වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයෙන් නක්ෂත්‍රය පුබුදු කළ යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි
විද්‍යාලංකාර පිරිවෙනේ උපකුලපතිව වැඩ විසූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය චක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ ශාසනික, සාහිත්‍ය පතපොතින් මෙන්ම ප්‍රාචීන භාෂා වන පාලි හා සංස්කෘත භාෂා ශාස්ත්‍රයෙන්, සාහිත්‍යයට, ඡ්‍යොතිෂයට සිදු කළ සේවය අති විශාලය.
දඔදෙණි යුගයේ සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමියන්ගෙන් පසු පහළ වූ මහා පැවිදි පඬිරුවනක් ලෙස යක්කඩුවේ හිමියන්ව හඳුන්වන්නේ උන් වහන්සේ සතු වූ ශාස්ත්‍රීය හා සමාජීය දැනුම නිසාමය. මේ ලියැවෙන්නේ ඒ පිළිබඳවය.
උපත
1907 මැයි 24 වැනිදා ගම්පහ සිට සැතපුම් පහක් පමණ ඔබ්බෙන් වූ යක්කඩුව නමැති ගමේ සය දෙනකුගෙන් යුතු පවුලක තුන්වැනියා ලෙස කුඩා දරුවකු උපත ලැබූවේය. මේ බිළිඳා උපත ලබන අවස්ථාවේ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පැවැතියේ ගුරු හිමි ධනු රාශියයි. උපන් ලග්නයට හා නැකැතට අනුව ග්‍රහපිහිටීම් ද සුබදායකය. මේ පින්වත් කුමරුවා ලෞකික මාර්ගය අතහැර ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන්නකු වන බව ජන්ම පත්‍ර යෙන් පැහැදිලිව පෙනිණි. එයට හේතුව වූයේ ලෝකෝත්තර විමුක්ති මාර්ගයට පිවිසෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසකගේ දක්නට ලැබෙන චන්ද්‍රයා භාග්‍යස්ථාන ගතවීම ද මෙම පින්වත් කුමරුවාගේ ජන්ම පතෙහි පැහැදිළිව සඳහන්ව තිබීමයි. දෛවයට අනුවම කුඩා අවධියේ මුරණ්ඩු, දඟකාරයකු වූ මේ දරුවා බහ තෝරන කාලයේ සිටම තම මව සමඟ පෝය හතරටම නොවරදවා අටසිල් ගැනීමට බටපොතේ පන්සලට ගියේය.
පැවිදි දිවිය
මේ පොඩිත්තාගේ පන්සල් ගමන නතර වී ඇත්තේ පන්සලේම නතර වීමෙනි. ඒ 1918 දී බටපොත ශ්‍රී ඝනානන්ද පොත්ගුල් විහාරාධිපති බටපොත සාරානන්ද හිමියන් යටතේ යක්කඩුවේ ප්‍රඥාරාම නමින් පැවිදි දිවියට ඇතුළත් වෙමිනි. මේ ගැන යක්කඩුවේ හාමුදුරුවන් විසින්ම මෙලෙස සඳහන් කර තිබේ. ‘අපේ අම්මගේ ගම උග්ගල්බොඩ. තාත්තාගේ ගම තමයි යක්කඩුව. එක දවසක් අම්මා මගෙ අතට සත විසිපහකුත් දීල මිනිහකුට බාර දුන්නා මාව උග්ගල්බොඩ ගිහින් ඇරලන්ඩ කියල. එයා මා එක්ක ඇවිත් කළුවැල්ගොඩ හරියේදී උඹ පලයන් කියල ආපහු යන්න ගියා. අඳුරත් වැටීගෙන එනවා. යන්න එන්න තැනක් නැතිව මා එතැනම ඉඳගෙන උන්නා. ළමයි දෙන්නෙක් එතැනින් යන්න ආවා. සත විසිපහක් දෙනව මාව උක්ගල්බොඩට ගිහින් ඇරලුවොත් කියලා මම කිව්වා. ඒ ළමයි මාව බටපොත පන්සලට ගිහින් ඇරලන්නම් එතැනින් එහාට එන්ඩ බෑ කිව්වා. පන්සලේ මිදුලට යනකොට කවුද බොලව් කියල නායක හාමුදුරුවො ගෝරණාඩු වුණා. ඒක ඇහුණු ගමන් කොල්ලො දෙන්නා දිව්වා. මම ගල් ගැහිල නතර වුණා. මම ඇඳගෙන උන්නෙ ජංගියක්. ජංගිත් කලිසන් ජාතියක් කියලයි මම හිතන් උන්නේ. මගෙ ජංගිය හින්ද මං හොරුන්ගෙ ඔත්තු බලන්න ආපු කොල්ලෙක් කියල හාමුදුරුවෝ සැක හිතයි කියල මම ගත්කටටම කිව්වා මහණ වෙන්න ආව හාමුදුරුවනේ කියලා. කිව්ව වචනයක් මම කවදාවත් වෙනස් කරන්නෙ නැති හින්ද දෙමාපියන්ගේ විරුද්ධකම් මැද්දේම පසුව මහණ වුණා. ‘‘ යනුවෙන් පවසා තිබුණි. අවුරුදු 11 දී පැවිදි දිවියට ඇතුළත් වූ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් 1924 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා බවට පත් විය. 1928 දී උපසම්පදාව ලැබු උන්වහන්සේ ගතකළ පැවිදි දිවිය සුවිශේෂී සිදුවීම් රැසකින් සමන්විත විය.
