කවදා හෝ මමත් වැඩිහිටියෙක්මි

ඔක්තෝබර් 01 වැනිදාට යෙදුණු වැඩිහිටි දිනය නිමිත්තෙනි.
ඔක්තෝබර් 6, 2023

ශ්‍රී ලංකාව ප්‍රමාදයකින් තොරව වයස්ගතවන ජනගහනයක් සිටින රටක් ලෙස වාර්තාගත වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් පමණ අවුරුදු හැටට වැඩි වයස්ගත වූවන්ගෙන් සමන්විත වී ඇත. ඒ අනුව දෙදහස් විසිපහ වන විට ජනගහනයෙන් වයස්ගත වූවන් වැඩිහිටි ජනගහනය සියයට විසිදෙක දක්වා ඉහළ යා හැකි බවට ද වාර්තා වේ. එමෙන්ම මේ වන විට රටේ ජනගහනයෙන් පුද්ගලයින් අටදෙනෙකුගෙන් එක් අයකු වයස අවුරුදු හැටට වැඩි වැඩිහිටියකු බවට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දී ඇත. දැනට සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විසිහයක් පමණ සිටින්නේ නව යෞවන හා තරුණ පරපුරයි.

 

වැඩිහිටි ජනතාව

 

වැඩිහිටි ජනතාව වැඩිම රටක් බවට පත්වන ශ්‍රී ලංකාවේ වයස්ගත වූවන් පිළිබඳ වැඩි සැලකිල්ලක් හා වගකීමකින් යුතුªව කටයුතු කළ යුතු කාලයක් ඇති වේ. වැඩිහිටියකු බවට පත්වීම නැතහොත් වියපත්වීම වයස්ගත වීම වයෝවෘද්ධවීම නිසා ශාරීරික හා මානසික වශයෙන් යම් යම් අවදානම් තත්ත්වයන්ට පත්විය හැකිය. එබැවින් සැම වැඩිහිටියකුම සෞඛ්‍ය සම්පන්නව සිටිමින් වයස්ගතවීම ඉතාම වැදගත්ය. ශාරීරික හා මානසික වශයෙන් යම් යම් අවදානම් තත්වයන්ට පත්වෙයි. එබැවින් සෑම වැඩිහිටියකුම සෞඛ්‍ය සම්පන්නව සිටිමින් වයස්ගතවීම ඉතාම වැදගත්ය. විශේෂයෙන් වයස්ගතවීමේදී ඇතිවන රෝගාබාධ ගැන අනෙකුත් වැඩිහිටියන් මෙන්ම දූ දරුවන්ද ඔවුන් ගැන දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුය. වියපත් භාවයට පත්වීමේදී ඇතිවන ශාරීරික හා මානසික වෙනස්කම් බොහෝය.

 

රෝගාබාධ

 

සිහිකල්පනාව අඩුවීම, තදින්ම කේන්තියාම, සුළු දේට පවා නුරුස්සන ගතිය, හිතුවක්කාර ලෙස හැසිරීම නුවුමනා දේවල් ගැන වාද විවාද කිරීම, එපා කියන දේම කිරීමට පෙලඹීම ද වේ. වැඩිහිටි වියේදී බෙහෙවින්ම ඇතිවන ශාරීරික රෝගාබාධ අතර අධිරුධිර පීඩනය දියවැඩියාව, අංශභාගය, ආඝාතය, ශ්වසන ආබාධ, ඇදුම, වකුගඩු රෝග, පිළිකා මෙන්ම පීනස් රෝග ද වේ. ඇසේ සුද හට ගැනීම, ග්ලූකෝමාව, කඳුළු ගැලීම, එළිය හා ආලෝකය බැලීමේ අපහසුතාවය, මූත්‍රා පිටකිරීමේ අපහසුතාවය, මලබද්ධය මෙන්ම සමබරතාවය පවත්වාගෙන යෑමට නොහැකිතාවය, හන්දිපත් වේදනාව, කොන්දෙ අමාරුව ආදී රෝග දැක්විය හැකිය. හන්දි දුර්වලවීම නිසා ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් රෝගයද නින්ද නොයෑමෙන් ඇතිවන මානසික වෙනස්වීම් මෙන්ම ස්නායු හා මොළයේ දුර්වලතාද ඇතිවේ.

අත්පා හිරිවැටීම පමණක් නොව අපස්මාර රෝගී තත්ත්වයන්ට පවා පත්විය හැකිය. විශේෂයෙන් වයස්ගතවීමේදී බෙහෙවින් බෝ නොවන රෝගවලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩිය. රුධිර පීඩනය හා රුධිරයේ සීනි වැඩිවීම පිළිබඳව පරීක්ෂණ කරවා ඒ අනුව ප්‍රතිකාර ලබා දිය යුතුය. හිස කැක්කුම ඇස්වල වේදනාව , ඇස් රතුවීම,ඇස්වලින් කඳුළු ගැලීම, කන් නෑසීම, ගඳ සුවඳ නොදැනීම හා රස නොදැනීම ද වේ. වියපත් බවේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ යමක් වටහා ගැනීමේ ශක්තිය අඩුවීමයි. එක්වරම යමක් කීමටත් අපහසුවේ. ශක්තිවන්තයකු ලෙස ඇඳෙන් හා පුටුවෙන් නැඟිට යාමට සූදානම් වීමේදී මාරු නොමැතිවීමෙන් අනතුරු විය හැකිය.

