වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දෙවියන් වෙනුවෙන් කැපවුණු මිනිසුන්ගේ ගමන
ලවණ රස මුසු කරදිය සුළඟ අනවසරයෙන් ඔකඳ දෙවොල් බිමට එබෙන නිස්කලංක බැතිබර හැන්දෑවකි. සැඳෑ අහසේ කෙළවර වලා වියනෙහි පඬු පැහැයෙන් දෙවොල් බිමම කලඑළිව ඇත. යාපනය, මඩකලපුව, හැටන්, තලවකැලේ, පමණක් නොව අක්කරේපත්තුව, කල්මුණේ මෙන්ම ශ්‍රී ලංකාවේ හතර අතින් පැමිණි බැතිමතුන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ගමන අරඹන තෙක්‍ය.
වසරක් ඇවෑමෙන් තවත් වසරක පාද යාත්‍රාව අරඹන නැකත පැමිණෙන තෙක් බලා සිටින මේ බැතිමතුන් පාදයාත්‍රාව හඳුන්වනු ලබන්නේ ‘දෙවියන් වෙනුවෙන් කැපවන මිනිසුන් යන ගමනක්’ ලෙසටය. කොතරම් දුක් කම්කටොලු මැද වුවද තමන් ජීවිතයේ යන සතුටුදායකම මෙන්ම සුබදායකම ගමන පාදයාත්‍රාව බව ඔවුහු අදහති. මේ නිසාම වසරක් පාසාම දෙවියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට බැතිමත්හු මේ කාලය ගෞරවයෙන් වෙන් කරගනිති.
අනාදිමත් කාලයක සිට පැවත එන පාද යාත්‍රාව පළමුවෙන්ම නැකතට ආරම්භ කරනු ලබන්නේ ඔකඳ දේවාලයට දුරින්ම පිහිටි යාපනයේ සෙල්ලසන්නිධි කෝවිලෙනි. එසේ ආරම්භවන පාදයාත්‍රාව සඳහා යාපනය නාගපූෂානි අම්මාන් කෝවිලෙන් ද සැලකිය යුතු පිරිසක් එක් වේ. නැකත් කාලය ළංවන විට දිවයිනේ අටකොණෙහි දේවාල සියල්ලෙන්ම පාහේ සැලකියයුතු පිරිසක් ඔකඳ දෙවොල්බිමට ළඟාවේ. බැතිමතුන්ගෙන් සශ්‍රීක වන පාද යාත්‍රාව දින විස්සකට අධික කාලයක් ගෙවමින් ඔකඳට ළඟාවේ. මෙසේ ඔකඳ දේවාලය මේ ගමනේ ප්‍රධාන සංධිස්ථානයවන්නේ ඇයිද යන්න දැන් ඔබ සිතනු ඇත.
ඔකඳ යනු එක් අතකින් නොකිලිටි සමුද්‍රයට මායිම් වූ වනගත නිහඬ නිසසල භූමියකි. දේව කතාන්දරවල කියැවෙන පරිදි ස්කන්ධ කුමරුන්, එසේත් නැත්නම් මුරුගන් හෙවත් කදිරේෂන් ශ්‍රී ලංකාවට ගොඩබැස ඇත්තේ ඔකඳ වෙරළෙනි. එසේ රන් ඔරුවකින් පැමිණි මුරුගන් එම ඔරුව ගලක් බවට පත් කළ බව කියැවෙයි. අදටද ඔකඳ වෙරළේ දක්නට ලැබෙන රන් ඔරු ගල යනු එය බව බැතිමතුන්ගේ විශ්වාසයයි.
දේවාල කිහිපයකින් සමන්විත ඔකඳ පුද බිමෙහි විශාල ගල් කුළක් මත විරාජමානව වැජඹෙන වල්ලිමාතා දේවාලය බැතිමතුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වේ. එම ගල්කුළ මත ඇති පොකුණ ශුද්ධ පොකුණ ලෙස හැඳීන්වේ.එදා වල්ලි දිය නෑ පොකුණ ලෙස බැතිමතුන් විශ්වාස කරනු ලබන මේ පොකුණෙහි දිය හඳුන්වන්නේ තීර්තම් ලෙසිනි. එම ජලය නෑමෙන් සියලු දෝෂ දුරුවන බවට ඔවුහු විශ්වාස කරති.
මේ හේතු නිසා ඔකඳ, පාද යාත්‍රාවේ ප්‍රධාන සංධිස්ථානය වේ. මේ ශුද්ධ භූමියට ගොඩබට කදිර දෙවිඳුන් කතරගම බලා ගිය මඟ ඔස්සේ ගමන් කිරීම සරලවම පාදයාත්‍රාව ලෙස හඳුන්වනු ලැබේ.
එදා ස්කන්ධ කුමරුන් හට කතරගමට යන මාර්ගය නිවැරැදි ලෙස සඳහන් නොකිරීමට දඬුවමක් ලෙස වර්ෂයේ අධිකම පෑවිල්ල සහිත කාලයේ කරපාදෙන් කතරගම තම දිව්‍ය විමනට පැමිණ ආශිර්වාද ලබා ගන්නා ලෙස දෙමළ බැතිමතුන්ට කතරගම දෙවියන් අණකළ බවක් ද ජනප්‍රවාදයේ එයි.
නැකතට අනුව කුමණ ජාතික වනෝද්‍යානයෙන් මහ වනයට ඇතුළුවන පාදයාත්‍රාවේ පළමු නවාතැන බවට පත් වන්නේ බාගුරාව (බාගුරේ) නම් වූ සුන්දර විල්ලුවයි.කිඹුලන්, වන අලින් මෙන්ම කුළු හරකුන් ගහන මේ විල්ලුව පළමු දින නවාතැන බවට පත් කරගැනීම සාමාන්‍ය සිරිත වුවද ජවසම්පන්න පිරිස් කණ්ඩායමෙන් මිදී තම පළමු නවාතැන ලෙස කුඹුක්නක් ඔය අසබඩ කුඩා කැබලිත්ත දේවාල බිම තෝරා ගැනීම ද සිදු වෙයි. යාපනයේ සිට පැමිණෙන පිරිසට මේ ගමන සඳහා දින දහයක හෝ ඊට වඩා කාලයක් ගත කිරීමට හැකි වුවද අනෙකුත් පිරිස මේ ගමන දින හතරකින් නිමා කිරීමට සැලසුම් කරති. මේ බැතිබර ගමන සඳහා දෙමළ බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන් ද විශාල පිරිසක් එක්වන අතර ඇතැමුන් මේ පාදයාත්‍රාව පරිසර වන්දනා ගමනක් බවට පත්කර ගන්නේ එහි ඇති මිහිරියාව හේතුවෙනි.
කිසිදු භාණ්ඩයක් මිලට ගත නොහැකි මේ ගමන සඳහා අවශ්‍ය ජල ගැලුමේ සිට බර කරට ගත් බැතිමතුන් වන විල්ලු, ජල දුර්ග, බඩවැටි, ශුෂ්ක බිම් පසු කරමින් සාමූහිකව ඉදිරියට ඇදෙන්නේ බජන් ගී නදින් වන අරණ පුරවාලමිනි. එසේ යද්දී හරෝ හරා ස්වාමි හරෝ හරා.. යන සුබපැතුම් පාඨය නතර භාවිත වනු දැකිය හැකිය. දවසක් යැයි ප්‍රාර්ථනා කරන ආකාරයෙන් මේ ගමනේ එය හමුවෙන සෑම කෙනකුගේම මුවගින් මේ වචන මතුවේ.