අධ්‍යාපනය
නිවන්දම රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා පැවිදිවීමෙන් අනතුරුව උන්වහන්සේ සාමණේර අවධියේ බටපොත පන්සලේ වැඩවසමින් දොරණෑගොඩ පිරිවෙනෙන් ත්‍රිපිටක ධර්මය, පාලි, සංස්කෘත, සාහිත්‍ය කලාව හදාරා පසුව පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණු පොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමි යටතේ තවදුරටත් ධර්මය හා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරන්නට කටයුතු කළහ. ඒ අන්දමින් යක්කඩුවේ හිමියන් හා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණත්, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයත් අතර අවියෝජනීය සම්බන්ධයක් ඇතිවිණි. පසු කළෙක උන්වහන්සේ විද්‍යාලංකාර පරිවේනාධිපතීන් වහන්සේ ලෙසත් 1966 දී ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි උප කුලපති ලෙසත්, කටයුතු කරමින් සමාජයට ශාස්ත්‍රීය වශයෙන් සහ ආගමික වශයෙන් මහත් වූ වැඩකොටසක් ඉටු කරන්නට සමත් විය.
ප්‍රාචීන භාෂා ප්‍රබෝධයක් ඇතිකිරීම
මෙරට සාහිත්‍යවේදීන් මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් කරගනිමින් ප්‍රාචීන භාෂා එනම් පාලි හා සංස්කෘත භාෂාවන් මැනැවින් හැදෑරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙමින් ඔවුන් දැනුමින් සන්නද්ධ කර භාෂා ඥානය සහිත උගතුන් පිරිසක් සමාජයේ ඇති කරවීමට උන්වහන්සේ කටයුතු කළහ. මෙරට සිටි ප්‍රවීණ ඡ්‍යොතිෂවේදීන් අතරින් වැඩිදෙනකු උන්වහන්සේ ඇසුරින් ප්‍රාචීන භාෂා පෝෂණය ලැබූවන් විය. මන්ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කිරීමට නම් සංස්කෘත ඇතුළු ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර දැනුම අතිශය වැදගත් වන්නෙකි. ජ්‍යෝතිෂ විෂයෙහි එන ශ්ලෝක ඇතුළු වැකි සහිත පත පොත සංස්කෘත බසින් ලියැවී ඇති බැවිණි. ඒ අතර චන්ද්‍ර ශ්‍රී කුලරත්න, ජයතිලක අඹුවන්ගල, හරිප්‍රිය ගුණසේකර වැනි මෙරට ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීන් කැපී පෙනේ. ඒ අනුව පෙනීයන කරුණක් වන්නේ මේ කර්තව්‍යය යක්කඩුවේ නාහිමියන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් සිදු කරන ලද අගනා මෙහෙවරක් වන බවය. කරුණාරත්න අමරසිංහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා, ලේඛකයා, සාහිත්‍යධරයා ඔහු ලියූ‘අමර සැමරුම්‘ නම් ලිපි පෙළේ සංස්කