ආනන්දේ ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්න මුදල් සොයා දුන් කොණ්ඩදෙණියේ හිමි

මාර්තු 1, 2024

 

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ විස්මිත ගුරුකම් පිළිබඳව අපූරු සත්‍ය සටහන් පෙළ අතරට කොළඹ “ආනන්දය” ඇරඹි මුල් කාලවකවානුවල එහි ප්‍රතාපවත් යුග පුරුෂයකු වූද, නියමුවකු වූද, පී. ද එස්. කුලරත්න විදුහල්පතිතුමාගේ නාමයද ඊට සටහන් වනුයේ අපූරු අහඹු සිදුවීමකිනි.

මුල් කාල වකවානුවල මෙරට අලුත් යුගයක් ආරම්භ වූ කාල පරිච්ඡේදයකි. මුළු මහත් ජාතියේම ප්‍රණාමයට තුඩුදෙන ජාතියේ පිනකට පහළ වූ බොදුණු දරුවන් නව මාවතකට එක් කළ විශිෂ්ට විද්‍යායතනයක් වූ කොළඹ ආනන්ද විදුහල එදා මුල්වකවානුවල මෙහෙය වූ විදුහල්පති පී. ද එස්. කුලරත්න මැතිතුමාට මහව හරහා අනුරාධපුරයට යන අතරමඟ යාපහුව ආසන්නයේ කොණ්ඩදෙණිය පන්සලට ගොඩ වී යාමට සිත්විණි. ඒ එතුමා කොණ්ඩදෙණිය සීලරතන හාමුදුරුවන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් පිළිබඳව හොඳින් දැන සිටි බැවිනි.

එයට හේතු පාදක වූයේ වත්මන් අද කාලයේ මෙන් නොව මුල් වකවානුවල මේ ආනන්ද විදුහල පවත්වාගෙන යාමට රජයෙන් මුදල් ප්‍රතිපාදන කිසිවක් නොලැබුණි. එකල සිටි දානපතීන්ගේ ආධාර උපකාර මත විදුහලේ සියලු පාලන කටයුතු සියලු අනිකුත් විය පැහැදම් කිරීමට සිදු විය. එබැවින් මේ විදුහල නඩත්තු කොට පවත්වාගෙන යාමට මුදල් හදල් සොයා ගැනීමට විදුහල් පතිතුමාට දැඩි වෙහෙසක් දරන්නට ද සිදු විය.

ඉතින් එදා, අහම්බෙන් වුවද බොහෝම උජාරුවට කිරි කොකෙකු වැනි සුදු වර්ණයෙන් යුතු කෝට් කලිසම් ඇඳ පැලඳ ආ වැදගත් පෙනුමැති මහත්මයෙක්ද කොණ්ඩදෙණිය පන්සලට සේන්දු විය.

“අවසරයි, අපේ හාමුදුරුවනේ,” ඔබ වහන්සේගෙන් පොඩි ගුරුකමක්වත් කරගෙන “ආනන්දය” ගොඩදාන්න උදව්වක් ගන්න පුළුවන්ද බලන්නයි ආවේ.”

“ආනන්දය ගොඩදානවයි කියන්නේ මුළුමහත් ජාතියම ගොඩදානව වගේ වැඩක්නේ...

ඕනම උදව්වක් කරන්න මම එක පයින්ම කැමතියි මහත්තයෝ”

හාමුදුරුවන්ගේ දෙපා නැමද වැඳ නමස්කාර කළ කුලරත්න මැතිතුමාට කොණ්ඩදෙණිය හාමුදුරුවන් විසින් එක්වරම දේව මන්දිරය තුළට කැටුව යන ලදී.

එහිදී වූ කතාබස්වලින් තේරුම් ගියේ ආනන්ද විදුහල පටන්ගෙන මුල් සමය නිසා විදුහල පවත්වාගෙන යාමටත් ගොඩනැඟිලි නඩත්තුවටත්, ගුරුවරුන්ට පඩිනඩි ගෙවීමට මුදල් අඩුපාඩු රැසක් පවතින බවයි.

එම මුදල් හදල් සොයා ගැනීමේ වෙහෙසකාරි කටයුත්තත් එකල පැවරී තිබුණේ විදුහල්පතිතුමාටය. රජයේ කිසිදු සහයෝගයක් නොමැති නිසා මෙය මහත් අසීරු කරුණක්ම විය. එකල හැටියට රුපියල් ලක්ෂ හයක් වත් දානපතියන්ගෙන් ලබා ගැනීමට හැකිවුවහොත් මෙම ඉදිරි මාස කිහිපය පහසුවෙන් වියහියදම් පාලනය කළ හැකිව තිබුණි.

කොණ්ඩදෙණිය හාමුදුරුවන් සිදුවී ඇති අපහසුතාව වහා වටහාගෙන වහාම තමන් උගත් මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කොට ගුරුකමක් කරදෙන ලදී. හෙට දින උදය වරුවේම අදාළ දානපතීන් මුණගැසෙන ලෙසටද උන්වහන්සේගෙන් උපදෙස් ලැබුණි.

පී. ද. එස්. කුලරත්න මැතිතුමා මහා ප්‍රඥාවන්තයෙකි. ගුරුකම ඉටුකර ගත් එතුමා අනුරාධපුර බලා යන ගමන පසෙකින් තබා එවලේම නැවත කොළඹ බලා පිටත් විය.

කොළඹ ආනන්ද විදුහලේ කෙරෙන කාර්යභාරය ගැන නිරන්තරයෙන් සොයා බැලූ දානපතියන් අතර ආතර් ද සිල්වා මහතා පුරෝගාමී විය. එහෙත් එතුමා පසුදින උදයේ එංගලන්තය බලා යාමට නැව් නඟින බවද ආපසු පැමිණීමට මාස තුන හතරක් බලාසිටීමට සිදු වන බවද කුලරත්න මැතිතුමාට දැන ගන්නට විය.

කෙසේ වෙතත් කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ ගුරුකමක් ලේසියෙන් වරදින්නේ නැති බව එතුමා විශ්වාස කළ බැවින් දෝ පසුදින පාන්දර එතුමා කොළඹ වරායට පිවිසියේය.

නැව් පිටත්වීමට පෙරාතුව කල්වේලා ඇතුව කුලරත්න මැතිතුමා හදිසියේ පැමිණියේ කුමන කාරණයකට දැයි ආතර් ද සිල්වා මහතා කල්පනා කළේය.

“මොකද මේ ඔබතුමා කලබලෙන් වගේ. මොනව හරි ගැටලුවක් තියෙනවද?”

“අනේ නැහැ......මම ආවේ ඔබතුමාගේ ගමනට සුබ පතලා” යන්න

ඉතින් කොහොමද? ආනන්දයේ ඉදිරි විය පැහැදම් එහෙම.

“ඉස්කෝලෙ නඩත්තු කටයුතු කොහොම හරි කරගන්න පුළුවන්. පුංචි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ගුරුවරුන්ගේ ඉදිරි මාසවල පඩිනඩි ගෙවීම තමයි... ඒත් මේ දුර බැහැර රට රාජ්ජෙකට යන ගමනේදී මේවා කියලා ඔබතුමාගේ හිත කරදර කරගන්නවට නම් මම එතරම් කැමැත්තක් නැහැ.”

“නෑ...... නෑ. ගුරුවරුන් ගේ පඩිනඩි ගෙවන්න ඕනමනේ එහෙම නැත්නම් තමුන්නැහෙට ඉදිරි මාස පවත්වාගෙන යන්නේ කොහොමද? හොඳයි පොඩ්ඩක් ඉන්න ලියන මහත්තයව මං කැඳවන්නම්.” එලෙස පැවසු ආතර් සිල්වා මැතිතුමා තම ලියන මහත්තයාව වහාම කැඳවා බැංකු පොතේ තව කීයක් විතර ඉතිරිව තිබෙනවාද බලන්න.

