වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
මෛථුන්‍යය සඟවා දරුපල ගැන කියන වෙද කවි පබාව
මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේ දක්ෂ කවියෙකු බව අපට මනාව හඳුනා ගත හැකිය. ක්‍රි.ව. 1933 විරචිත ‘වෙද කවි පබාව කෘතිය ඔස්සේ ස්වකීය කවීත්වය මලවැන්නේ නාහිමියෝ ප්‍රකට කොට ඇත. වෙද කවි පබාවේ 140 වන පද්‍ය මඟින් පුරුෂ සහ ස්ත්‍රී දාරකෝප්පත්ති සඳහා හේතුවන සාධක ඉදිරිපත් කිරීමට උන්වහන්සේ ඉදිරිපත් වී ඇත. කෙනෙකුට එය භික්ෂුවකට කැපදැ’යි ප්‍රශ්න කළ හැකිය. නමුත් උන්වහන්සේ මෛථූන ධර්මයට අනුශාසනා කිරීමක් එමඟින් සිදු කොට නැත. උන්වහන්සේ හෙළ වෙද දැනුම අනුව එහි හේතු ප්‍රත්‍යය පමණක් ඉදිරිපත් කොට ඇත. ආයුර්වේද සාහිත්‍ය ග්‍රන්ථයක් වන අෂ්ටාංග හෘදය සංගීතා වේ කර්තෘ බෞද්ධ ශ්‍රාවකයෙකු වූ බැවින්, තම වෛද්‍යග්‍රන්ථයේ දී වාජීකරණ තන්ත්‍රය සංග්‍රහ කරන්නේ බ්‍රහ්ම චරියාවේ අගය ද ඉස්මතු කරමිනි. එම දර්ශනයම මලවැන්නේ කවිධජ හිමියන්ගේ කෘතිය මඟින්ද හඳුනා ගත හැකිය.
සුකුරු වැඩි වීමෙ න
පිරිමි දරුවෙකු උපදි න
සෝණිත වැඩිවූ තැ න
දුවක් උපදින බැව් නිසැක ව න
පුරුෂ බීජානු සහ ස්ත්‍රී බීජානුවල වැඩි අඩු භාවය පිරිමි දරුවෙකු සහ දුවක බිහිවීමට හේතු ප්‍රත්‍යය වන බව කතුහිමියෝ නිසැක කොට අවධාරණය කරති. ‘
“නම් රූ” දෙකොට සි න
‘නම්” යන කොටස මුල් ව න
මුල් කොටසට නොමි න
එ “රූ” කොසය නිති යටත් වන
සුකුරු සහ සෝණි ත
සමවී ගැබෙහි එක් වෙත
මෙ සමානෙන උප ත
නපුංසක යන නමින් පළ වෙ ත
ස්ත්‍රී පුරුෂ දරු උපතට හේතු දක්වා ඉන් අනතුරුව ඉහත පද්‍යය මඟින් නපුංසක උපතට හේතු සාධක ඉදිරිපත් කොට ඇත.
භෞතික හේතු ප්‍රත්‍ය පමණක් නොව දරුවකුගේ බිහිවීමට කර්ම සිද්ධාන්තය ද හේතුවන බව පෙරදිග ශාස්ත්‍ර සහ දර්ශනවාදවල ප්‍රබල මතයකි. බුදුසමය ද විඤ්ඤාණයාගේ පහළ වීම දක්වා ඇත. දරුඵල නොමැති යුවළ සඳහා හෙළ වෙදකම තුළ බෝධිපූජා ආදි අභිචාර සම්ප්‍රදායයන් අපගේ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ එම ගැඹුරු අධි භෞතික සිද්ධාන්තය මත පිහිටාය. කර්ම යම් භවයක් තුළ හෝ මේ භවය තුළ කළ අතීත අකුසලයක විපාකයක් වශයෙන් දරුඵල නොලබන අවස්ථා ධර්ම සාහිත්‍යය තුළද හඳුනාගත හැකිය. එබැවින් අතීත අකුසල විපාක ප්‍රබල කුසල කර්ම මඟින් යටපත් කිරීමට පූජා චාරිත්‍ර හේතු වේ. මෙය සිංහල, හෙළ වෛද්‍යාචාර්යවරුන් මැනවින් අවබෝධ කොට ඇත.
මිනිස් නොමිනිස් මේ
ඇත දෙයුරු පිළිසිඳු මේ
මුසුව කළ කරු මේ
දෙපස මුසු වී උපත නිය මේ
සත්ව උපතට හේතුවන පසක් ප්‍රත්‍යයන් පවතින බව මලවැන්නේ කවිධජ හිමියෝ දක්වති.
උපතකට මුල්වන
හේතු පසකැ’යි දනු මැ න
දෙවෙනි වී පවති න
හේතු ඇත තව ‘තුනක්’ එලෙසින
වෙදකම උසස් බ්‍රහ්ම පදවිය තරම් සම්භාවිත වෘත්තියකි. එය වර්තමානයේ පුද්ගලයාගේ කෙලෙස් ධර්ම උත්සන්න වීමත් සමඟ එම සේවාවේ ගෞරවනීය භාවයද කෙමෙන් වියැකී යන බව හඳුනාගත හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ආචාරධර්ම පිළිබඳව වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත වෙනම උගන්වන අවස්ථා අප අසා ඇත. පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රවල ද වෛද්‍ය ආචාර ධර්ම පද්ධතියක් පවතී. වෙද කවි පබාව කතුවරයා එහි වැදගත් සිද්ධාන්තයක් කවියෙන් අපට කියා දෙයි.
