මාපිලා ගැන දන්න නොදන්න කතා

නොවැම්බර් 24, 2023

ග්‍රාමියව සර්ප දෂ්ඨනයන් නිරතුරුව සිදු වේ. ඒ අතර “මාපිල්” දෂ්ඨනයන් බහුලය. මාපිලා කෑ රෝගියාගේ සෙම ධාතුව කෝප වෙයි. දිගින් හා මහතින් පොළඟකු ප්‍රමාණයෙන් යුක්තය. පැතලි හිසකින් යුක්තවීම විශේෂ ලක්ෂණයකි. මාපිල් දෂ්ඨය සෙම කෝපයෙන් රෝගියා තුළ නිද්‍රාභාවය ඇති කරයි. මේ වටා ගෙතුණූු මිථ්‍යා කතා බොහොමයකි.

දේශීය විෂ වෛද්‍ය විද්‍යාවට අනුව මාපිල් වර්ග කීපයකි. නාග මාපිලා, ලේ මාපිලා, ගැරඬි මාපිලා, නිදි මාපිලා වශයෙනි. මොවුන් රංචු වශයෙන් ජීවත්වන සර්ප විශේෂයකි. ඔවුන්ගේ වාසස්ථාන නිවෙස් පරිසරයන්වල දකින්නට ලැබේ. නිවසේ වහලේ බිත්ති කුහරවල, ගස් හා ගල් බෙනවල, කොළ රොඩු අතර වාසය කරනු ලැබේ.

ගවයන්, කකුළන්, පරවියන්, එළුවන් ළගින අවට මාපිලා ගැවසීමට පි‍්‍රයකරයි. මෙවැනි නිවෙස් වාසීන් අවට පරිසරය නිරතුරුව පවිත්‍රව තබාගත යුතුය.

මාපිල් දෂ්ඨයන් නිසා පහළවන රෝග ලක්ෂණ කීපයකි. ශරීරය සුදු පැහැ ගැනීම, කරකැවිල්ල, ක්ලාන්තය, ඇස් පෙනීම දුර්වලවීම, අධික නිදිමත, නාසයෙන් හා මුඛයෙන් සෙම පිටවීම, බඩ ඉදිමීම, උගුරේ සෙම බැඳීම හා හිරවීම, ශරීරය සීතල වීම ඒ ලක්ෂණ වේ. කෙසේ වෙතත් මේ සර්පයා මධ්‍යම විෂ සහිත සතෙකි.

රංචු පිටින් ජීවත් වන මාපිලුන් වටා ගෙතී ඇති මිථ්‍යා කතා බොහොමයකි. රාත්‍රි කාලයේ පැමිණෙන මාපිලුන් වහලේ සිට එකාපසුපස එකා බැගින් එල්ලී ලේ උරා බොන බව කියැවේ. අනතුරුව දෂ්ඨනයට ලක් වන්නා නින්දේම මිය යන බව පවසයි. මේවා ගැමි වහරේ පවතින දෑ විනා විෂ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ නොවේ. එවැන්න මෙතෙක් කරන ලද පර්යේෂණවලින් සනාථ වී නොමැත.

මාපිලුන් තළා මරා දැමීමෙන් වැළකිය යුතුය. හේතුව මාපිලකු මැරූ විට වායුවට වහණය වන හෝමෝන සුගන්ධය අවට පරිසරයේ පැතිරෙයි. එම ආරාධනා සන්නිවේදනය අනුව අවට මාපිලුන් ඇදී එන්නේය. අනෙක් පසින් පරිසරයට අයත් මේ සර්පයා විනාශ නොකළ යුතුය. ආගම දහම හා සදාචාරය අනුවද සත්ත්ව හිංසනය යුතු නොවේ. වැරදීමකින් හෝ මාපිලෙකු මැරුණූ විට පුලුස්සන ගින්නට පිච්චමල් දැමීමෙන් සෙසු මාපිලුන් පැමිණීම වැළකෙයි.