ඉඳහිට මුහුණට මුහුණ හමුවන සද්දන්තයන් මෙන්ම විශාල කුළු හරකුන් දුටු විගස බැතිමත්හු උද්වේගකර හඬින් “හරෝ හරා” යයි නද දෙති. වන සතුන්ගෙන් කිසිදු අතුරු ආන්තරාවක් නොවීමට මුරුගන් දෙවියන් තමා ආරක්ෂා කරන බවට බැතිමතුන් තදින්ම අදහති.
“හරෝ හරා” උච්චාරණය පිළිබඳ විවිධ මත පාදයාත්‍රාව සමඟ බැඳී පවතී. එක් නඩයක ඉදිරියෙන්ම ගමන් කරන්නා පළමුව හරෝ හරා යයි කී විට දෙවැන්නා එය යළි එය උච්චාරණය කරයි. මෙලෙස දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක වරින් වර හරෝ හරා යන හඬ දහයක් ඇසීම මඟින් ගමනේ මූලිකයා තම කණ්ඩායම සුරක්ෂිතව තමා පසු පස පැමිණෙන බව තීරණය කිරීම එක් කරුණකි. පාදයාත්‍රාව ඉතා වෙහෙසකර ගමනකි. එම ගමනේදී අවශ්‍ය ඔක්සිජන් නිරතුරුවම ලබාගැනීමට හරෝ හරා යන්න උච්චාරණය ඉවහල් වන බව පසු කාලීනව ගොඩනැඟුණු වෛද්‍ය මතයකි. කෙසේවෙතත් හරෝ හරා යන්න උච්චාරණය තුළින් ගමනේ වෙහෙස නිවෙන බවත් වන සතුන් සියලුදෙනා වන මඟින් ඉවත්වන බවත් ලියුම්කරුගේද අත්දැකීමයි.
පාද යාත්‍රාවේ යෙදෙන සියලු දෙනා සවස් යාමයට පෙර නිශ්චිත නවාතැන්පොළට පැමිණීමට වග බලා ගනිති. බාගුරේ, කුඩා කැබලිත්ත, ළිංතුන, කටුපිලආර, පරණ තොටුපළ සහ වරහන මේ ගමනේ ප්‍රධාන නවාතැන් වෙයි. එහි පැමිණෙන ප්‍රධාන නඩය නවාතැනට යාබදව අතුපතර විහිදුණු රූස්ස ගසක් පාමුල දෙවියන් වෙනුවෙන් සංහිඳක් ඉදිකරති. කොහොඹ අතු වටකොටගත් මේ සංහිඳ පාමුල එතැන්පටන් දෙවියන් වෙනුවෙන් විවිධ පුද පූජා පැවැත්වීමට සියලුදෙනා එකාවන්ව එක් වෙති. දෙවියන් වෙනුවෙන් මුරුතැන් පූජා තබන බැතිමත්හු ඉන් අනතුරුව තමාට ආහාර පිළියෙළ කරති. රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුවන්නේ බජන් ගී ගැයීම වෙනුවෙන් සියලුදෙනා එක් වීමයි.
මධ්‍යම රාත්‍රිය ගෙවී යනතෙක් බුම්මැඩි වයමින් රබන් නද කරමින් බජන් ගී ගයන බැතිමතුන් තමාගේ ජීවිතය දෙවියන්ට භාර කරමින් පැය කිහිපයක සුවදායක නින්දකට පසුව උදෑසනම යළි තම ගමන අරඹන්නේ දෙවියන් දැකීම ප්‍රධාන බලාපොරොත්තුව බවට පත් කර ගනිමිනි. මෙසේ දින ගණනාවක් එක දිගට යන ගමනේ දුෂ්කරම අඩවිය ලෙස සියලුදෙනා හඳුන්වන්නේ කුඹුක්නක් ඔය සහ ළිංතුන අතර ප්‍රදේශයයි. කුඩා කටු පදුරු සහිත කිලෝමීටර හයකට නොඅඩු එම භූමිය වැලි කුණාටු සහිත එකකි. සිහින් වැලි තද සුළං සමඟ එක්ව ප්‍රචණ්ඩව ඇස් කෙවෙණි පසාරු කරන එම බිමේ ගමන දෙවියන් වෙනුවෙන් තම ජීවිතය කැප කරන බිම ලෙස බැතිමත්හු විශ්වාස කරති.
