වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
දැනුමින් සම්මානනීය වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයා හරිප්‍රිය ගුණසේකර
ඒ දෙවැනි ලෝක යුද සමයයි. එකල බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක් වූ ලංකාවට ද එහි භීතිය තදින් දැනී තිබුණි. ජපනුන් ලංකාවට බෝම්බ හෙළන බවට කටකතාවක් රටපුරා පැතිර ගියේ මේ වකවානුවේය. කොළඹ ජීවත් වූ දෙනෝදාහක් ජනතාව වෙනත් ගම් බිම් කරා සේන්දු වන්නට වූයේ ආරක්ෂාව පතා තම අඹු දරුවන්ද රැගෙනය. කොළඹට නුදුරු දෙහිවල ගම් පියසේ ජීවත් වූ සී. පී. ගුණසේකර පවුලට ද මේ බිය දැනෙමින් තිබිණ. ගුණසේකර යුවළගේ කුඩා දරුදෙදෙනා තවමත් පසුවන්නේ සුරතල් බහතෝරන වියේය. තම ජීවිත ආරක්ෂාව කෙසේ වෙතත් කුඩා පුතුන් දෙදෙනාගේ ආරක්ෂාව පතා දෙහිවලින් වාද්දුව ප්‍රදේශයේ ජීවත් වූ තම ඥාතීන් වෙත දරුවන් භාර දෙන්නට ගුණසේකර යුවළ කටයුතු කළේය. මෙනිසා මේ දරු දෙදෙනාට තම බාලවියෙන් යම් කාලයක් ගත කරන්නට සිදු වූයේ වාද්දුවේ පිහිටි තම ඥාති නිවෙසකය. එලෙස බාලවියේ තම අතීත මතක හාරා අවුස්සන ඔහු මාධ්‍යවේදයේ නිපුණයෙකි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකි.
ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකි. ළමා කාලයේ තමා මුහණ පෑ දෙවැනි ලෝක යුද සමයේ අත්දැකීම් ගැන පවසන්නට ඔහු හා කතාබහ කළ කවරෙකු සමඟ වුවද ඔහු අමතක නොකරයි. හරිප්‍රිය ගුණසේකර නමින් රටම හඳුනන ඔහු අප අතරින් වියෝ වී වසර පහක පමණ කාලයක් ගතව තිබුණ ද ඔහු මාධ්‍යවේදය, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් කළ සේවය අමතක කළ නොහැකිය. ජායාරූප කලාව, චිත්‍ර ශිල්පය,ලේඛන කලාව, ඡ්‍යොතිෂය පිළිබඳ හසළ දැනුමක් තිබූ අයකු ලෙස මේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියා ඡ්‍යොතිෂවේදියා හැඳීන්විය හැකිය.
උපත
දෙහිවල ගම් පියසේ ජීවත් වූ සී.පී. ගුණසේකර සහ කේ. එම්. ගුණසේකර යුවළට දාව 1934 මාර්තු මස 03 වැනිදා උපත ලද කුලුදුල් පුත්රුවන මෙලොව එළිය දකින අවස්ථාවේ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පැවැතියේ කටක රාශියයි. කටක ලග්නයෙන් උපන් මේ කුමරුවාට නම් තබන ලද්දේ හරිප්‍රිය ගුණසේකර ලෙසය. මේ බිලිඳා උපන් මොහොතේ පැවැති ග්‍රහ පිහිටීම් අනුව කේන්දරය සුබදායකය.
කළමනාකරණ වෘත්තියට අමතරව ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන පරතෙරට දැන සිටි ගුණසේකර මහතා තම කුඩා පුතු හරිප්‍රිය කෙදිනක හෝ රටම හඳුනන විද්වතකු වන බව කල් තියාම දැන ගත්තේ කේන්දරයේ පැවැති බලවත් බව නිසාවෙනි.
