සංවර හා උපශාන්ත ඔබ කෙරෙන් ඇසුරු කරන්නන් හට සැලසෙන්නනේ ඉමහත් සහනයකි. භාරත සමාජයේ මෑත ඉතිහාසය තුළ කුලහීනයන් වෙනුවෙන් මහා හඬක් අවදි කර අකලටම දිවි ගමනට සමුදුන් පූලාන් දේවි (1963) ජන්මලාභය ලබා ඇත්තේ ඔබ උපන් දිනෙන් හා මාසයෙනි.

අගෝස්තු 11

(පෞද්ගලික අංකය 2)

පෞද්ගලික අංකය දෙවැන පෙළින් 2 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 2 හා 20 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම් පවසනවා. රවිගේ බලය වගේම චන්ද්‍රයාගේ බලයත් මනාව ඔබ වෙත ආකර්ෂණය වීම නිසා වඩාත් ප්‍රිය මනාප හා ප්‍රතාපවත් පෙනුමක් ඔබ වෙත ගෙන දේවි. එහෙත් මානසික තලය තුළදී ඔබ අංක 1 තරම් දැඩි හා හිතුවක්කාරී වන්නේ නම් නැත.

මේ නිසා ඇතැම් යුතුකම් වගකීම් ඉටු කිරීමට බැ¼දීම නිසා ඔබ බොහෝ විට හෙම්බත් වනු ඇත. ඔබේ මානුෂීය ගුණාංග සමඟ සෙල්ලම් කිරීමටත් නොගැළපෙන සහකරු හෝ සහකාරිය උත්සහ දරනු ඇත. ඔබේ සමාව දීමේ අවසානය වන්නේ පිළිකුලයි. වරක් ඔබට ද්‍රෝහී වූ අයකුට සදහටම සමුදී ඉවත්වෙනවා හැර කිසි දිනෙක වෛර කිරීමට හෝ පළි ගැනීමට ඔබ පෙලඹෙන්නේ නැත.

අගෝස්තු මාසයේ ගිනි ත්‍රිවංකයේ බලපෑම නිසා පොදුවේ ඔබට උෂ්ණ රෝග හා උණ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද ඇත. ගිනි අනතුරු පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.

ඔබ තුළ ඇති දේව භක්තිය නිසා ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව හිමියි. මාරාන්තික රෝගාබාධයන් පවා විස්මිත ආකාරයට පැරැදවීමට පවා ඔබ විටෙක සමත් වනු ඇත. ඔබ සතු ධන බලය හෝ නිලතල ආදියෙන් කිසි විටෙකත් උද්දාමයට පත් නොවනු ඇත. මෝරන්නට මෝරන්නට බිමට නැවෙන වී කරළ සේ ඔබ වඩ වඩාත් නිහතමානී වනු ඇත. ජනාධිපති ආර්යා මහාචාර්‍ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය (1963) ඔබේ උපන් දවසෙම ජන්මලාභය ලබා ඇති බව සඳහන්.

අගෝස්තු 12

(පෞද්ගලිකඅංකය 3)

පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 3 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 3 හා 21 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම් පවසනවා. මාසය හා පෞද්ගලික අංකය නොගැළපීම නිසා වසර 21 වන තෙක් සකලවිධ වසංගත රෝග ඔබව සාදරයෙන් පිළිගන්නවා ඇත. එයින් පසු ඔබ සතු දරා ගැනීමේ ශක්තිය සුළු පටු නොවේ. ගුරුගේ ආකර්ෂණය දුබල නම් බාල කාලයේදීම දෙමාපියන්ගෙන් අයෙක් හෝ අහිමි වීමට ඉඩ වැඩිය. දේශකයකු වශයෙන් ජීවිතය ජය ගැනීමට සහජ කුසලතා උත්පත්තියෙන්ම ඔබ සතු වනු ඇත.

