රජුන් හැදෑරූ සිව්සැට කලා

සැප්තැම්බර් 15, 2023

 

19. ජලස්ථම්භය

මේ සම්බන්ධව ද්විමතයක් විද්‍යමාන වෙයි. ජලස්ථම්භය යනු ජලය වැළැක්වීමයි. එනම් ගංවතුර ආදිය වැළැක්වීමේ කි‍්‍රයාවලියයි. අනික නම් ඔරු පාරු ආදිය නොමැතිව උග්‍ර මන්ත්‍ර උපයෝගී කොට ඒ බලයෙන් ජලය ද්‍රව ස්වභාවය දැඩිකොට අයිස් කදම්භයක් මවා ඒ මත ගමන් කිරීමයි.

මෙහි දෙවැන්න වනුයේ ලේන්සුවකට හෝ කිසියම් පලසකට මන්ත්‍ර මතුරා එය දිය මත දමා ඒ මත වාඩිවී දියෙන් එතෙර වීමයි. ලංකාවේ රජරට පැරැණි වාරිමාර්ග කර්මාන්තය දෙස බලන විට පැරණි හෙළයාගේ ජලස්ථම්භ ඥානයට යුරෝපීයන් පවා මවිත විය. ඕලන්දයේ මුහුද රට මැදට ගැලීම වැළැක්වීමට “ඩයික්” නම් වේලි විශේෂයක් බැඳ ඇත. එයද සැබවින්ම ජලස්ථම්භයේ හාස්කමක් සේ පෙනෙයි. මන්ත්‍ර බලයෙන් ජලය පිළිබඳ විවිධ හාස්කම් පෑමේ විශේෂ ශාස්ත්‍රයකි මෙය.

 

20. කෞචුමාරය

පුරාණ කාලයේ ඇත්තුන්ගේ ගජ සේනාව බලවත් විය. එනිසා එම බලය මැඩීම සඳහා ඇතුන් මැරිමට ද විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළේය. මෙය එතරම් ප්‍රසිද්ධ ශිල්පයක් නොවුවත් ඇතුන්ගේ නිල බලා පහරදීමට සහ සුළු නිලයක් ඇල්ලීමෙන් පවා ඇතකු මෙල්ල කර ගැනීමට හෝ මැරීමට පුළුවන. ඇතුන් මෙල්ල කිරීමට, මැතිරීම, වීණා වැයීම, පුරාණයේ භාවිත කර ඇත. කෞචුමාරයේ ප්‍රධාන අංගය වනුයේ නිල බලා පහරදීමයි. ඇතුන්ගේ කන් අඩිය, රත්කිහිල්ල, හිස් මොළය යන තැන්වල ඇතුන්ගේ ප්‍රධාන නිලයන් ඇත.

 

21. කූප ශාස්ත්‍රය

ළිං කැණීම පිළිබඳ ශාස්ත්‍රය මින් අදහස් කෙරෙයි. මේ මිහිතලයේ සෑම තැනකම ජලය නැත තවද ඇතැම් තැන්වල ඇත්තේ තාවකාලික උල්පත් ජලයයි. ඒවා විටෙක හිඳී යයි. එබැවින් සදාකාලික උල්පත් බලා ළිං කැපීම කළ යුතුය. කූප ශාස්ත්‍රඥයෝ ළිං කැණීම පිළිබඳව විශාරදයෝ වෙති. යාපනයේ ඇති හිරිගල ජලය උරා නොගෙන අභ්‍යන්තරයට ජලය කාන්දු කරයි. එබැවින් හිරිගල් තට්ටුවට යට පසේ ජලය රැදී පවතී. බොහෝ ගැඹුරු ළිං කපා ඇත්තේ එම ජලය ප්‍රයෝජනයට ගැනීම සඳහාමය. වණ්ණුපථ ජාතකයේ බෝධිසාවයන්ගේ කූපඥානාය පිළිබඳව සටහන් වෙයි. එදා මහාවාලුකා කාන්තාරයේ ඊතණ පඳුරක් දැක පොළව කැණ ජලය ලබා ගත් බව සඳහන් වෙයි. මේ කූප ශාස්ත්‍රයටම “වත්ථූ විජ්ජා” යනුවෙන්ද භාවිත වෙයි. එනම් ළිං, පොකුණු ගෙවතු අතු කැණිය යුතු තැන් දන්නා විජ්ජාවටය.

