ඇස්වහ කටවහ දුරු කරන හොඳම මන්තරය

ජූලි 12, 2024

ගැමි සමාජයේ පමණක් නොව, නූතන නාගරික සමාජයේ ද වාසය කරන සාමාජිකයන් තුළ, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව පිළිබඳව මුල් බැස ඇත්තේ විස්්මය උපදවන මතවාද රැසකි. මේ මතවාද මොනවා දැයි සොයා බැලීමට පෙර, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව යනු කවර බලවේගයක් දැයි පැහැදිලි කර ගැනීම වැදගත් වේ.

ඕනෑම සමාජයක විවිධ තරාතිරමේ පුද්ගලයෝ ජීවත් වෙති. ආගම දහමට නැඹුරු වී ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම මැඬගෙන දිවි ගෙවන්නේ මින් අතළොස්සකි. නොමේරූ මනසකින් මෙන්ම දැඩි ලෙස ඊර්ෂ්‍යාව නම් චිත්තවේගය තුළ මෙලොව දිවිගෙවන පුද්ගලයන් කිසියම් දෙයක් දෙස පතුරුවන බැල්ම ඇස්වහ ලෙස හැඳින්විය හැකිය. කටවහ යනු මෙකී ඊර්ෂ්‍යා බරිත පුද්ගලයන් නෙතින් ස්පර්ශ කළ හැඟීම මුඛයෙන් මුදා හැරීමයි. “හප්පා... මේ වාරෙ නං අඹ ගහේ කොළවලට වැඩිය ගෙඩි....” “ෂ්‍යාහ් ඒ දැරිවිගෙ ලස්සන ගිලින්න හිතෙනවා...” “ගේ නං බලා ඉදේදිම අහස උසට හදලා....” ආදී වශයෙනි.

හෝවහ යනු, ඊර්ෂ්‍යා බරිතව යමක් දෙස බලමින් හෝ හිතමින් සුසුම් ලෑමයි.... ඊර්ෂ්‍යාව මැඩ ගත නොහැකි තැනැත්තෙකු කිසිවක් දෙස බලමින් කරන ආශ්වාස ප්‍රාශ්වාසය, මේ අනුව ‘හෝවහ’ ලෙස හැඳින්විය හැකිය. ඕනෑම කෙනකුගේ ප්‍රාශ්වාස වායුව කොහොමටත් විෂ සහිතය. ඊට හේතුව ප්‍රාශ්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් මුසු වී තිබීමයි. ඒ අනුව ඊර්ෂ්‍යාව හා වෛරය, කුහකත්වය, ඉහ වහා ගිය පුද්ගලයන් හෙළන සුසුම ‘හෝවහ’ ලෙස ගැමියා අර්ථකථනය කිරීම මොනතරම් නිවැරැදි’ දැයි තහවුරු කර ගත හැකිය. අඬෝවැඩියාව යනු ඊර්ෂ්‍යා සහගත සිතුවිලි හදවතේ තෙරපෙන පුද්ගලයන් කෙනෙකුගේ යහපත ඉදිරි ගමන් මඟ දැක ඒ පිළිබඳව දරා ගත නොහැකි වේදනාවෙන් කරන හඬා වැලපීම්ය. “ඕහේගෙ ළමයා නම් විභාගෙ ඉහළින්ම පාස්.... ඒකට අපේ.... එකා.....” “ඔහේ නං බලං ඉදෙද්දීම ගේ හදල පදිංචිත් වුණා.... ඒකට මොකෝ... මට නං තාම ලෝන් එකවත් පාස් කර ගන්න බැරි වුණා.....” ආදී වශයෙනි. මේ ඇස්වහ, කටවහ හෝවහ, අඬෝවැඩියාව යන දෝෂයන්ට භාවිත කරන සර්ව නාම පදය වන්නේ, ‘ළ පැලියා දෝෂ’ යන වදනයි.

ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව ඇති පුද්ගලයන්ගේ දේහ ලක්ෂණ පිළිබඳව ඉපැරණි ගැමියන් හොඳ විපරමකින් පසු වූ බව පෙනේ. එවැනි පුරුෂයන් සහ ස්ත්‍රීන්ගේ මුඛයේ ස්වභාවය මෙසේය. දෙතොල් දැඩි ලෙස ඝනය. එසේම කළුය. මුඛය දෙකෙලවර පැළී වන වී ඇත. නිතර දුගඳක් වහනය වේ. කටහඬ දැඩි ලෙස රාගික බවකින් යුතුය. ඔවුන්ගේ දෙනෙතේ ස්වභාවය මෙපරිදිය. ඇස් දෙක හරියටම ඇටි කුකුළෙකුගේ මෙනි. බොහෝවිට විකෘති ලෙස පිහිටා ඇත. ඇස්වල අභ්‍යන්තරය රක්තවර්ණය ලොවි ගෙඩි මෙනි. ඇතැම් විට ඇස් යට ගිලී පවතී. ඇහිබැමි දෙක එකට හාවී තිබේ. ඝනය. මෙබඳු ස්ත්‍රී පුරුෂයන්ගේ හිස මුඩුය. නළල ත්‍රිකෝණාකාර හැඩයකින් යුතුය. ගමන් කරන විට වරින් වර පිටුපස හැරි හැරී බලයි. පාදයේ සුළැඟිල්ල දෙවැනි ඇඟිල්ල දෙසටම නැවී බද්ධ වී ඇත. ඇවිද යන විට පාදවලින් ප ට ස්, ප ට ස් යන ශබ්දය උපදී. එසේම අනුන්ගේ වගතුග නොසොයා නොබලා සිටීම කිසිසේත්ම කළ නොහැකිය. තමා කළ කී දෙයට වඩා ඔවුන් අනුන් පිළිබඳව සොයමින් කාලය මරා දමති.

2005 වසරේ මා සේවය කළේ මාපලගම මධ්‍ය මහා විද්‍යාලයේය. උදේ හවස මාපලගමට ගිය මම එම ගමේ විවිධ තරාතිරමේ පුද්ගලයන් ඇසුරු කළෙමි. දිනක් මා හට බෙහෙත් පැළෑටියක් අවශ්‍ය වූයෙන් එය ලබා ගැනීමට බෙහෙත් පැළෑටි වගා කරන නිවසකට ගොඩ වීමට සිදු විය. නිවැසියන් මා පිළිගත්තේ දැඩි සතුටකිනි. මම මට වුවමනා බෙහෙත් පැළෑටිය ගැන ගෙහිමියාට විස්තරයක් ඉදිරිපත් කළෙමි. “හපොයි... මහත්තයො.... ඕක සුළු දෙයක් ගෙයි පිටිපස්සෙ ඇති පදං තියෙනවා. හදිස්සියක් හෙම නෑනෙ. කහට කෝප්පයක් හෙම බීලා බේත් කොළ ටික අරන් යන්න.....”