“ලක්ෂ හත අටක් නම් තියෙනව සර්”

වහාම චෙක් පොත ගෙන්වාගත් එතුමා රුපියල් ලක්ෂ හයකට චෙක් පතක් ලියා කුලරත්න මහතාට පරිත්‍යාගයක් වශයෙන් ලබා දුනි.

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ ගුරුකම සාර්ථක විය. “අද ඉඳන් ආනන්දයේ කොල්ලො හොඳට ඉගෙන ගනීවි. කවද හරි මේක රජයේ බොදුණු පාසල් අතර අග්‍රගණ්‍ය පාසලක් වේවි.”

ඉදින් මේ විශිෂ්ට යුග පුරුෂයන්ට පාරමිතා පුරන්නට සිව්වරම් දෙවි රැකවරණය ලබාදීමට කොණ්ඩදෙණියේ හාමුදුරුවන් කළ මෙහෙවර අගනේමය.

කොණ්ඩදෙණිය පොඩි හාමුදුරුවන්ගේ ගුරුකම්වල හාස්කම්

රාජ්‍ය සේවයේ නියෝජ්‍ය විදුහල්පති ධුරයෙන් ඉසඹුලා වැඩිකලක් ගත නොවුණත් කොණ්ඩදෙණිය පොඩි හාමුදුරුවන් නමින් විරුදාවලිය ලත් කඩම්බාවේ අනුරුද්ධ හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ක්ෂේත්‍රයේ තම කිරිඅප්පා වූ කොණ්ඩදෙණිය සීලරතන හිමියන් හා සමගාමීවම පෙරමුණටම පැමිණෙන බව මහා කොණ්ඩදෙණිය හාමුදුරුවන්ද දැන සිටියහ.

උන්වහන්සේ ගිහිකල 7 හැවිරිදි කුඩා දරුවකුව සිටියදී කොණ්ඩදෙණිය පන්සල් පරිශ්‍රය තුළදීම දුටු සිහිනයෙන් කාලිමෑණියගේ සහ පත්තිනි දෙවිඳුන්ගේ පූර්ණ සහය ලැබෙන බව කොණ්ඩදෙණිය හාමුදුරුවන් වහන්සේ වදාළ සේක.

ඒ නිසා දෝ වයස අවුරුදු 12දී සාමණේර හිමිනමක් වශයෙන් සසුන්ගත වූහ. ඒ කඩම්බාවේ අනුරුද්ධ හිමියන් නමිනි. එකල කොණ්ඩදෙණිය සීලරතන හිමියන් සමඟ ළඟින් අසුරු කළෙන් කෙටිකලක් තුළ වුවද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන්නට උන්වහන්සේ භාග්‍යවන්ත වූහ.

ලොකු හාමුදුරුවන්ගෙන් දායාද වූ ඡ්‍යොතිෂයට ආයුර්වේද විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, හාස්කම් පිළිබඳ දැනුම හුදීජනතාවගේ පහන් සංවේගය සඳහා යහපත් මෙහෙවරක නිහඬ සේවාවක් ඉටුකරමින් වැඩ සිටියහ.

තම “කිරිඅප්පා” කියාදුන් ගුරුහරුකම් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කොට එම ගුරුකම් අත්හදා බලන්නට උන්වහන්සේට අවශ්‍ය විය.

කඩා වැටී ප්‍රතිසංස්කරණය කළ යුතුව පැවැති මේ විහාර භූමිය තුළ බලගතු ගුරුකම්ද උපයෝගී කොට ඉතා කෙටි කාලයක් තුළ කොණ්ඩදෙණිය පන්සල රජමහා විහාරයක මට්ටමට දියුූ පමුණුූ කරන්නට උන්වහන්සේට හැකිවූයේ මේ විස්මිත ගුරුකම් ප්‍රායෝගිකව අත්හදා බැලීමට තම පන්සල් භූමියම භාවිත කර ගැනීමෙනි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර් / ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.