වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ක්‍රිකට් නොබලා ‘ක්‍රිකට් ලොව’ සඟරාව කළ නිව්ටන් ගුණතිලක
අද අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ක්‍රිකට් ලොව සිටි අපූරු මිනිසෙකු ගැනයි. ශ්‍රී ලංකාවේ පවතින කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයකට පය නොගැසූ ගුවනින් පමණක් ඇසූ පිරූ තැන් ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ අක් මුල් සොයාගෙන පාඨකයින්ගේ හද බැඳ ගත් අලෙවියේ ඉහළම තැනක ජය කෙහෙළි නැංවූ “ක්‍රිකට් ලොව“ සඟරාව කළ මේ අපූරු මිනිසා වූයේ පත්‍ර කලාවේදී නිව්ටන් ගුණතිලකයි. වඩා උස් නොවූ තරමක මහත වර්ණවත් දේහයකින් යුත් මොහු නිතරම සිනහවෙන් මුව සරසා ගෙන සිටි බුලත් විටට තදින්ම කෑදරකමක් දැක් වූ අයෙකි. මේ නිව්ටන් ගුණතිලක පත්‍ර කලාවේදියා මනා ලෙස ඉංගී්රසි භාෂාව ප්‍රගුණ කර තිබුණ අතර පෙරදිග භාෂාවන් කෙරෙහි දක්ෂතාවයක්ද තිබිණ.
කොළඹ මාලිගාකන්ද පාරේ විද්‍යොදය මහ පිරිවෙනට ආසන්න දෙමහල් ගොඩනැඟිල්ලක ක්‍රිකට් ලොව, කාර්යාලයට ඔහු පැමිණෙන වේලාව කිසිවෙකුටත් කිව නොහැකි ය. සේවකයින්ට පඩි දෙන දිනයේ නම් ඔහු වේලාසනින්ම එන සිරිතක් තිබිණ. නිව්ටන් ගුණතිලක පත්‍ර කලාවේදියා සමඟ මගේ මිත්‍රකමක් තිබුණ නිසා ලේක්හවුසියේ පත්තර රස්සාවෙන් පසුව මෙතුමා සමඟ ඔහු සංස්කරණය කරන ලද “රංකිරි” ළමා පත්‍රයේ වැඩ කරන්නට ලැබිණ. ඒ රසවත්ම කාලයකි.
නිව්ටන් ගුණතිලක සිටින තැන රස ආකරයක් වැනිය. ක්‍රිකට් ලොව පත්‍රයේ පිටු සැලසුම් නිමා කර බුලත්විටක් හපමින් අසා සිටින අයගේ කණට මී පැණි වෑහෙන කතා පොදියක් දිග හරී.
ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබාගෙන පිරිවෙන් ඇසුරෙන් පාලි හා සංස්කෘත භාෂාවන් හදාරා මහ උගතෙකු ලෙස බකුසු උපැස් යුවළක් පැලඳි ෂර්වානියක් උඩුකයේ දමාගෙන ටුවිඩ් රෙද්දක් හැඳගත් හීන්දෑරි කෙට්ටු මිනිසා පත්තර කතුවරුන්ට හිසරදයක් වූයේ හිටි අඩියේම දවසේ ඕනෑම වෙලාවක පත්‍ර කතුවරුන් හමුවට පැමිණ පත්තර කලාව ගැන විවිධ තර්ක විතර්ක කිරීම නිසා ය.