අධ්‍යාපනය
සිප් සතර හැදෑරීම සඳහා කුඩා හරිප්‍රිය පියමැන්නේ නුගේගොඩ ශාන්ත ජෝශප් විදුහලටයි. ඉන් අනතුරු හේවුඩ් ලලිත කලා ආයතනයෙන් කලාව, චිත්‍ර ශිල්පය හැදෑරූ ඔහු එයින් උපාධිය හිමිකර ගනු ලැබුවේය. ඉන් පසුව මෙරට පුවත්පත් කලාවට සම්බන්ධ විය. ඒ එක්දහස් නවසිය පනහ දශකයේ පමණය. මෙරට පුවත්පත් කලාවේ පතාක යෝධයකු වූ ඩී.බී. ධනපාල ශූරීන්ගේ මඟ පෙන්වීම මත මාධ්‍ය ලෝකයට අත්පොත් තබන්නට හරිප්‍රිය ගුණසේකරයන්ට හැකි විය. ධනපාල ශූරීන්ගේ ඇසුර ලබමින් 1955 වසරේ දී ලංකාදීප පුවත්පතේ ජායාරූප ශිල්පියකු ලෙස ඔහුගේ මාධ්‍ය දිවිය අරඹන්නට හරිප්‍රිය වාසනාවන්ත විය. එසේ ඇරැඹි ඔහුගේ මාධ්‍ය ජීවිතය තව තවත් ඔපමට්ටම් වූයේ ලේක්හවුසියට පැමිණීමෙනි. ‘මිහිර’, ‘තරුණි’, ‘නවයුගය’, ‘සරසවිය’, ‘බුදුසරණ’ ඇතුළු ලේක්හවුස් ප්‍රකාශනවලට කලාකරුවකු ලෙසත් ඡායාරූප ශිල්පියකු ලෙසත් දායක වෙමින් ‘දවස’ පුවත්පතට සම්බන්ධ විය.
දවස පුවත්පතේ පළමු චිත්‍ර ශිල්පියා වූ හරිප්‍රිය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ කාටුන් ශිල්පියකු ලෙසය. ‘අබරන් සීයාගේ දවසේ කියමන‘ කාටූනය සිතුවම් කරමින් කාටූන් චිත්‍ර ශිල්පියකු ලෙස ඔහු චිත්‍ර කලාව තුළ තම නම රඳවන්නට සමත් විය. අබරන් සීයා චරිතය අද ද ලොකු පොඩි කා අතරත් මතකයේ පවතී. ඉන්පසුව දවසින් ඉවත්ව 1964 දී මිහිර පුවත්පතට ඔහු එක්වන්නේ මිහිරේ මුල්ම චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කරමිනි. මිහිර පත්‍රයේ මුල් පිටුව, මැද පිටු මෙන්ම ළමා කතා සඳහා පමණක් කොව කෙටි කතා, නවකතා සඳහා ද හරිප්‍රිය ගුණසේකරයන් අතින් අපූරු සිතුවම් නිර්මාණය විය. එය මිහිර එදා දරුවන් අතර ජනප්‍රිය වීමට හේතුවක් විය. ඉන් පසු බුදුසරණ, තරුණී පුවත්පත්වලට ද ඔහු දායක විය.