 

නිදි මාපිලා

 

නිදි මාපිලා ගේ ශරීර ලක්ෂණයන් මෙසේය. වැඩුණු මාපිලෙකු අඩි 04ක් පමණ දිගකින් යුත් වේ. සිරුර තද දුඹුරු හෝ අළු පැහැයක් ගනු ලැබේ. ශරීරය පුරා විශාල තිත් පැතිරීමක් දැක ගත හැකිය. හිස ගෙලෙන් වෙන්ව පැහැදිලිව පිහිටා ඇත. ප්‍රමාණයෙන් විශාල ඇස් දකින්නට ලැබේ. ඇසේ කනිකා බළලෙකුගේ මෙන් තිරස්ව දිස් වේ.

මේ සපුවාගේ හිසෙහි පෙණහැල්ලක හැඩැති තද පැල්ලමකි. මුඛය දෙපසෙහි ඇස් දක්වා දිවෙන පැල්ලමක් වේ. ගැහැනුු සත්ත්වයා වසරේ පෙබරවාරි අපි‍්‍රයෙල් කාලයේ බිත්තර 05 -15 අතර ප්‍රමාණයක් දමයි.

නිසාචර සත්ත්වයකු වන නිදි මාපිලා, මියන්, හූනන්, හා කුරුල්ලන් මෙන්ම එම බිත්තර ප්‍රධාන වශයෙන් ආහාරයට ගනියි. මීටර් 1500 අඩු බිම් ප්‍රදේශවල සුලබ වෙසෙන සර්පයකු වේ. පඳුරු සහිත ලඳු කැලෑවල හා ගෙවතු ආශි‍්‍රතව දැක ගත හැකිය. මධ්‍යම විෂ සහිත සර්ප ගණයට අයත් වේ.

 

ලේ මාපිලා

 

මීටර් 1.5 - 2 අතර දිගටි ශරීරයකින් යුක්තය. දුඹුරු හෝ අළු පැහැයෙන් යුත් සිරුරක් දක්නට ලැබේ. ඒ මත කළු හෝ සුදු පැහැ පැල්ලම් විසිරී පවතියි. මේ අතර රතු වර්ණයෙන් යුත් සිරුරු ප්‍රභේදයක් ඇති මාපිලුන්ද වේ. ගෙල පැහැදිලිව වෙන්ව පෙනෙන ත්‍රිකෝණාකාරි හිසකින් යුක්තය. දිගු සිහින් වලිගයක් දකින්නට ලැබේ.

මේ වැඩුණු ගැහැනු සතෙකු අගෝස්තු, සැප්තැම්බර් , කාලයේ වරකට බිත්තර 08 -10ක් අතර ප්‍රමාණයක් දමනු ලැබේ.

ගස්වල වෙසෙන ලේ මාපිලා රාත්‍රියේ පරිසරය තුළ සැරිසරයි. දිවා කාලයේ ගස් බෙනවල වාසය කරනු ලැබේ. රාත්‍රි කාලය පුරා ඉතා ක්‍රියාශීලිව සැරිසරන සර්පයකු වේ. ගෙම්බන්, හිකනළුන්, මීයන්, කටුස්සන්, වැනි සතුන් ආහාරයට ගනු ලබයි.

ලේ මාපිලා, වියළි කලාපයේ, අතර මැද කලාපයේ හා

කන්එළියේ මෙන්ම සිංහරාජ අඩවියේ දී හමුවේ. පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිගැනීම අනුව මඳ විෂ සර්පයකු වන්නේය. දෂ්ඨ ස්ථානය ඉදිමීමට ලක් වේ. වේදනාව හටගනු ලැබේ.

 

පඳුරු මාපිලා

 

ශරීරය අඩි 02ක් පමණ යුක්තය. අළු හා දුඹුරු වර්ණ තිත් විසිර පවතියි. පිට පෙදෙස රන්වන් රතු, දුඹුරු පැහැයක් ගනු ලැබේ. තද දුඹුරු පැහැයෙන් යුක් පැල්ලම් බෙල්ලේ සිට වලිගය දක්වා විහිදෙයි. ඇස් දීප්තිමත් අළු පැහැයක් ගනු ලැබේ. හිස දම් පැහැයට හුරු අළු පැහැයක් ගනු ලබයි.

පඳුරු මාපිලා වනාන්තරවල ගස් මත හා එම බෙන තුළ මෙන්ම ලොකු ගස් පැළුම් අතරේ ජීවත් වෙයි. රාත්‍රියේ ක්‍රියාත්මක නිශාචර සත්ව ගණයට අයත්ය.