දවසක් දවල් නිදන රෑ නොනිදන යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ හමුවීමට ගිය මොහු, “ඈ හාමුදුරුවනේ මං මේ ආවේ ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න.” ඔව්, කියනව බලන්න. ‘‘අපේ හාමුදුරුවනේ භික්ෂුවකගේ සිල්වත්කම හොයන්නේ කොහොමද?” “ආ ඕක සුළු වැඩක්නේ. නයිකොච්චි මිරිස් කරල් 3 යි කහඹිලියා කොළ3 දෙහි ඇඹුලින් අඹරලා ගුළිය අතේ තියාගෙන හාමුදුරු නමක් පාරේ යනකොට පිටිපස්සෙන් ගිහිල්ලා අඳනකඩේ උස්සලා ඔය ගුළිය ගෑවම කෑ ගැහුවොත් දුස්සීලයි. කෑ ගැහුවෙ නැත්නම් සීලවන්තයි. දැන් හරිනේ ඉතින්, යනවා යන්ඩ.”
තව දවසක් හාමුදුරු නමකගෙන් ඇහුවලු අපේ හාමුදුරුවනේ ඔය පාණාතිපාතා වේරමනී, කාමේසුමිච්චා චාරා වේරමනී ඔය දෙකම කඩන්නේ නැති වයස හත අටේ පිරිමි දරුවන්ට ඔය සිල්පද කියන්න ඕනෑ නෑනේ කියලා. “මේ මට වැඩ තියෙනවා ඕක අහන්න තිබුණේ බුදු හාමුදුරුවන්ගෙන්නේ.”
දවසක් මිත්‍රයෙකු ගෙදර ගිය විටදී ලස්සන බලු පැටියෙක් අලුතින් ගෙනත් ඌව හුරතල් කර කර ඉන්න වෙලාවේ මෙතුමා ආව. “ඔබතුමා ආපු එක හොඳා. මේ බලු පැටියට හොඳ නමක් දෙන්නකෝ දාන්න” “හරි හරි ඔය බලු පැටියට මේ නම දාමු. මොකක්ද මහත්තයෝ? කයි කියලා. ඒ කියන්නේ මූ ලොකු මහත් වුණාම ගෙදරට එන කෙනෙක් බල්ලා කයිද කියල ඇහුවම ඔව්. ඔව් කයි කයි කියනකොට ගෙදරට ආපු කෙනා ආපහු දුවනවා. බල්ලා ගෙදර ඇතුළට එනවා. ඇයි උගේ නම කයි නේ.” මරේ මරු මහත්තයෝ.”
එදා තරමක පොද වැහි දිනයක්. මේ උගත් මහත්තයා පාරේ අයිනෙ තිබුණ විශාල නුග ගසක් යට ඉන්න කොට බරබාගෙ කරත්තයක් දක්කන් ආපු කෙනෙක් නුග ගස අසල කරත්තය නැවැත්තුවේ සුළුදිය බාන්න.
වැස්ස නැවතුණා. කරත්තකරුවා ඇහුවා මහත්තයා කොහාටද යන්නෙ කියලා. ආ මාත් ඔහේයන පැත්තටයි යන්නෙ. ආ එහෙනම් ගොඩවෙන්න කරත්තෙට. ටික දුරක් යන විට කරත්තකරු ඇහුවා ඈ මහත්තයෝ මේ අවේලාවෙ ගොම්මන් වෙලාවේ කොහේද මේ බැහැරක්ද යන්නෙ කියලා. “මම පන්සලේ ලොකු හාමුදුරුවො මුණ ගැසීමට ගියේ.” “ඇහුවට කමක් නෑනේ. ඔබතුමා ඉස්කෝලේ ගුරුතුමෙක්ද.” නෑ නෑ මම පත්‍ර කලාවේදියෙක්. “ඒ කිව්වේ? මම පත්තරවලට ලිපි නිර්මාණය කරනවා.” එක එක්කෙනා ගැන විශේෂයෙන්ම රටේ බුද්ධිමතුන්, උගතුන් පණ්ඩිතයින් ගැන.”