 

පෝෂණය

දත් කැක්කුම නිසා බෙහෙවින් අපහසුතාවන්ට පත් වේ. මුඛයේ අපිරිසුදුතාවය, දත් මැළියම් බැඳීම, විදුරුමස් රෝගයන්ට ද හේතුවක් වේ. එබැවින් මුඛයේ පිරිසුදුතාවය ගැන සැලකිලිමත් විය යුතුය. වයස්ගතවීමේදී ඇතිවන තවත් ලක්ෂණයක් වන්නේ පැවැති උසේ වෙනස්වීමයි. උස අඩුවක් සිදුවේ. එය නොදැනුවත්වම සිදු වන්නකි. පෝෂණය ගැනද කල්පනා කළ යුතුය. මන්දපෝෂණ තත්ත්වයක් ඇති නොවීමට සුදුසු ආහරපාන ලබා දිය යුතුය. ආහාර රුචිය අඩුවීම හා බර අඩුවීම වයස්ගතවීම ඇතිවීමද නොවැළැක්විය හැකිය. ආහාර ලබාදීමේදී කිරි මිශ්‍ර ආහාර, ධාන්‍ය වර්ග එදිනෙදා ගනු ලබන ආහාර වර්ගවලින් ශරීරයට අවශ්‍ය කැල්සියම් හා විටමින් ලැබෙන පරිදි ලබා දිය යුතුය.

 

වෙනස්කම්

 

වියපත්වීම සමඟ ශරීරයේ රැළි වැටීම සිදුවේ. සමේ රැළි මතුවීම. ශරීරයේ දුර්වර්ණ වීම ආදි වෙනස්කම්ද රැසක් මතුවේ. හදවතේ ක්‍රියාකාරීත්වය හා පෙණහලු ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයන්ද ඇති වේ. අතපය, ඔළුව සෙලවීම ආදි වෙනස්කම්ද පවතී. කම්පාසුව හෙවත් පැරලීයස් එපිටන්ස් නමින් එය හඳුන්වා ඇත. වැඩිහිටියන්ට දිය යුතු ආහාර සමතුලිත හා රසවත් බවෙන් යුත් පහසුවෙන් දිරවිය හැකි ආහාර ලබාදීමට ක්‍රියා කළ යුතුය. සෑමවිටම අඩු ආහාර වේලක් පි‍්‍රයමනාපයක් ලැබෙන පරිදි ලබා දිය යුතුය. පලතුරු, එළවළු හා කෙඳි සහිත ආහාර, විටමින් සහිත ආහාර, එළවළු, පලා වර්ග වියපත් වූවන්ට ලබාදීම ඉතාම ගුණදායකය.

තම්බපු සහල් බත්, ඇට වර්ග, බොහෝ ගුණදායකය. වාතරක්තය හේතුවෙන් බොහෝ වැඩිහිටියන්ගේ කොඳුනාරටිය, දණහිස් අක්‍රිය තත්ත්වයට පත්වේ.

මෙවැනි රෝගී තත්ත්වයන් දෛනික ජීවිතයට මහත් බාධාවකි. නහර ගැට ගැසීමත් එක්තරා රෝග ලක්ෂණයකි. වැඩිහිටි ජනගහනය ඉහළ යෑමෙන් ගැටලු රැසක්ම ඇතිවේ. ඒවා පවුල් ඒකකය තුළින් හා සමාජය තුළින් විසඳා ගත යුතුය.

 

වියපත් බව

අප ජීවත්වන කාලයේ වසර හැට ඉක්මවන විට තමන්ගේ මහලුවිය එළඹෙන බව අවබෝධ කරගත යුතුය. එය පසු කරන විට කායික හා මානසික සෞඛ්‍යය දුර්වලවී ටිකෙන් ටික අසරණභාවයට පත්වේ. එබැවින් නිසි වයස්කාල සීමාවේදී ඉදිරියේදී මහලු වියට පත්වන බව තේරුම් ගෙන පැවැති දරදඬු ගති හිතුවක්කාර ගති පැවතුම් ගැන තේරුම් ගෙන ආගමානුකූල ජීවිතයකට පිවිසිය යුතුය. මමද මහලු වයසට පත්වන්නේ යැයි සිතමින් යහපත් දින චරියාවකට සූදානම් විය යුතුය. රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් අලුයම් කාලයේදී අවදි විය යුතුය. මූත්‍රා කිරීමට අවශ්‍ය නම් එය සිදුකොට දත් මැද, මුහුණ, අත්පා සෝදා ආගමික වතාවත්වල නියැළිය යුතුය. හොඳ සෞඛ්‍යය තත්ත්වයක සිටී නම් ස්නානය කොට ආහාර ගෙන ටික වේලාවක් නිදහස්ව සිටිය යුතුය.

දෙදහස් විසිපහේදී වයස්ගත වූවන්ගේ ප්‍රමාණය මුළු ජනගහනයෙන් සියයට විස්ස දක්වා වැඩිවන අතර, වැඩිහිටි කාන්තාවන් පුරුෂයින්ට වඩා වැඩිවන බව වාර්තා වී ඇත.

 

 

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.