ගැමියාගේ සුහද ළෙන්ගතු ඇරයුම ඉවත දැමිය නොහැකි වූයෙන්, මම ආලින්දයේ වූ පුටුවක වාඩි වීමි. නිවස ඉදිරිපස වූ කොස් ගසේ එක් අත්තක් අසාමාන්‍ය ලෙස දිගය. එමෙන්ම එම අත්තේ මුල සිට අගටම ගෙඩි හටගෙන ගෙඩිවලින් වැසී පිරී ගොස්ය. ඒ අසිරිය නෙත් ගැටෙන ඕනෑම අයෙකුගේ මුවට යමක් පැවසීමට වචන ගලා එන්නේ නිතැතිනි. එහෙත් ගැමියන් යනු කවුදැයි මා හොඳාකාරවම දැන සිටි නිසා මම කොස් අත්ත දෙස යළිත් නොබලාම ටීපෝව මත වූ ‘සුබසෙත’ පුවත්පත අතට ගත්තෙමි. “මහත්තයා.... පත්තරේට ලියන අද්භූත කතා මාත් කියවනවා....” ගෙහිමියා පිළිසඳර ආරම්භ කළේ එලෙසිනි..... එහෙත් ඔහුට මුල පිරූ කතාබහ දිගටම කළ නොහැකි විය. කොහේදෝ සිටි වයස්ගත තැනැත්තෙක් ගෙහිමියාට ඇඟිල්ලක් දිගු කළේය. වයස්ගත තැනැත්තාගේ උඩුකය නිරුවත්ය. සරම කැහැපොට ගසා උඩට අමුණාගෙන සිටියේය. “මට... දෙනවකො.....ඕයි. පුවක් ගෙඩි දෙක තුනක්....” කටහඬ පුදුමාකාර ලෙස රළුය. ගෙහිමියාද කේන්තියෙන් බිරිඳට ඇමතීය...” ඔය පුවක් ගෙඩි දෙක තුනක් ගේනවා. ඒ සමඟම අර තලත්තෑනි මිනිසාගේ උකුසු ඇස් කොස් ගහේ ගෙඩි පිරුණ අත්ත වෙත යොමුවිය... “මේ පාර නම් කොස් හැදිල තියෙනවා හිටු කියලා.....” ඔහු එම වචන ටික පිට කළේ කටේ තොලේ නොතැරවුණ ගානටය. ඒ මොහොතේම ගෙහිමියාගේ බිරිය ද අවුත් පුවක් ගෙඩි කිහිපයක් එතූ කඩදාසි පාර්සලය අමුත්තාට දුන්නාය. “ඕකත් අරන් ඉක්මනට යනවා....” ගෙහිමියා කෝපයෙන් දැවෙමින් කෑගැසීය. වයස්ගත තැනැත්තාද කඩදාසි පාර්සලය රැගෙන මොහොතක හෝ පමාවකින් තොරව පිටව ගියේ ය. ගෙහිමියා වහා මිදුලට බැස තුඞ තුඞ තුඞ කියා කෙළ පහරවල් තුනක් මිදුලට ගැසීය. “ඇයි...?” මගේ මුවට පැනයක් නැඟුණේ නිතැතිනි. “ඇයි කියලත් අහනවා..... මහත්තයො, ලබන වාරෙ ඔය කොස් ගහේ එක ගෙඩියක්වත් හැදෙන එකක් නැහැ....” “ඒ මොකෝ....?” “ඔය මිනිහා මහ කටවහකාරයෙක් ඒකයි... කාරියක් නෑ මහත්තයා ආපු ඒක මට ලොකු සතුටක්.... අප දෙදෙනා කහට කෝප්ප දෙකක් තොල ගාමින් ගත කළේ විනාඩි හත අටක් වැනි කෙටි කාලයකි. මගේ මතකයේ හැටියට ඒවෙලේ හුළං පොදක් හෝ අවට වාතලයට මුසු නොවුණ තරම්ය. එහෙත් ජ... ර ... බ ...රාස් හඬ නංවමින් කොස් ගහේ අත්ත ඇඹරී කීරි ගැසී කැඩි බිම සැතපුණේ ලොකු කුඩා පැසුණු නොපැසුණ විවිධ තරාතිරමේ කොස් ගෙඩිද බිම සීසීකඩ විසිරී රෝල් වී යද්දීය. “ඕං ... දැක්ක නේද මහත්තය කටවහේ තියෙන සැරකම.... මං කිව්වේ බොරුවක්ද?... ඉක්මනින් දෙහි ටිකක් කප්පවන්න ඕන.....” බෙහෙත් පැළෑටියද රැගෙන මා එම නිවසින් එදා සමුගත්තේ කිව නොහැකි විස්මිත එම අත්දැකීම ද මනසේ තද කරගෙන ය.

