වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
පත්තිනි දේවිය ඇදහිලි ක්‍රීඩා
අපේ ක්‍රීඩා දෙස බලන විට ගෘහස්ථ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා දේව උපහාර ක්‍රීඩා යනුවෙන් තෙආකාර වෙයි.
දේව උපහාර ක්‍රීඩා ගැන බලන විට භාරතයේ මෙන්ම අපේ රටේද පත්තිනි දේවතාවියට කරනු ලබන පුද පූජා උපහාර කැපී පෙනේ.
සරම්ප, කම්මුල්ගාය, පැපොල, වසූරිය ආදි බෝ වන රෝග ගව මහීෂාදින් පිළිබඳ වසංගත රෝග භව බෝග ආදියට සිදුවන රෝග පළිබෝධ වියළි කාලගුණික උවදුරු සම්බන්ධයෙන් පත්තිනි දේවතාවිය බලපෑම් කරන බවත්, ඇය වෙනුවෙන් පුද පූජා උපහාර කිරීමෙන් එම රෝග පළිබෝධ උවදුරු දුරු වී සෙත ශාන්තිය ලබා ගත හැකි බවත් ජනතාවගේ විශ්වාසය වන අතර, ඒ පිළිබඳව විශේෂයෙන් අංකෙළිය, දොඩම් කෙළිය, පොල් කෙළිය සහ මල් කෙළිය යන ක්‍රීඩා පූජෝපහාර ලෙසින් සිදු කරන බවත් විද්වත්හු පෙන්වති.
“කන්නගී’ නම් කාන්තාවගේ සැමියා කෝවලන්ය. මදුරා පුර පඬි රජුගේ බිසවගේ සලඹ කෝවලන් විසින් සොරකම් කරන ලදැයි අස්ථාන චෝදනා ලැබ රජු විසින් කෝවලන්ගේ හිස ගසා මරණයට පත් කරන ලදි. නිරපරාදේ අහිංසක තම සැමියා මරා දැමීම ගැන කන්නගී දරුණු ලෙස ශාප කළාය. එහි ප්‍රතිඵල ලෙස වසූරිය ආදී භයානක රෝග පැතිරෙන්නට විය. වර්ෂාව නොලැබ ගහකොළ වියළී දුර්භික්ෂ කාලයක් උදාවිය. ඇය වෙනුවෙන් විවිධ පුද පූජා උපහාර පැවැත්වීමෙන් රෝ දුක් දුරු වී වැසි ලැබ රටට සෙත ලැබිණි.
දේවතාවියක ලෙස උපත ලද කන්නගී මදුරාපුර රජුගේ පුත් කුමරුන් දෙදෙනකුත් සමඟ ලංකාවට ආ බවත්, අමනුෂ්‍ය බලපරාක්‍රමයෙන් යුත් ඇයට රට තුළට ඒමට සතරවරම් රජවරු බාධා කළ බවත් සතරවරම් දෙවිවරුන්ට ළං විය නොහැකි සේ මුහුදු වෙරළ වටා ගිනි වැට මවා ඒ හරහා සිය පිරිස සමඟ රටට ඇතුළු වූ බවත් කියැවේ. ඒ සිහි කරනු වස් වසරක් පාසා ඇය වෙනුවෙන් ගිනි පෑගීම සිදු කෙරේ. එය පූජෝපහාරයකි.
අංකෙළිය වසංගත රෝග පවත්නා විට ඇයට පූජෝපහාර ලෙස පවත්වන ක්‍රීඩාවකි. පත්තිනි හා ඇගේ සැමියා සපු මලක් කඩා දැමීමට ගත් උත්සාහයේදී කෙකි දෙක පටලැවුණ අතර, එය ගලවා ගත නොහැකිව සහයෝගයට ආ පිරිස් පත්තිනි හා සැමියා යන දෙපිලට බෙදී කෙකි අදින්නට විය. පාළඟ පැත්තේ කෙක්ක කැඩී ගිය අතර, පත්තිනි පිලට එය සතුටක් විය.
අංගහ නමින් සවිමත් ගසක් පිහිටි අං කෙළි පිටියේදී උඩුපිල යටි පිල හමුවේ. මීට අඩි 50ක් පමණ ඈතින් පොල් කඳක් සිටුවයි. එහි සිදුරක් සාදා ඒ තුළින් කඹපොට යවයි. තවත් වැඩ කටයුතු රැසක් අං කෙළියේ වෙයි. පැරදුණු පිලට විවිධ අපහාස කියයි. එහෙත් ඒවාට කිසිවෙක් අමනාප නොවෙයි. වසංගත රෝග සමයේදී පත්තිනි දේවිය යැදීම හා පිහිට ලැබීම සඳහා කරනු ලබන අංකෙළිය ප්‍රධාන දේව උපහාර ක්‍රීඩාවකි.