 

22. සූප ශාස්ත්‍රය

ඉවුම්, පිහුම් පිළිබඳ ශාස්ත්‍රය මෙනමින් හැඳින්වෙයි. සිංහල සාහිත්‍යයේ දඹදෙණි සමයේ (ක්‍රි.ව. 1246 -1298) ලියවුණු සූප ශාස්ත්‍රය නම් ග්‍රන්ථයක් තිබී ඇත. කුසදාවේ කථානායක කුස රජතුමන්ද දක්ෂ අරක්කැමියකු බව “කවි සිළුමිණ” දැක්වෙයි. සූප ශාස්ත්‍රය නොදන්නකු ලෝකයේ නැත. එබැවින් වැඩි විස්තර නොකරමි.

 

23. කාම ශාස්ත්‍රය

පැරණි භාරතයේ 1.ධර්ම 2.මොක්ෂ 3.අත්ථි 4. කාම නමින් ප්‍රධාන පරමාර්ථ හතරක් ඒ සමාජයේ පැවතුණි. දැහැමි දිවි පෙවත මෝක්ෂය ලබාගැනීමට ද ආර්ථික තත්වය වැඩිදියුණු කොට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටද අයිති විය. එකල මෝක්ෂය ලබා ගැනීමට වැඩි දෙනකු භාවිත කළේ අත්ථකිලමතානු යෝගයයි. (ශරීරයට තද දුක් දී විමුක්තිය ලබා ගැනීම) සුඛෝපභෝගී ජීවිතයෙන් විමුක්තිය ලබා ගැනීමට පිළිගත්තවුන් කාමසුඛල්ලිකානුයෝගය (අධික සැප විඳීමෙන් විමුක්තිය ලබා ගැනීම) භාරතීය ජනතාවගේ එදා හැඩ ගැසුණු ජීවිතය වූයේ බාලකාලයේදී ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ද තරුණ කාලයේ ගෘහස්ථ ජීවිතයට ඇතුළත්ව පඤ්චකාම රසය විඳ ගැනීමෙන්ද, වෘද්ධ අවස්ථාවේ මුනි වෘත්තයට ආරණ්‍යගතව අවසානයේ යෝගයෙන් ජීවිතය පූජා කිරීම හින්දු ජීවිතයක පරමාර්ථ වෙයි. එහෙත් බුදුන් වහන්සේ ‘මජ්ක්‍ධිම පටිපදා’ හෙවත් මැදුම් පිළිවෙත අගයා ඇත. කාම ශාස්ත්‍රය වාත්ස්‍යායනගේ කාම සූත්‍රයෙන් පිළිබිඹු වෙයි. ඉන්දීය කවියා ස්වකීය කාව්‍යවල පිළිබිඹු කළ ජීවිතය කාව්‍ය වර්ධනයට කාම ශාස්ත්‍රයෙහි අදහස් උපයෝගී වී ඇත.

 

24. ශාස්ත්‍ර වින්‍යාසය

මෙයින් අදහස් කරනුයේ ශිල්ප ශාස්ත්‍ර බෙදී ගිය හැටිය. බුදු සසුනේ ද ධූර ලෙසින් ශාස්ත්‍ර ක්‍රම දෙකක් ඇත. 1. ග්‍රන්ථ ධූරය 2. විදර්ශනා ධූරය යනුවෙනි. ඈත අතීතයට ගිය කල සෑම ශාස්ත්‍රයක්ම චතුර්විධ සම්පත්තීන් ළඟාකර ගැනීමට සුදුසු වන පරිදි සකසා ඇත. ඒවා නම් 1.අර්ථ 2. කාම 3.ධර්ම 4. මෝක්ෂ යන සම්පත් සෑම දෙයක්ම ලබා ගැනීම භාරතීය එකල ජනයාගේ අදහස විය. එබැවින් ඔවුන් ශිල්ප ශාස්ත්‍රවේ. මෙම පරමාර්ථ ඉෂ්ට සිද්ධ වන ආකාරයට සකසාගෙන ඇත. වෛදිකයෝ විද්‍යාව පවා දසමත් කොට ඉගැන්වීය. (“අප්මාදශ) එබැවින් ශාස්ත්‍ර වින්‍යාසය විසින් ඉගැන්වූයේ ශාස්ත්‍ර බෙදී ගිය හැටි හෙවත් ඒ ඒ පුද්ගලයාගේ බුද්ධිය, ළැදිකම අනුව අධ්‍යාපනය දීම සඳහා විෂයයන් බෙදු ආකාරයයි. ඒ ඒ පුද්ගලයාට ගැළපෙන ඉතා සුදුසු අධ්‍යාපනය තේරීම මෙමඟින් සිදුවී ඇත.

