ඇසළ මස දිටිමි යනවා දෙව් කෙළියේ

ජූලි 19, 2024

 

වෙසක්, පොසොන් මාස දෙකට ඉක්බිතිව එළැඹෙන ඇසළ මාසය දෙව් සැණකෙළි මාසය ලෙසින් ප්‍රචලිතය. බෞද්ධ පුද පූජා, වත්පිළිවෙත් පැවැත්වෙන අතර දෙවියන් සම්බන්ධයෙන් විශේෂ ලක්ෂණ සහිත වන්නේ ය. දිවයින පුරා දක්නා ඒ ඒ දෙවිවරුන් උදෙසා පෙරහර, පුද පූජා, වත්පිළිවෙත් එමට වන්නේ ය.

ලෝකයේ බොහෝ රටවල මෙන් අපේ රටේ ද දේව සංකල්පය ඈත කල සිටම මුල් බැසගෙන ඇත්තේ ය. හිරු, සඳු, වැස්ස, සුළඟ ආදී ස්වාභාවික වස්තූන් දෙවි කොට සැලකූ අතර විජයාවතරණයටත් පෙර පණ්ඩුකාභය රජු සමයේ කම්මාර දේව, ව්‍යාධ දේව, වෙසමුණි දේව ආදී දෙවිවරු ගැන කියැවේ. බුදු සමයේ සඳහන් ධ්‍රැතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු බෞද්ධයෝ අදහති. ඒ සමගම විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන සිව්වරම් දෙවිවරු ගැන සඳහන් වෙයි. නාථ, උපුල්වන්, දැඩිමුණ්ඩ, හෙණකඳ බිසෝ බණ්ඩාර, ගණ, අයියනායක, මින්නේරි, දොඩම්වල, ඉලන්දාරි, සූනියම්, පනම්, මල්ල බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, පිටියේ, කබලෑ, බෝගම්බර, මොරටු, මංගර, දෙවොල්, ඊශ්වර, කාලි, ලක්ෂ්මී, පත්තිනි ආදී දෙවි දේවතාවුන් රාශියක් අපට හමුවෙයි. තවද කුළු කඳු ද, බෝ, නුග ආදී වෘක්ෂ ද අධිගෘහිත ගම්වැසි දෙවියෝ ද වෙති.

ඒ ඒ දෙවිවරු ඒ ඒ කාර්යය සම්බන්ධයෙන් විශේෂිතය. කඩවර දෙවි වැව්, ජලාශ ගොවිතැන් රැකදීමේ දී ද, දැඩිමුණ්ඩ දෙවි ලෙඩ රෝග වැළැක්වීමේ ද, පත්තිනි දේවිය වසංගත රෝග වැළැක්වීමේ ද, සුමන සමන් දෙවි රැකවරණය ලබාදීමේ ද, මින්නේරි දෙවි, ගොවිතැන් නැංවීමේ ද මංගර දඩයම් ලබාදීමේද, දෙවොල් දෙවි ශාන්ති කර්ම හා අවලාද විපත් සම්බන්ධයෙන්ද පක්ෂ ලෙස දැක්වෙයි.

බොහෝ විහාරස්ථාන ආශි‍්‍රතව දේවාල දක්නට ලැබෙයි. මෙය අපේ රටේ හින්දු රජවරුන්ගෙන් ආවක් බව කිවයුතු වේ. කන්ද උඩරට ඇසළ මහා පෙරහර අපේ සංස්කෘතිය ලොවට විදහාපාන සුවිශේෂී ලක්ෂණයකි. විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර, නාථ දේවාල පෙරහර , පත්තිනි දේවාල පෙරහර යන සතර මහා දේවාල පෙරහර සහිතව මාලිගාවේ පෙරහර ද මහනුවර දළදා පෙරහරෙහි දක්නට ලැබෙයි. අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් හා විවිධ අන්දමේ නර්තනයන්ගෙන් අලංකෘත මහනුවර ඓතිහාසික දළදා පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල ජනකායක් මහනුවරට එක්වෙති.

මාලිගාවේ පෙරහර අවසන් වූ පසු එක් එක් දේවාල පෙරහර ගමන් කරන අතර එක් එක් දේවාල පෙරහර අවසානයේ අදාළ දෙවියන්ගේ ආභරණ රන්සිවිගෙයක තැන්පත් කොට ඇතු පිටින් වැඩම කෙරේ. දේවාල බස්නායක නිලමේවරුද නිලමේ ඇඳුමෙන් සැරසී ඒ ඒ සිය පෙරහර අවසානයේ ගමන් ගනිති. රන්දෝලි, රන් කළස්, කඩු ආභරණ සහිතව උසුලාගෙන යාම පෙරහරේ අවසාන අංගය වෙයි. ගැටඹේ, මහවැලි ගං තොටේ දී දිය කැපීමේ චාරිත්‍රයෙන් දළදා පෙරහර අවසන් වෙයි.

