ලංකා පඤ්චාංගයේ නිර්මාතෘ ආචාර්ය රෝහන් සිසිරකුමාර

අගෝස්තු 4, 2023

ඒ මීට හැටපස් වසරකට පෙර අතීතයේ දිනයකි. පේරාදෙණිය සරසවි බිමෙහි පුස්තකාල ගොඩනැඟිල්ලේ සුවපහසු අසුනක හරිබරි ගැසී මහත් ඕනෑකමින් හා කුතුහලයෙන් එක හුස්මට පොතක් කියවන සිසුවෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන ලියැවී තිබුණු ඒ කෘතිය කෙරෙහි ඔහු සිත ඇඳී බැඳී ගියේ නිමේෂයකිනි. මේ කියැවීමම ඔහු දිවිය නව මානයක් කරා රැගෙන යාමට පසුබිම සකසාවි යැයි එදා මේ සිසුවා නිකමටවත් නොසිතන්නට ඇත. එහෙත් ඔහු මෙරට කීර්තිමත් ජ්‍යෝතිර්වේදියකු බවට පත්කරන්නට මේ කියැවීමම අඩිතාලම දැමුවේ යැයි කිවහොත් එය නිවැරැදිය.

 

මේ අපූරු විෂය ක්ෂේත්‍රය ගැන ලියැවුණු පොත් තව තවත් සොයමින් කියවන්නට ඔහු කටයුතු කළේය. එලෙස ජ්‍යෝතිෂය කෙරෙහි ඇති වූ කැමැත්ත ඡ්‍යොතිෂ ශාස්ත්‍රය විෂයක් ලෙස ප්‍රගුණ කරන තැනටම ඔහු ගෙන ආවේය. කල්ගතවත්ම ඒ උගැනුම මත ඔහු තම දැනුම භාවිත කරමින් මෙරට මෙන්ම විදේශයන්හිද ඡ්‍යොතිෂය වෙනුවෙන් අගනා මෙහෙවරක් සිදු කළේය. ඔහු නමින් ආචාර්ය ආර්. කේ රෝහන් සිසිරකුමාරයන්ය. ඡ්‍යොතිෂවේදීන් බහුතරයක් භාවිත කරන ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිතේ නිර්මාතෘවරයකු වන්නේ ඔහුය. තවත් කෘති කිහිපයක්ම ඔහු අතින් ලියැවී ඇත. මේ ලියැවෙන්නේ ඒ අපූර්ව ඡ්‍යොතිෂවේදියාගේ කතාවයි.

 

උපත

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාහේන නම් ගම්පියසේ විසූ ආර්.කේ බාරොන් සහ සුගුණි යන යුවළට දාව 1941 සැප්තැම්බර් මස 29 වැනිදා උපත ලද කුඩා බිළිදාට නම් තැබුවේ රෝහන් සිසිරකුමාර ලෙසයි. විශාල වත්කම් නොතිබුණද ගොවි පවුලක උපත ලද සිසිරකුමාරයන් එම පවුලේ වාසනාවන්ත හයවැන්නා විය. මේ විශාල පවුලේ දරුවන් 12 දෙනකු වූ නිසාම බාරොන් පියාණන් ඉපැයූ දෙයින් වැඩි ප්‍රමාණයක් වියදම් කළේ තම දරුවන්ගේ ඉගෙනීමටය.

 

අධ්‍යාපනය

මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගත් රෝහන් සිසිරකුමාරයන් එහි නිසි ඵල නෙළා ගත්තේ ජ්‍යෙෂ්ඨ විභාගය ඉහළින් සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සරසවියට ඇතුළත් වෙමිනි. 1966 වසරේ දී විශේෂ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය දිනාගත් ඔහු පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට එක්විය. මේ කාලයේ ඔහු ඡ්‍යොතිෂ විෂය ප්‍රගුණ කරන්නට කටයුතු කරන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ සමයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට තම සිතේ ඇතිවූ කැමැත්ත නිසාවෙනි. වරාය අධිකාරියේ නියෝජ්‍ය වාණිජ කළමනාකරු ලෙස වසර ගණනාවක් ඔහු සේවය කළේය. 1980 දශකයේ වරාය අධිකාරියේ සේවය කරමින් සිටින අතරතුර එමඟින් ලද ශිෂ්‍යත්වයක් මත බෙල්ජියම්හි ඒදබඹඥපන විශ්ව විද්‍යාලයෙන් ජ්ධපබ ර්චදචඨඥථඥදබ චදඤ ඩ්චපඡඥප ඒඤථඪදඪඵබපචබඪධද පශ්චාත් උපාධිය දිනාගන්නට ඔහු සමත් විය‍. ඔහු වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයකු ලෙස සිය රාජකාරිය අකුරට ඉටුකරමින් රටට මහැඟි සේවයක් කර සේවයෙන් විශ්‍රාම ගත්තේය.