 

25. ශාස්ත්‍ර කර්මය

ශස්ත්‍ර කර්මය වෛද්‍ය ශාස්ත්‍රයේම උප අංගයකි. ශල්‍ය කර්මය නැතහොත් සැත්කම් (ර්‍ණනඥපචබඪධද) මේ ක්‍රමයයි. භාරතයේ මෙය ඉතා දියුණුව පැවතිණි. මේ සඳහා උපයෝගී කරගත් සැත්කම් ආම්පන්න ද තිබුණි. නියපොත්තෙන් ගෙඩි ඉරීම අද ද ඉන්දියාවේ පාරම්පරික වෙදුන් අතර සුළැඟිල්ලේ නියපොතු වඩවා එය ශල්‍ය උපකරණයක් ලෙස සකසා ගෙන සිටිනු දක්නට ඇත. ලංකාවේ බුද්ධදාස රජු සැත්කම් කිරීමෙහි රුසියෙකි. නයින්ට පවා සැත්කම් කොට ඇත. මෙම සැත්කම් සඳහා තිළිණ පවා ලැබූවකු ද වෙයි. එය පැරකුම්බා සිරිතෙහි දැක්වෙයි. වත්මන්හි බටහිර වෛද්‍ය ක්‍රමය මුල් තැන ගත්තත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී පවා සැත්කම්කළ බව විනය පිටකයේ සඳහන් වෙයි.

 

26. අශ්වාරෝහණය

මේ අසුන් පිට නැඟී රණ වැදීමේ ශිල්පයයි. අසුන් පිට ගොස් යුද වැදීමට නම් ඒ පිළිබඳ මනා පුහුණුවක් ලැබී තිබිය යුතුය. මේ සඳහා පුහුණූු කරවීමේ ශාස්ත්‍ර ශාලා තිබූ බව ‘මහා භාරතය” ග්‍රන්ථවලින් සනාථ වෙයි. කන්ථක අශ්වයා මෙහෙය වූ චන්න ඇමැතියාද අසුන් මෙහෙය වීමේ රුසියෙක් විය. පණ්ඩුකාභය රජුගේ අශ්වාරෝහණ ශූරත්වය මහා වංශයේ සඳහන් වෙයි. අශ්ව හමුදාව යුද්ධයේදී වැදගත් විය . ඇත්, අස්,රිය, පාබල, යුද්ධ අංග එකල ප්‍රබලව රාජ්‍යයේ ආරක්ෂාවට සකස් කොට තිබිණි. පැරණි සමාජයේ උසස් පන්තියේ අයගේ වාහනය වූයේද අසුමය. ඇත් වාහනය ශීඝ්‍රගාමී නොවන නිසා අශ්ව වාහනය බහුලව භාවිතයට පි‍්‍රයවිය.

 

27. ගජාරෝහණය

ඇතුන් පිට නැඟී රණබිමෙහි ජයග්‍රහණය සඳහා යෑමේ ශිල්ප ක්‍රමය ගජරෝහණයයි. බෞද්ධ සාහිත්‍යයේ එන උදේනි රජු ගජා රෝහණයේ අති සමතෙකි. එරජුන් ‘හස්තිකාන්ත” නම් වූ ශිල්පයක් දනියි. එනම් ඇතුන් දමනය කිරීමේ මන්ත්‍ර ක්‍රමයද එකල භාවිත වී ඇත. උදේනි රජුගේ හුදෙක් සිය චතුර්ය පමණක් නොව මන්ත්‍ර පිරිවා වීණා ගායනා කොට ඇතුන් ලුහුබැඳ අල්ලා ගැනීමේ සමත්කම දක්වා ඇති බව පොත පතේ සඳහන් වෙයි.