පොල් ගැසීමද දේව උපහාර ක්‍රීඩාවකි. ඒ සඳහා දෙවියන් සිටිතැයි අදහස් කරන ගස් සහිත බිමක් තෝරා ගනියි. නියඟය වසංගත දුරලා ගමට සෙත්පතා කරනු ලබන පොර පොල් ගැසීමද උඩුපිල යටිපිල ලෙස බෙදී දෙපසින් එවන පොල් ගෙඩියෙන් පොල් බිඳීමක් වීමෙන් ජය ලැබෙයි. මෙහිදී ද පරාජිත පිලට විවිධ අපහාස කෙරේ.
ඇතැම් පළාත්වල අංකෙළිය වෙනුවට දොඩම් කෙළිය වෙයි. උඩුපිල යටිපිල වශයෙන් බෙදී ඒ ඒ පිලේ අය දොඩම්වලින් දෙන පහරින් දොඩම් සියල්ල තැළී පොඩි වූ අය පරාජ පිල වේ.
මල් කෙළිය පත්තිනි දේවිය වෙනුවෙන් කරනු ලබන ක්‍රීඩාවක් ලෙස සඳහන් වන අතර මෙහි නැටුම් ස්වභාවයක් පවතින බව කියැවේ.
අඹෙන්, මලෙන් පිනි බින්දුවෙන් නයි කඳුළෙන් ආදී නොයෙක් ලෙසින් ලොවට සත් වාරයක් පහළ වූ හෙයින් සත්පත්තිනි නමින් ප්‍රචලිතව සිටින පත්තිනි දේවිය යයි කියනු ලබන පත්තිනි මෑණියන් මහා බලගතු දේවතාවියක ලෙස හින්දු බෞද්ධ සැවොම පිළිගනිති. විවිධ අපේක්ෂාවන් සපුරා ගැනීම පත්තිනි ඇදහිල්ලෙන් බලාපොරොත්තු වන අතර, ඇය වෙනුවෙන් පවත්වනු ලබන දේව උපහාර ක්‍රීඩා තුළින්ද රෝගාදී උවදුරු දුරලා සෙත ශාන්තිය අපේක්ෂා කෙරේ.
සිද්ද පතිනි දිව නෙතට පෙනෙන් නේ
සුද්ද සීනිගම් තොට දැක එන් නේ
සිද්ද පතිනි ගිනි වැටක් මවන් නේ
වැද්ද නොවී ගිනි කඳු පාගන් නේ
ගින්දර සියොගත ගෙන සිසි ලෙසිනා
ගින්දර සිසි ලෙස ජල ඉස්නා නා
ගින්දර සිසි ලෙස පිනි දිය ගානා
ගින්දර සිසි ලෙස කර දෙවි වඩිනා
පත්තිනි මේ පෙර තම සොහොයුරන් බවත් තමන් පතාගෙන ආ බවත් දකී. ගිනි වැට මැවූයේ ඔවුනට විරෝධය පෑ අනිත් දෙවිවරුන්ට පෙනීමටය. මොවුනට ගිනි වැට පහසුවෙන් මැඩිය හැකි බව ඇය දනියි. ඇය වසන තැන පෙන්වන්නේ සක් දෙවිඳුය.
පෙරුම් පුරමින් කඨින දානය දී පුදා කකුසඳ බුදුන් හට
‘නුඹය පත්තිනි දෙවිඳු වෙන කල අපි දෙවොල් දෙවි බලා එකලට
නුඹව අක්කේ සිටින තැනකට අපිද එන්නෙමි ගිවිසලා සිට
වරම් දීපුව එසක්දෙවියෝ පතිනි දෙවිඳුගෙ තොට පෙනෙන්නට
අසා ඒ බස සැවොම සමඟින් කුමරු සත්දෙන ඇවිත් එක විට
නුඹය පත්තිනි අපි දෙවොල් දෙවි කලා වූ පෙර කුසල සිහිකොට
සොයා ගෙනවිත් මෙ අපි සත් දෙන අපේ අක්කා සිටින තැනකට
කියා අට දෙන මෙලෙස සැරසුණි එක යහන කෙළි පුද ලබන්නට
දෙවොල් සාමි පිරිස ගොඩ බසිති. විවිධ හාස්කම් කරත්. පත්තිනි දේවිය දෙවොල් සාමිට සීනිගම පවරා නවගමුව බලා යයි.
අද පත්තිනි දෙවඟන නවගමුවේය. දෙවොල් දෙවි සීනිගම. ජනතා පුද පූජෝපහාර ලබමින් ජනතා අභිලාෂයන් ඉටුකරතැයි විශ්වාසයයි.