“ඉතින් එහෙනම් මා ගැනත් ලියන්නකො මහත්තයා. මොනවද ඔහේ ගැන ලියන්නෙ පිස්සුද? මහත්තයෝ මං ඉස්කෝලේ ගියෙ දෙකේ පන්තියට. ඊට පස්සෙ තමයි මේ කරත්ත රස්සාව කරන්නෙ.” ඔහෙගෙ නම මොකක්ද. මගෙ නම සාපින්. මහත්තයෝ මට හරි වැඩක් වුණානේ. පිං ගොනා කියල හංවඩුවක් ගහපු ගොනෙක් පිණට ඇරලා තිබුණා බෙල්ලේ පොල්ලකුත් ගැට ගහල. මං කොරපු දේ උගේ පිටේ හංවඩු ගහල තිබුණ පිං ගොනා කියන නමට මුලින් සා යන්න අකුර ගැහුවා. දැන් සාපින් ගොනා. ගමේ රාළහාමිට ආරංචි වෙලා මාව දඬු කඳේත් ගහල හිටියා. ඉතින් බලන්නකො. මං ගැහුවේ සා අකුර විතරනේ. “ඔහේ හරිම මෝඩයෙක්. ඒ වුණත් කපටියෙක්. ඒ පාර මහත්තයත් බණින්නේ මටමනෙ....... මාර වැඩක් නේ මේක.”
“එතකොට මහත්තයා වැරදි වැඩ කරලම නැද්ද?” නෑ නෑ මම උගතෙක් පණ්ඩිතයෙක්. ප්‍රවීණ පත්‍ර කලාවේදියෙක්. අනික මම අවිවාහකයි. මස්, මාළු කන්නෙ නෑ. සිගරැට්, සුරුට්ටු, බීඩි බොන්නෙ නෑ. මත්පැන් පානය කරන්නෙ නෑ”. මහත්තයෝ මම මේ ළඟට ගිහින් ඉක්මනට එනවා. අඩියක් ගහලා ඇවිත් කරත්තෙට නගින්න ඉස්සර වෙලා ඇහුවා, මේ මහත්තයා ඉගෙනගෙන තියෙනවා. පණ්ඩිතයෙක්, කසාද බැඳලත් නෑ. මස් මාළු කන්නෙත් නෑ. සිගරැට් සුරුට්ටු බීඩි බොන්නෙත් නෑ. ඊට හපන් අඩියක්වත් ගහන්නෙ නැති මහත්තයෝ, මගෙන් මොකවත් අහන්නෙ නැතුව බහිනවා කරත්තෙන් බිමට. ලෝකෙට වැඩක් නැති මිනිසෙක් නේ මේ මං කරත්තෙට ගොඩ කරන් තියෙන්නෙ.
“දැන් කරුවල වැටිලා මං කොහොම ද දැන් යන්නෙ?. ඕක තමයි කියන්නේ පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියලා. අර එක පණ්ඩිතයෙක් පොළට ගියාලු එළවළු ගන්න. සෙමට, වාතෙට, පිතට කිසිම එළවළුවක් හොඳ නෑ කියල අමු ඉඟුරු විතරක් ගෙදර ගෙනාවට පස්සේ අඹුවගෙන් හොඳටෝම බැණුම් ඇහුවලු.”
මෙවැනි රස කතා රැසක් එළිවෙනකල් අහගෙන ඉන්න පුළුවනි. නිව්ටන් ගුණතිලක ක්‍රිකට් පත්‍ර කලාවේදියා ඉන්න තැනක මොහුගේ එකම පත්‍ර ගෝලයා වූයේ චමින්ද සිල්වා. එයත් ගුරාට වැඩිය හපන් රසිකයෙක්. ක්‍රිකට් ලොව පත්තරයේ එදා බර කරේ තියාගෙන ගියේ චමින්ද සිල්වා තරුණයා. මේ වගේ අති දක්ෂ පත්රකලාවේදීන් මේ පුංචි අපේ රටේ හිටියා. ඒ අය ගැන මතක් කරන කිසිවෙක් අද නෑ.