ළපැලියා දෝෂයන්ගෙන් ගැළවීමට ගැමි ජනතාව අනුගමනය කළ සරලම පිළිවෙත ලෙස හැඳින්විය හැක්කේ කෙළ ගැසීමයි. කටවහකාරයෙකු යමක් කී විට ඔහුට නොපෙනෙන සේ තෙවරක් බිමට කෙළ ගැසූ විට එම දෝෂයට මඳ සහනයක් සලසා ගත හැකි බැව් ගැමියන් දැන සිටියේ කාලාන්තරයක් ඔවුන් ලද අත්දැකීම්වලිනි. ප්‍රංශ ජාතිකයන් පළමුවරට සපත්තු කුට්ටමක් මිලදීගෙන පැලඳීමට පෙර, දකුණු කකුලේ පැලඳි සපත්තුවට කෙළ පාරක් ගැසීමෙන් ඇස්වහ කටවහ දෝෂ නසාගත් බැව් ප්‍රකට පුවතකි. ලංකාවේද ගොයම් පාගා වී අස්වැන්න මනින අතර තුර කිසිවෙකු අස්වැන්නේ ප්‍රමාණය ඇසුවහොත්, ප්‍රමාණය ප්‍රකාශයට පත් කිරීමට පෙර තෙවරක් කෙළ ගැසීම සිදු කරයි.

කුඩා බිලිඳුන්ට එල්ල විය හැකි ඇස්වහ කටවහ දෝෂ දුරු කර ගැනීමට නළලේ තිලකයක් තැබීම, ගෙලට පංචායුධයක් දැමීම සිදු කරයි. රෝම ජාතිකයන් සිය කුඩා දරුවන්ගේ කරේ රතු පැහැති නූලක් බැඳීම තුළින් ද සිදුකර ඇත්තේ ඇස්වහ කටවහ දෝෂයන්ට පිළියම් සෙවීමකි.

හේන් කුඹුරු වැපිරීමේදී ‘හැලිකටා’ හෙවත් පඹයා නිර්මාණය කරනු ලබන්නේ සතුන් බිය ගැන්වීමට වඩා වගාව ඇස්වහ කටවහ දෝෂවලින් ආරක්ෂා කර ගැනීමටය. හේන් කුඹුරු යායවල පමණක් නොව නව නිවසක් තැනීමේදී ද බොහෝදෙනා විකාරරූපී පඹයන් තනනු ලැබේ. එවිට ගෘහයට සෘජුව එල්ල විය හැකි ළපැලියා දෝෂයන් පඹයාට එල්ල වී ඉන් ආරක්ෂාව ලැබෙන බැව් ගැමියන් පමණක් නොව නාගරිකයන්ද විශ්වාස කරති. ගෙට ගෙවැදීමට පෙර ගේ තුළ විවිධ වෙස් මුහුණු එල්ලීම, පුහුල් ගෙඩි පිළිවැස්සක බහා එල්ලීමද සිදු කරනු ලබන්නේ ගෙට එල්ල විය හැකි ඇස්වහ කටවහ දෝෂයන් අකාමකා දැමීමටය. එයිනුදු සෑහීමකට පත් නොවන ඇතැම් පුද්ගලයන් ගෙතුළ අලංකාර මාළු ටැංකි සවිකිරීමද විසිතුරු පොකුණු හා දිය අගල්, දිය ඇළිද කෘත්‍රිමව නිර්මාණය කරති. එහෙත් මේ සියල්ලටම වඩා ඇස්වහ කටවහ දෝෂයන් සමනය කිරීමට ඇති දිව්‍ය මන්ත්‍රය වන්නේ බුදුගුණ සජ්ඣායනය කිරීමයි. එබැවින් නිරන්තර නිවෙසේ බුදුගුණ ඇතුළත් පිරිත් ආදිය ඇසීමට සැලැස්වීමද, තමන්ට ඇස්වහක් කටවහක් හෝවහක් හෝ ළපැලියාවක් ඇති වුණේ යැයි සිතට දැනෙන සැම මොහොතකම බුදුගුණ සිහහි කිරීමද මේ දෝෂවලින් මිදීමට ඇති හොඳම මඟයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.