මුහුදු මට්ටමෙන් උස මීටර් 600 පහළ බිම්හි වාසය කරයි. නුවර, ගන්නොරුව, ලබුගම, මාතලේ, බලංගොඩ හා සිංහරාජය වැනි ප්‍රදේශවලින් වාර්තා වේ. ගැහැනුු සත්වයා ජනවාරි මාසයේදී බිත්තර 2 - 4 අතර ප්‍රමාණයක් දමයි. හූනන් හා කටුස්සන් පඳුරු මාපිලන් ආහාරයට ගනු ලැබේ. දෂ්ඨයන් උග්‍ර විෂ සහිත නොවේ. එහෙත් පහර කෑමට ලක් රෝගීන් ඉදිමුමට හා වේදනාවට බඳුන් වේ.

විෂ වෛද්‍යවරු මාපිලා උග්‍ර විෂ සර්පයකු නොවන බව පවසයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීමද එයම වේ. කෙසේ වෙතත් මාපිල් දෂ්ඨයන්ගෙන් සිදුවූ මරණ වාර්තා වී තිබේ. රාත්‍රි නින්දේදී සිදුවන මාපිල් දෂ්ඨයකදී සෙම හිරවීමෙන් මරණ සිදුවිය හැකිය. නිදි, ලේ හා හබර මාපිලුන්ගේ දෂ්ඨයන් නරක කාල, හෝරා, තිථි මරමස්ථාන අනුව සිදුවීමෙන් මරණය ළඟා වනු ඇත. කෙසේ වෙතත් දක්ෂ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලින් බොහෝ රෝගීන් සුවය ලබයි.

දෂ්ටයකදී ශරීරගත වන මාපිල් විෂ මුළුමනින්ම ඉවත් කරගත යුතුය. මාපිල් විෂ සිරුරේ ශේෂ වීමෙන් දිගුකාලීනව ඇති වන රෝග තත්ත්වයන් කීපයකි. අධික හිසරදය, ශ්වසන රෝග, ශ්‍රවණ දුබලතා, මාපිල් දෂ්ඨනයක් සිදුවූ විගස නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් දින කීපයකින් සුවපත් වේ.

මාපිල් දෂ්ඨයට අත් දුටු ප්‍රත්‍යක්ෂ ඔසුවකි. මුකුණුවැන්න පැළෑටිය, මුකුණුවැන්න නර මුත්‍රයෙන් හෝ දෙහි ඇඹුලෙන් අඹරා දෂ්ඨ මුඛයේ තැබිය යුතුයි. මුකුණුවැන්න කැඳ උයා එළඟිතෙල් දමා බීමට දීම ඉතා ගුණදායකය. මුකුණුවැන්න දලු යුෂ දෙහි ඇඹුලෙන් නස්න කිරීම සාර්ථක ප්‍රතිකාරයකි.

වල් හබරල පිත්ත, අමුකහ, ලුණු දමා කොටා මලවා දෂ්ට මුඛයට තබා රෙදි පටියකින් වෙළිය යුතුය. වල් හබරල අලයක් එළකිරෙන් තම්බා දෙහි ඇඹුලෙන් අඹරා පෙවීම යෝග්‍යයයි.

මෙහි සඳහන් කළේ පහසුවෙන් භාවිතයට ගත හැකි ඖෂධ කීපයකි. මාපිල් දෂ්ඨයට විස වෙද ප්‍රතිකාර ඔසු පන්ති රැසක් වේ. මෙවැනි රෝගියකුට හිතුමතේ ප්‍රතිකාර කිරීම බරපතළ වරදකි. සුදුසුකම් ලත් වෛද්‍යවරයකු යටතේ ප්‍රතිකාර ලැබීම ප්‍රධාන වගකීමක් වේ. නොඑසේ නම් ජීවිත හානි පවා ඇතිවීමට ඉඩ තිබේ.

 

 

විද්‍යා භූෂණ රාජ්‍ය සම්මානලාභී

පණ්ඩිත වෛද්‍ය

ලක්ෂ්මන් වසන්ත රුක්මාල්

‘රයිගම වෙද ගෙදර’

ගොරකපිටිය පිළියන්දල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.