ඔබ උගත්කමට හා වැඩිහිටිකමට ගරු කරන කෙනෙක්. රවිගේ ආකර්ෂණයට ප්‍රබලව නතු වීම නිසා අනිකුත් අය අතරේ ඔබ නිතර කැපී පෙනීමට ලක් වෙනවා. මානසික ආතතිය පාලනය කර ගැනීම ඔබ සතු බව නිතර සිහියේ තබා ගත යුතුයි. නැතහොත් හෘදයාබාධයක් විසින් ඔබගේ වටිනා ජීවිතයට හදිසියේම තිත තබනු ඇත. කෑම බීම පාලනයක් ඔබ විසින් ඇති කර ගත යුතුමයි. ඔබ පවුලට ඉතා ළැදි අයකු වන අතර දරුවන් ඉහළට ඔසවා තැබීමට සැම විටම කැප වන්නෙකි. කෙසේ වුවත් 36 වියෙන් පසු ජීවිතයේ දෙවැනි භාගයේ ලෞකික ජීවිතයේ සුව පහසුව වගේම කැපී පෙනෙන දියුණුවක් උදා වෙනවා.

අගෝස්තු මාසයේ ගිනි ත්‍රිවංකයේ බලපෑම නිසා පොදුවේ ඔබටත් උෂ්ණ රෝග හා උණ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද ඇත. ගිනි අනතුරු පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා ගේ උපන් දවසත් (1956) ඔබේ උපන් දවසත් එක බව ඔබ මින් පෙර දැන සිටියාද?

අගෝස්තු 13

(පෞද්ගලික අංකය 4)

පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 4 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 13 හා 22 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම් පවසනවා. විශේෂයෙන්ම උපන් දිනය 13 වෙනිදාවක් නිසාම බාල වියේදීම දෙමාපියන්ගෙන් වෙන් වෙන්නට සිදුවන්න පුළුවන්. එමෙන්ම පවුලේ සහෝදර සහෝදරියන්ගේ පවා කෙනෙහිළිකම්වලට පත් වීමටත් වැඩි ඉඩක් පවතිනවා. කෙසේ හෝ අවසානයේදී දිනෙක ස්වෝත්සහයෙන් ජීවිතය ජයගෙන අනික් සියල්ලන් අභිබවා නැගී සිටින වාසනාවත් දෛවෝපගතව ඔබට හිමියි.

එමෙන්ම පුරුෂ පාර්ශ්වය කාන්තා පාර්ශවයේ මර උගුල්වලට හසු වන අතරම කාන්තාවන් නිසා නිතර හිත් පීඩාවීම් ද ඇති වනු ඇත. කාන්තා පාර්ශ්වය වුවද පිරිමි මායම්වලින් ආරක්ෂා වීමට වගබලා ගැනීම යහපත් වනු ඇත. බුදුන් දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති තාක් ස්වාභාව ශක්තීන් විසින් ඔබව ඉහළට ඔසවා තැබෙනු ඇත.

ඔබ මැදි වියේදී ස්ථූල භාවයට පත්වන්නේ නම් හෘද්‍යාබාධ හෝ මොළයේ නහර අවහිර වීමේ අවදානමට ඉඩ වැඩිය. සුපුරුදු විලසම සිහින්දෑරීව පසු වන්නේ නම් ස්නායූ අබාධ හා අංශභා අවදානම පිළිබඳ අවධානයෙන් පසු වන්නට වේවි. අගෝස්තු මාසයේ ගිනි ත්‍රිවංකයේ බලපෑම නිසා පොදුවේ ඔබට උෂ්ණ රෝග හා උණ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද ඇත. ගිනි

අනතුරු පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. එසේම ජීවිතයේ මැදි වියේදී අනිවාර්යයෙන්ම හෘදයාබාධ අවදානම් පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීම යහපත් වනු ඇත. කියුබාවේ කොමියුන්ස්ට් නායක පිඩෙල් ක්‍රැස්තෝ (1926), භාරතයේ මහා නිළි ශ්‍රී දේවි (1963) හා ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් වැනි මහත්ම මහත්මීන් ඔබගේ මාසයේ හා දිනයේදීම උපන් අයයි.

අගෝස්තු 14

(පෞද්ගලික අංකය 5)

පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 5 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 5 හා 23 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. රවි හා යුරේනස්ගේ බලයත් ප්‍රබල ආකාරයෙන් ඔබ කෙරෙහි බල පවත්වන නිසා අභියෝගාත්මක වටපිටාවක් තුළ තම බල පරාක්‍රමය පැතිර වීමට හැකියාව හිමි වනු ඇත. නිතර ජනතාව ඔබ වටා රොද බඳීන බැවින් රැවටිලිකාරයන්ගෙන් බේරී සිටීමද හිතන තරම් පහසු නොවනු ඇත. ළාබාල පේ‍්‍රම සම්බන්ධතා විසින් ඔබේ දිවියේ ප්‍රගමණය අඩපන කිරීමද සිදු වනු ඇත. ඔබ සතු ශූර බුද්ධිය මෙහෙයවා විවිධ ව්‍යාපාර හා කොටස් වෙළෙඳපොළ ආදියෙන් සාර්ථක ප්‍රතිපල අත් කර ගැනීමට පින ඇත.

එසේම ඉඳ හිට හෝ ලොතරැයි වාසනාව උරගා බැලීමේ ද වරදක් නැත. ඔබට ජීවිත කාලය තුළදී වඩා පලදායි වන්නේ කෙටි කාලීන සැලසුම් පමණක් වන බව නිරතුරු සිහියේ තබා ගන්න. වේගවත් රිය පැදවීම, වේගවත් නර්තනය, වේගවත් ක්‍රීඩා ආදියට ඔබ ප්‍රියය. සැම විටම සතුටින් සිටීමට කැමතිය. කිසිවෙකු විසින් ඔබට අවවාද අනුශාසනා කිරීම ගඟට ඉනි කැපීමක් වනු ඇත. පාප මිත්‍ර ආශ්‍රය නිසා ඔබට ජීවිත කාලය පුරා බොහෝ පාඩම් නොමිළේම ඉගෙනීමේ අවස්ථාව උදා වනු ඇත. කෙසේ වෙතත් මානසික ආතතිය පාලනය කර ගැනීමට ඔබ විසින් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව ඔබගේ සුබසෙත උදෙසා අවධාරණය කළ යුතුය. ගිනි, විදුලි හා අනතුරු අවදානම ඔබ කෙරෙහි අධිකව පවතී. අගෝස්තු මාසයේ ගිනි ත්‍රිවංකයේ බලපෑම නිසා පොදුවේ ඔබට ද උෂ්ණ රෝග හා උණ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද පවතිනවා. ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (1971) මහත්මයාත් ඔබත් සමඟ උපන් දින කේක් කපනවා ඇති.

 

අගෝස්තු 15

(පෞද්ගලික අංකය 6)

පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 6 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 6 හා 24 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම් පවසනවා. ඔබගේ පෞද්ගලික අංකය පෝෂණය කරන රවි විසින් ඔබට නායකත්ව ගුණාංග මනාව හිමි කර දෙනවා. ඒ වගේම තමයි බුධ විසින් ලබා දෙන වේගවත් බව හා ප්‍රයෝගකාරී බවින් ජීවිතය ජය ගැනීමේ හැකියාව.

වයස 51 පමණ සිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීමට ඔබට ඉඩ සැලසෙනු ඇත. වයස 60 පමණ සිට ආර්ථිකය පිරිහීම ඇරඹෙන විට අනාගත ආයෝජනයක්, බැංකුවේ ඉතිරියක් හෝ රක්ෂණයක් වැනි දෙයක් ඔබ සතු නොවූ විට ඔබ ප්‍රතිනිර්මාණය කරන්නේ අර පළඟැටියාගේ චරිතයම වන බව පමණක් සිහි තබා ගන්නා ලෙස අවධාරණය කළ යුතුමයි.

මුරණ්ඩු චරිත ස්වභාවයක් සහිතයි. දැඩි අධිෂ්ඨාන ශක්තිය නිසාම මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක්ම වුවද සෙසු ඕනෑම අයෙකුට වඩා සැහැල්ලුවෙන් සාර්ථකව මෙහෙයවීමේ දක්ෂතාවය හා වාසනා ගුණය ඔබ සතුව ඇත. ප්‍රංශයේ උපන් මහා නැපෝලියන් අධිරාජ්‍යයා (1769) සැමරීමකින් තොරව ඔබේ උපන් දිනය අංක විද්‍යාත්මකව සැමරිය නොහැකි තරම්.

එතුමා ප්‍රංශ හමුදාවේ පහළ නිළයක සිට මහා ආධිරාජ්‍යයෙක් දක්වා ගිය ගමන් මඟ විස්මයජනකයි. ඇගී නම් පූජකවරයෙකු විසින් ඔහුගේ උපන්දිනයේ ඇති ගුප්ත විද්‍යාත්මක බව ඔහු හට පහදා දී එම බලය වඩාත් තීව්‍ර වන ආකාරයට අංක විද්‍යාත්මකව පෞද්ගලික අංකයට ගැළපෙන ආකාරයට ආමන්ත්‍රණ නාමය ගලපා දුන් නිසයි ලෝක ඉතිහාසය තුළ අදටත් නැපෝලියන් නාමය දිදුලන්නේ.

අගෝස්තු 16

(පෞද්ගලිකඅංකය 7)

පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 7 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 7 හා 25 යන දිනයන්ටත් දිගුවක් පවතිනවා. එමෙන්ම ඔබටම ආවේණික සුවිශේෂී ස්වාධීන ගති ලක්ෂණ රැසකටත් හිමිකම් පවසනවා.

රවි හා සිකුරුගේ බලපෑමත් ඔබේ පෞරුෂයට තුළට නායකත්වය වගේම පුද්ගල ආකර්ෂණය මැනවින් එක් කර දෙනු ඇති. එසේම අගෝස්තු මාසයේ ගිනි ත්‍රිවංකයේ බලපෑම නිසා පොදුවේ ඔබටද උෂ්ණ රෝග හා උණ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද පවතිනවා. දේශ දේශාන්තර අතර සංචාරය, මුහුදු ගමන් ආදියත් ඔබේ ජීවිතයට නිරන්තරයෙන් බද්ධ වේවි. එසේම අනාගත අවදානම් කලින්ම දැනෙන අමුතු ඉව බලයකුත් ඔබට හිමියි. ගුප්ත විද්‍යා අංශයටත් නැඹුරු කෙරෙනවා.

ශාරීරක වශයෙන් ඔබ එතරම් ශක්තිමත් බවක් පළ නොකළත් මානසික තලයේදී ඔබගේ දරා ගැනීම උපරිම වනු ඇත. මුදල් ජීවිතය කර නොගත්තත් නැදෑ හිතවතුන් වැනි සමීපතමයන්ගේ අවශ්‍යතා සපුරා දීම වෙනුවෙන් ඔබට මුදල් අත්‍යාවශ්‍ය වෙනවා.

එනිසා ඔබට ආර්ථික වාසියක් අත් කරදෙන යම් තනතුරක් වෙතොත් කැමැත්තෙන්ම එහි රාජකාරි කටයුතු සිදු කරනවා ඇත. ඔබ සාර්ථක වන්නේද ඔබම සොයා ගත් දෙයකින් හෝ ප්‍රගූණ කළ හැකියාවකින් කටයුතු කිරීමයි. මුළු ජීවිත කාලය පුරාම සමාජය සමඟ ගැටෙන්නේ තමන්ගේ අසාමාන්‍යය ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන්.

ශ්‍රී ලංකාවේ ජාතික වීර හෙන්රි ප්‍රේදිස් (1888) වගේම ඇමෙරිකානු පොප් ගායිකා මැඩෝනා (1958) වැනි සුවිශේෂී චරිතත් ඔබ හා ජන්ම දින සැමරුම් වගේම උපන් දින සැමරුම් ලද අයයි.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.