ඇසළ පෙරහරට අයත් කප් සිටුවීම, දියකැපීම වැනි කරුණු ඔස්සේ විමර්ශනය කරන කල ඇසළ (ක්‍රි.ව. 301-328) උත්සවය අතීතයේ දී වැසි ලබා ගැනීම, සශ්‍රීකත්වය සම්බන්ධ වූවක් බව පෙනේ. කිත්සිරිමෙවන් රජු කල දළදා වහන්සේ වැඩමවීමෙන් පසු ඇරඹූ දළදා පූජා පැවැත්වීම් ද මේ පැරණි ඇසළ උත්සවයට සම්බන්ධ වෙමින් බෞද්ධ මුහුණුවරක් ගැනිණි. රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ ග්‍රන්ථයේ) (2 වැනි රාජසිංහ රජ සමය - ක්‍රි.ව. 1635-1610) මේ පෙරහර ගැන දළදා වහන්සේ ගැන, කිසිවක් නොදක්වන අතර ඔහු අලුත්නුවර දෙවි, කතරගම දෙවි, පත්තිනි දේවිය ආදීන් සඳහා පැවැත්වූ දෙවි පෙරහරක් වශයෙන් දක්වයි. කෙසේ වුවත් මහනුවර යුගය උදාවන විට ලක්දිව හින්දු, බලය වැඩිවීමෙන් පෙරහරට හින්දු චාරිත්‍ර ඇතුළත්වීමෙන් බෞද්ධ හා හින්දු ලක්ෂණ මිශ්‍ර වූවා සේ පෙනේ.

ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් පිළිබඳව ප්‍රකටව පවත්නා කතරගම මහා පෙරහරද ඇසළ දෙවි සැණකෙළි අතර ප්‍රකටය. හින්දු බෞද්ධ කවුරුත් එකසේ කතරගම දෙවියන් පිළිබඳව මහත් හැඟීමෙන් යුතුව මේ මහා පෙරහර නැරඹීමට දිවයිනේ නන් දෙසින් පිවිසෙති. මැණික් ගඟෙන් නා පිරිසුදු වී සියලු කාර්යයන්හි නියැළෙන ජනතාව කතරගම දෙවියන් සම්බන්ධ නොයෙකුත් බාර හාර ඔප්පු කිරීම්ද මේ පෙරහරේ දක්නට ලැබෙයි. “සාමි පුලේ හරෝ හරා කන්දස්වාමි හරෝ හරා” යන නාදය මේ පෙරහරේ දක්නට ලැබෙන විශේෂතාවයකි. දේවාල කපු මහතුන් විසින් මැණික් ගඟේ දිය කැපීමෙන් කතරගම මහා පෙරහර අවසන් වන අතර කතරගම ඇසළ පෙරහරේ ගිනි පෑගීම ද වැදගත් ලක්ෂණයකි.

දෙවියන්ගේ නුවර යන අර්ථ ගෙන දෙන දෙවිනුවර හෙවත් ව්‍යවහාරයේ දෙවුන්දර ලෙස භාවිත කෙරෙන සිරිලක දකුණු කෙළවර පිහිටි දෙවුන්දර දේවාලය ආශි‍්‍රතව කෙරෙන වාර්ෂික ඇසළ උලෙළ ද ඇසළ දෙවි සැණකෙළි අතර ප්‍රකට ය. ඇසළ පුර පසළොස්වක දිනවල මෝදර දේවාල පෙරහර නැරඹීමට ද අති විශාල ජනකායක් අම්බලන්ගොඩ නගරයට පැමිණෙති. කතරගම පෙරහරේ මෙන් මෙහි ද කාවඩි නැටුම් බෙහෙවින් දක්නට ලැබේ.

දිවයින පුරා බොහෝ ප්‍රකට දේවාල ඇත. මේවා ඇසුරින් ඒ ඒ දෙවියන් සිහිපත් කරමින් රටට ජනතාවට සෞභාග්‍යය, නිරෝගීබව, සෙත් ශාන්තිය අපේක්ෂාවෙන් පෙරහර පැවැත්වෙයි. විශේෂයෙන් මෙහි ඉතා කෙටියෙන් සඳහන් කළ මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහර (නාථ, කතරගම, විෂ්ණු, පත්තිනි) ආදී පෙරහර ද සමඟ කතරගම ස්කන්ධ කුමාර පෙරහර දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහර, රත්නපුර මහ සමන් දේවාල පෙරහර, සීනිගම ශ්‍රී දෙවොල් පෙරහර, අම්බලන්ගොඩ මෝදර දේවාල පෙරහර යන පෙරහර පමණක් නොව අලුත්නුවර, විෂ්ණු දේවාල පෙරහර, ගැටබරු කන්දේ ගැටබරු දේවාල පෙරහර, මුන්නේශ්වරම් දේවාල පෙරහර, බෙල්ලන්විල රජමහා විහාර පෙරහර, කෝට්ටේ රජමහා පෙරහර, මාදම්පේ තනිවල්ලභ දේවාල පෙරහර, උණවටුන යද්දෙහිමුල්ලේ දෙවොල් පෙරහර, රිදී විහාර පෙරහර, ඇම්බැක්කේ පෙරහර ආදී බොහෝ පෙරහර රාශියක් ඇසළ මාසයේ දැකිය හැකිය.

පෙරහර පමණක් නොව අනේක විධ දෙවොල් මඩු, ගම්මඩු, ශාන්තිකර්ම, බාරහාර ඔප්පු කිරීම, පුද පූජා, දේව දාන, ගිනිපෑගීම් ආදී බොහෝ දෑ ඇසළ මාසය තුළ වන්නේ ය. ඇසළ මාසය දෙව්කෙළි මාසයයි. මහනුවර රාජධානි සමයේ මොරතොට හිමියන් හමුවට අතේ වළලු දමාගෙන වෙස්වළාගෙන පැමිණි රාජසිංහ රජතුමා හඳුනාගත් මොරතොට යතිවරයාණෝ මෙසේ පවසති.

සකල මුව තඹර සියොගත සිව්මැලි සේ
ඇසළ මස දිටිමි යනවා දෙව් කෙළියේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.