හස්ති ශිල්පය හදාරා තිබීම රණබිමෙහිදි එකල ඉතා වැදගත් විය.

 

28. අංකුෂ මාරණය

උල්වලින් හෙල්ලෙන් ඇන මිනිසුන් මැරීම අංකුශ මාරණයයි. මෙය ක්‍රම 2කි. 1.හෙල්ලෙන් ඇන මැරීම 2. බොරු වළවල උල් සිටුවා ඒවායේ වට්ටවා මැරවීමයි. හෙල්ලෙන් ඇනීම පැරණි ගී‍්‍රසියේ බොහෝ ප්‍රචලිතය. ලංකාවේ ද පැරණි කාලයේදී හෙල්ලෙන් ඇන මැරීම සිදු කෙරිණි. පැරණි ගැමි නාටකයක් වන සඳ කිදුරු නැටුමෙහිද “සැණකින් තී නාවොතින්, හෙල්ලෙන් ඇන මරමි මේ දැන්’ යයි සටහන් වෙයි.

 

29. මාරණය

මාරණය නම් මැරීමයි. එකල සතුරන් සමඟ මුහුණට මුහුණලා සටන් කොට ජය ලැබිය යුතුය ජය ලැබීමට නම් සතුරන් මැරිය යුතුය. සතුරන් මැරීමට නම් “මාරණය” උගත යුතුය. සුදොවුන් රජතුමා” මාරණය” උගත යුතුය. හේ රණබිමට වන්කල සතුරු ජනයා කවන්ධ රූප බවට පත්වෙති”යි ශී‍්‍ර බුද්ධඝෝෂාචාර්යපාදයෝ ලියූ” “පද්‍යචූඩාමණි” කාව්‍යයෙහි එයි. මිනිසුන් මැරීම් ක්‍රම කිහිපයකි. එයින් සංග්‍රාමයේදී 1.විදීමෙන් මැරීම 2.කඩුවෙන් කැපීම් 3.අඩියට් තෝහල් ආදියෙන් මැරීමයි.

 

30. මෝහනය

යමකු යමක් කෙරෙහි ඇතිකරගන්නා දෘඪ ආශාව නිසා එයට වශීවීම මෝහනයයි. කුස ජාතකයේදි කුස රජතුමා පබාවතිය ගේ රූපයට වශී වී ඇගේ රජමැදුරේ (මදුරට සාගලපුර මදු රජුගේ මාලිගයෙහි) අරක්කැමිකම් ද කළේය. වශීකර්මය සඳහා යන්ත්‍ර මන්ත්‍රද ලංකාවේ සහ ඉන්දියාවේද භාවිත වෙයි. සරසවිය ආදීන් මනඞකල්පිත දේව සංඛ්‍යාවෙහිම ගැනෙයි. යමක් කෙරෙහි යමෙකුගේ ඇල්ම වැඩේද දෙවියන්ද එහිම වෙසෙයි. මෙබැවින් සකු ඇදුරෝ දක්වන පරිදි දෙවියන් වසන ස්ථාන කීපයක් ඇත. 1.උද්යෝගය 2. සාහසය 3. ධෛවත්වය 4. බුද්ධිය 5. ශක්තිය 6. පරාක්‍රමය වන සය කොතැන්හිද දෙවියන්ද එතන ඇති යයි දක්වා තිබෙයි. ගුත්තිල පඬිතුමාගේ වෙණ නද ඇසෙත්ම රැස්වූ ජනකාය වශී විය. මෝහණයට පත්විය. “නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා” ආදී වශයෙන් දක්වා ඇත්තේ එබැවිනි.

 

මතු සම්බන්ධයි

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ඡ්‍යොතිෂවේදී ආචාර්ය

විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.