මේ ගමන පිළිබඳ අත්දැකීම් බහුල පිරිස් දෙවියන් පිළිබඳ බොහෝ කතාන්දර කියන්නේ රාත්‍රියේ ගිනිමැල සුව විඳීන විටදීය. මේ ගමන් මඟෙහි කතරගම දෙවියන් නිරතුරුවම වෙනස් වේශයකින් සැරිසරන බවට ඔවුහු විශ්වාස කරති. සුදු වේට්ටියකින් සැරසී සුදු තලප්පාවක් ඉහ වටා බැඳ, සැරයටියක් අතින් ගත් ශාන්ත ඍෂිවරයකු ලෙස කතරගම දෙවියන් ජීවමානව හමුවූ පිරිස් පාදයාත්‍රාවට එක්වන්නෙකුට හමුවිය හැකිය. එසේ එකම වේශයෙන් එකම පුද්ගලයා තැන් කිහිපයක හමුවූ අවස්ථා පිළිබඳ කතාන්දර වේල් ස්වාමි ලියුම්කරු සමඟ පවසා තිබේ.
මේ ගමනේදී භයානක කුළු මීමුන් කල්ලි සුලභව මඟදිග හමුවන අතර වන අලින්ද ඉඳහිට හමුවෙයි.රාත්‍රි නවාතැන්පොළ අවට වලසුන් සහ දිවියන් ඉඳහිට දැකිය හැකි අතර කරවටක් ගිලී ගමන් කරනා ගංගාවල කිඹුලන් සිය ගණන් දැකිය හැකිය. එහෙත් මේ කිසිම සතෙකුගෙන් වන්දනාකරුවන්ට කිසිදු අනතුරක් සිදු නොකිරීම දෙවියන් දකින්නට යන බැතිමතුනට කරනු ලබන ගෞරවයක් බව සියලුදෙනාගේ විශ්වාසයයි. මේ කාලයට පෙර මහා වනාන්තරයේ සැරිසරන කතරගම දෙවියන් ගංගා අසලට පැමිණ කිඹුලන්ට තහංචි දමන බවද කටවහරේ එයි. ඒ අනුව ගත් කල පාදයාත්‍රාව කතරගම දෙවියන් පිළිබඳ බැතිබර විශ්වාසයෙන්ම යන දුෂ්කර සුන්දර ගමනකි. දේව බැල්මෙන් මේ මඟට පිවිසෙන කිසිවකුටත් අනතුරක් සිදු නොවේ.
වයස මාසයේ බිළිඳාගේ සිට අවුරුදු අනූව දක්වා බැතිමතුන් පාද යාත්‍රාවේ දී ලියුම්කරුට මුණගැසී ඇත. මේ සියලුදෙනා තුළම ඇත්තේ කතරගම දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකි.භක්තියකි. තමා පාදයාත්‍රාවේදී දෙවියන්ගෙන් ඉල්ලා සිටින සියලු දේ නිසැකවම ලැබෙන බවත් එම බාරය නිදහස් කිරීමට පාදයාත්‍රාවෙන් දෙවියන් නැමදීමට යන බවත් ලියුම්කරු සමඟ පැවසූ පිරිස බොහෝය. ඔවුන්ගෙන් බොහෝදෙනා පාදයාත්‍රාව සමඟ හතළිස් වරකට වඩා සහභාගි වූ බැතිමතුන්ය. ඒ විශ්වාසය ඔවුහු රකිනු ලැබේ. දෙවියන් මිනිස්සුන්ගේ හිත්වල ජීවත්වන්නේ එසේය.
සේයා රූ- රුක්මල් ගමගේ