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට එක්වීම
තම පිය උරුමය අනුව පාරම්පරිකව ලද ජ්‍යෝතිෂ ශාස්ත්‍රයෙන් රටට සේවය කරන්නට හරිප්‍රිය ගුණසේකරයන්ට අවකාශ ලැබෙන්නේ 1977 වසරේ දීය. ඒ සුබසෙත පුවත්පතට නියෝජ්‍ය කතුවරයකු ලෙසට එක්වෙමිනි. සහෝදර මාධ්‍යවේදීන් හා හෘදයාංගම අතිශය හිතමිතුරෙකු වූ හරිප්‍රිය ගුණසේකර මහතාට දීර්ඝ කාලයක් සුබසෙත කතු මඬුල්ලේ සේවය කරන්නට හැකි විය. ඡ්‍යොතිෂය පිළිබඳ හසල දැනුමකින් සන්නද්ධව පලාපල කථනය, ලග්න පලාපල, සිවනාඩියෙන් අනාවැකි කීම යනාදී විශේෂාංග යටතේ සුබසෙත පුවත්පතට ලිපි ලියමින් පාඨක ප්‍රතිචාර ළං කර ගැනීමට ඔහු සමත්විය. ඒ අනුව ඉන්දියානු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ පොත පත කියවන්නට හදාරන්නට ඔහුට හැකිවිය. ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමාගේ විශ්ලේෂණ දකුණු ඉන්දීය ඡ්‍යොතිෂවේදය හා රාජස්ථානී ජායිපූර් මහරාජාගේ ගැඹුරු ජ්‍යෝතිෂ කරුණු හැදෑරීමට ඔහු උත්සාහ කළ බව ඔහුගේ සමකාලීනයන් අදටත් පවසන්නේ ඔහු ගැන මතක් කරමිනි. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගත් පසු ද නවීණ තාක්ෂණය භාවිත කරමින් ඔහු ජ්‍යෝතිෂ කටයුතු සිදු කළේය. පරිගණක තාක්ෂණය මැනවින් දත් ඔහු සතිපතා පුවත්පත්වලට පලාපල කථන කාලීනව ඉදිරිපත් කරන්නට සමත් විය. සුබසෙත පමණක් නොව විශේෂයෙන් ජනතා, යොවුන් ජනතා මෙන්ම සිළුමිණ, දිනමිණ ආදී ජාතික පුවත්පත් ඔස්සේ ඔහු තම පෑන මෙහෙයවමින් ඡ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව පිළිබඳ කළ විග්‍රහයන් අදටත් වලංගු වන අයුරු ඔහු ප්‍රකාශකර තිබෙන සමහර ඡ්‍යොතිෂ අනාවැකි පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බැලීමේ දී පැහැදිලි වේ. ඒ අතරම ඔහු රටට ලෝකයට කළ සේවය උදෙසා ඡ්‍යොතිෂවේදය සංරක්ෂණ හා ප්‍රවර්ධනය සඳහා වූ 2012 වසරේ ඡ්‍යොතිෂ අභිනන්දන සම්මානයද 2003 වසරේ පාරම්පරික ඡ්‍යොතිෂවේදී සම්මානයද 2009 වසරේ ඡ්‍යොතිෂ ශාස්ත්‍ර විශාරද, ගුප්ත විද්‍යා ගෞරව සම්මාන උපාධියද ඔහු වෙත පිරිනැමිණි.
විවාහය
1966 වසරේ දී විවාහ දිවියට ඇතුළත් වූ හරිප්‍රිය ගුණසේකරයන්ගේ ආදරණීය බිරිය වූයේ සාමා ගුණසේකර මහත්මියයි. හරිප්‍රිය මහතා දරුවන් සිවු දෙනෙකුගේ සෙනෙහෙබර පියාය. ආදරණීය සැමියකු, පියකු ලෙස ඔහු ගත කළ දිවිය ඉතා වාසනාවන්ත සොඳුරු අර්ථාන්විත ආදර්ශමත් එකක්ම විය. දුලානි ගුණසේකර වැඩිමහල් දියණිය තම පියා ගිය මඟ යමින් අද ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයට අවතීර්ණව සිටියි. කුමුදු ගුණසේකර පුතණුවන්ද තම පියා ගිය මඟ යමින් අද ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ සහකාර නිර්මාණ කර්තෘවරයකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරයි.
නමින්, දැනුමින්, කුසලතාවෙන් කොතෙක් පරිණත වුවද හරිප්‍රිය මහතා කිසිවිටෙකත් තනතුරු තාන්න මාන්න කෙරේ දිව නොගියේය. තමාට ලැබෙන ඕනෑම වගකීමක් කලට වේලාවට නිසි ලෙස ඉටු කර දීමට ඔහු කටයුතු කළේ නිහතමානීවමය.
මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටා කටයුතු කළ ඔහු ඉතාම ඉවසිලිවන්ත චරිතයක්ම විය. කිසිවිටක කිසිවක් සඳහා කලබල වූයේ නැත. 2017 වසරේ දෙසැම්බර් මස 08 දින ඔහු දැයෙන් සමුගත්තේය.