 

විවාහය

එක්දහස් නවසිය හැත්තෑව දශකයේ අගභාගයේ ස්වර්ණා ජයකොඩි මෙනවිය සමඟ විවාහ වූ රෝහන් සිසිරකුමාර මහතාට දරුවන් දෙදෙනෙකි. අද ඔහු ගොඩනැඟූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉදිරියට ගෙන යන්නේ ඒ ආදරණීය දරුවන් දෙනොය. ඒ ආර්.කේ විපුලි අරුන්දතී සිසිරකුමාර සහ ආර්.කේ අග්බෝ රාජිත සිසිරකුමාරය.

 

ඡ්‍යොතිෂයට කළ සේවය

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සමයේ සිටම රෝහන් සිසිරකුමාරයන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගුරුවරුන් කිහිපදෙනකුගෙන්ම ප්‍රගුණ කළ අතර මහා ඡ්‍යොතිෂ ශාස්ත්‍ර පඬිරුවනක් වූ බණ්ඩාරවෙල පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාලයාධිපති ඇස්.ඩබ්ලිව් කස්තුරිරත්න සූරීන්ගෙන් ඡ්‍යොතිෂය පිළිබඳ මනා දැනුමක් ඇති කර ගන්නට ඔහු සමත් විය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මැනැවින් ප්‍රගුණ කර පර්යේෂණාත්මකව හඳුනාගෙන ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් මහා මෙහෙවරක් සිදු කිරීමට රෝහන් සිසිරකුමාරයන්ට අවස්ථාව උදාවිණි. එකල පඤ්චාංග ලිත්වල පැවැති අඩුපාඩු නිසාම ඡ්‍යොතිර්වේදියාට නිවැරැදි පංචාංග ලිතක ඇති අවශ්‍යතාව මනාව තේරුම්ගෙන සිටි ආචාර්ය සිසිරකුමාරයන් ඡ්‍යොතිර්විද්‍යා ප්‍රශ්න පහසුවෙන් හා ඉක්මණින් විසඳා ගැනීම සඳහා සුදුසු වන පරිදි ඡ්‍යොතිෂය සඳහා වැදගත් වන්නා වූ පංචාංග ලිතක් සැකැසීමේ භාරදූර කාර්යයට උරදුන්නේය. ඒ තම ගුරු පියාණන් වූ කස්තුරිරත්න ඡ්‍යොතිෂ පඬිවරයා සමඟ එක්වෙමිනි.

 

ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත

ඒ අනුව ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත ප්‍රකාශයට පත් කරන්නට ආචාර්ය රෝහන් සිසිර කුමාරයන් මහත් පරිශ්‍රමයක් දැරුවේය. වසරකට වරක් පඤ්චාංග ලිත් පළ කරන යුගයක ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත ප්‍රකාශයට පත් කරමින් ඒ ඔස්සේ ඒ ක්‍රමය මුල්වරට වෙනස් කරන ලද්දේ ඇස්.ඩබ්ලිව් කස්තුරිරත්න සහ ආර්.කේ රෝහන් සිසිරකුමාරයන්ය. ඒ 1982 වසරේ දී ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත පළමු වරට මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කරමිනි. ඒ අනුව 1982 සිට 1984 දක්වා අවුරුදු තුනකට ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත සකස් කර තිබිණි. 1985 සිට -1986දක්වා ඊළඟ වසර දෙක සඳහාද මේ අයුරින් අද දක්වාම වසර දෙකක තොරතුරු අඩංගු පඤ්චාංග ලිතක් මුද්‍රණයෙන් ඡ්‍යොතිෂවේදීන් වෙත නිකුත් කරන්නට සමත්ව ඇත. එලෙසම සිංහල හැට පැයේ ක්‍රමයට පමණක් සකස් කරන ලද පඤ්චාංග ලිත් නිකුත් වූ යුගයක ඉංග්‍රීසි පැය ක්‍රමය අළලා පැය විසිහතරේ ක්‍රමයට උචිත ලෙස එම තොරතුරු ද අඩංගු කරමින් ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත සකස් කිරීමට ආචාර්ය රෝහන් සිසිරකුමාරයන් පියවර ගත්තේය. මේ අනුව ඔහු ලංකාවේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ප්‍රවර්ධනය පිණිස විශාල සේවයක් කළ විද්වතකු ලෙස හැඳීන්වීම යුක්කි යුක්තය.