අනුන්ගේ දැනුම ට
නුරුස්නා වෙද කෙනකු ට
පව් පිරෙයි හැම වි ට
එබඳු වෙදු හා නොයව් අසල ට
සිංහල වෙදැදුරන් කරුණාව සහ මෛත්‍රී සිතුවිලි හද තුළ සපිරුණුූ පිරිසක් බව ප්‍රකටය. අද පවා මූල්‍ය අපේක්ෂාවෙන් තොරව කරුණාව පමණක් මුල් කොට දහස් ගණනින් රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන් අප රට තුළ ඇත. එය බුදුසමය මඟින් ලැබු වටිනා ආචර ධර්ම පද්ධතියේ ප්‍රකට ලක්ෂණයකි. රෝගීයා වෛද්‍යවරයකු වෙත එළඹෙන්නේ ඉතා අසරණ කායික මානසික තත්ත්වයකිනි. එවැනි පුද්ගලයෙකුට වෛද්‍යවරයාගේ මෛත්‍රිය නියඟයට වැසිය දිය මෙන් වටින්නේය. එය රෝග සුවයට ද හේතු නොවන්නේ නොවේ.
තමන්ගේ දැනුම ම
වණනා වෙදුට අය ස ම
අයසැති ඔහු හැර ම
යසස් වතු හා වවව් මිතු ද ම
තමාම නිවැරැදිය, අන්‍යයන්ගේ වෛද්‍ය භාවිතයන් වැරදි යැ’යි නිතරම පුරසාරම් දොඩන වෛද්‍යවරයා සැබෑ වෛද්‍යවරයෙක් නොවේ. වෛද්‍යවරයා අනතිමානී විය යුතුය. එය වටිනා වෛද්‍ය ආචාර ධර්මයකි.
ක්ෂය රෝගය පිළිබඳ කදිම පැහැදිලි කිරීමක් මලවැන්නේ වෙද හිමියන් පෙන්වා දී ඇත.
රස ඈ දාතු බ ල
සුදුසුව පවතිනා ක ල
සය රෝ නමැති බ ල
ලෙඩය නොවදියි ගතට කිසි තුළ
එම දාතු පිරි හී
සස ලෙඩය පෙණහැලි හී
උණ ගතිද ගතෙ හී
එලෙඩ සමඟම ඇත නොවැළ හී
ආහාර පිළිබඳ පුද්ගලයාගේ භාවිතය සෞඛ්‍ය සඳහා ප්‍රධාන හේතු සාධකයක් වේ. විසම පරිහාරජාබාධා ලෙස ගිරිමානන්ද සූත්‍රයේ ද දක්වා ඇත්තේ ඒ පිළිබදවය. වෙද කවි පබාව කතුවරයාද ඒය අවධාරණය කොට ඇත. ආහාර ගැනීමේ ආචාර ධර්ම ද අප වෙත ඉදිරිපත් කොට ඇත.
ආයු වැඩි වන ලෙ ස
වළඳව් සොඳ අහර ර ස
ගිතෙල් කිරි බල රැ ස
දිගාසිරියට හේතුව කිය ස
ආයුෂය මනාව සංරක්ෂණය වන පරිදි ආහර වැළඳිය යුතුය. ඒ සඳහා සෞඛ්‍ය වී ආහාර අනුභව කළ යුතු ය. ගිතෙල් අනුභවය හා කිරි යන පස්ගෝරසය යස අහරක් ලෙස දක්වා ඇත. ඒ සඳහා පිරිසිදු ගිතෙල් සහ කිරි ආහාර අවශ්‍ය වේ. කලවම් කළ කංසකූට වෙළෙඳුන් විසින් වංචා කළ නිෂ්පාද පුද්ගලයාගේ සෞඛ්‍ය හානි වීම සඳහා හේතුවන බව ද තවදුරටත් කතු හිමියෝ දක්වා ඇත.
දොසැති කිරි ගිතෙලි න
ආයු අඩුවට පමුණ න
මෙහි දුදන විකුණ න
කිරද ගිතෙල ද දොසින මුසු වන
පලා වර්ග අනුභවයේ වටිනාකම කතුහිමියෝ දක්වන්නේ පරිසරයේ සිටින සදත්කුලයේ හස්තියා උපමා කොට ගෙනය.
ගුණ ඔද රැස රඳ න
නොතැවුණු පලා කොළ ක න
අලියා දෙස බල න
මෙතොප කන්නුද අනේ අනුව න
ඉදුණු පලතුරු අනුභවය සිරිපල ලැබීමට හේතු ප්‍රත්‍යය වන බව ද කතු හිමියෝ අපට කියා දෙති.
ගතට දෙන සුබ පල
වැළඳුව සොඳ ඉදුණු පල
මගෙ බසින දෙන පල
විලස ආ වැඩු මෙනා සිරි පල
කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී, රාජකීය පණ්ඩිත ශාසන කීර්ති ශ්‍රී
රත්මලානේ රතනසිරි හිමි