නිව්ටන් ගුණතිලක මෙතරම් රසවතකු වූයේ කෙසේද කියා දැක් අපි බලමු. මොහු 1947.11.20 බ්‍රහස්පතින්දා උදේ 05.23 තුලා ලග්නයේ 2 ර, ශු, බු 3 ච, ශ 4 රා 8 කු 10 ගු, කේ. උපත ලබා ඇත.
2 වැනි ධනස්ථානයද ප්‍රකාශන ක්ෂේත්රයේ නියෝජනය වන තැනද රවි මිත්‍රවද, බුධ මිත්‍රවද ශුක්‍ර සමවද යෝග වී ඇත. 2 වැන්නේ සඳු සමව හා ශනි සම තත්ත්වයේ ය. 4 වැන්නේ රාහු මිත්‍රවද 8 වැන්නේ කුජ මිත්‍රවද 10 වැන්නේ ගුරු උච්චද කේතු මිත්‍රව ද සිටීම හරහා බලන විට රාජ ආධිත්‍ය යෝගය ඇත. කර්මස්ථාන ඉතාම ප්රබලව තිබේ. ග්‍රහ හැසිරීම ඔහුව පාලනය කළේ ය. උපතින්ම බුද්ධිමත් විවිධ භාෂාවන්හි දැනුමැති විශේෂයෙන්ම සෞන්දර්යය අංශයේ දස්කම්වලින් පිරිපුන් කලාවේදියෙකි. තුලා ලග්නයේ ගති ලක්ෂණවලට අනුරූපව ජීවිතය හැඩ ගසා ගත්තේ ය. ජනපි‍්‍රය පුද්ගලයෙක් වූ අතර අදහස් ප්රකාශනයේ අති දක්ෂ නිසා අන්‍යයන් වහා ආකර්ෂණය කර ගත්තේ ය. මනා කළමනාකරුවෙක් වූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ නොදුටු සැඟවුණ විද්‍යාත්මක තොරතුරු සොයා ගැනීමේ අත් දක්ෂයෙක් වීමට රවි - බුධ ශුක්‍ර නියෝජනය කර තිබේ. වයස 30 වන විට ක්‍රිකට් ලොවේ දැවැන්ත මුද්‍රිත මාධ්‍යකරුවා ලෙස ප්‍රකට නමක් ඇති කර ගත්තේ ය. ඒ ඔහුගේ උත්පත්ති ප්රබලතම ග්‍රහ හැසිරීම් රටාව උඩය.
කටක රාශියේ ගුරු උච්චවීම හරහා තම ක්ෂේත්රයේ මනා දැනුමකින් සන්නද්ධ විය. ක්‍රිකට් ක්‍රීඩාව තුළ දෝලනය වන සෑම ක්‍රීඩා පරාසයක්ම මනසින් ස්පර්ෂ කිරීමේ දක්ෂතාවක් ඉබේම පෑදිණ. එය ගුරු බ්‍රහස්පතිගේ ස්වභාවයයි. ගුරුගේ රාශියක් වූ ධනුවේ ශනි සමව සිටීමත් පුණ්‍යස්ථානය දැකීමත් හරහා පෙර කරන ලද පින්වල ශක්තියත් ආරෝපණය වී තිබිණ. සියලුම ග්‍රහයින් සුබ තත්ත්වයේ වීම යහපත් ය. කුජ 8 වැන්නේ සිටීම හරහා පසුකලෙක තදබල ලෙස අක්මාව, උදරය හා වකුගඩු ආශි්රතවද යම් යම් රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳීමටද සිදුවිය.
නිව්ටන් ගුණතිලක මගේ කල්‍යාණ මිත්රයෙකි. අපි දෙදෙනාම බුලත් විටකින් සප්පායම් වී අල්ලාප සල්ලාපයේ යෙදීම එකම විනෝදාංශයක් වී තිබිණ. නිව්ටන් ගුණතිලක සොහොයුරා කේන්ද්‍ර පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූ චරිතයකි. ඔහු හැම විටම කීවේ ඉර පෑව්වොත් ඒ ඇති කියා ය.