ඉන්දියාවේ පළ වන ලහිරි හා ක්‍රිෂ්ණ මූර්ති ලිත් ද අපරදිග රටවල සමහර ලිත්වලට සම තත්ත්වයෙන් ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත ද තැබිය හැකි බව එදා සිටි ප්‍රවීණ ඡ්‍යොතිෂවේදීන් ගේ අදහස විය. මේ ලිත ඉංග්‍රීසියෙන් පළ කළේ වී නම් අන්තර් ජාතික පැසැසුමට ලක් වන බව ඔවුන් වැඩිදුරටත් පැවැසූ ආකාරය එදා ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත හඳුන්වා දෙමින් පුවත්පත්වල පළ වී තිබේ.

ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත නිර්මාණය කිරීමෙන් නොනැවතුණු ආචාර්ය රෝහන් සිසිරකුමාරයන් ආධුනික ඡ්‍යොතිෂවේදීන් වෙනුවෙන් පොත් කිහිපයක්ම රචනා කර තිබේ. ඒවා නම්, ඡ්‍යොතිෂ පිවිසුම 1, ඡ්‍යොතිෂ පිවිසුම 2, හඳහන බැලීමේ ගුරු මුෂ්ඨි 1, හඳහන බැලීමේ ගුරු මුෂ්ඨි 2 යනාදී වශයෙනි. අද වන විට මේ ග්‍රන්ථ ආධුනික ඡ්‍යොතිර්වේදීන්ගේ අත්පොත් බවට පත්ව තිබේ.

එලෙසම 1996 වසරේ දී ලංකා ඡ්‍යොතිර් විද්‍යා පර්යේෂණායතනය ආරම්භ කරමින් ඡ්‍යොතිෂය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමත් ආධුනිකයන් පුහුණු කිරීමටත් ඔහු කටයුතු කළේය. එලෙසම ලංකාවේ කෘෂි කර්මාන්තය හා සුබ කටයුතු වෙනුවෙන් මෙන්ම ගොවි ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා නැකැත් ලිත, බිත්ති ලිත, ගොවි ලිත, ඡ්‍යොතිෂ දිනපොත ආදී වශයෙන් ඡ්‍යොතිෂ ලිත් කිහිපයක්ම එළි දක්වන්නට ඔහු කටයුතු කළේය. තම දූ පුතුන්ට ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මැනැවින් උගන්වා ඔවුන්ගේ ජීවිත එහි දියුණුව උදෙසා යොදවමින් ඉදිරි වසර 2500ක් දක්වා ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිත පරිගණක ගතකර සකස් කර අනාගතය වෙනුවෙන් මහත් සේවයක් සිදු කර තබා ඇත‍.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කටයුතු කරමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සමාජයට කළ සේවය උදෙසාම ඔහුට ඉන්දියවේ කල්කටා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනැමූ අතර එලෙසම දෙස් විදෙස් සම්මාන පදවි තානාන්තර රැසක් පිරි නමා තිබේ. 2003 වසරේ දී ඡ්‍යොතිෂවේදයට කළ සේවය වෙනුවෙන් ජනාධිපති සම්මානයට ද ඔහු පාත්‍ර විය. ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුට ලිතේ නිර්මාතෘ ආචාර්ය රෝහන් සිසිර කුමාරයන් වසර 71 ආයු වලඳා 2013 වර්ෂයේ ජනවාරි මස 29 වැනිදා මෙලොවින් සමුගෙන ගිය ද ඔහු කළ සේවය අදටත් ජීවමානව අපට දැක ගන්නට ලැබෙන්නේ ඔහු ගේ පරපුර ඒ සේවය උතුම් කොට සලකා ඉදිරියට ගෙන යමින් සිටින බැවිණි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.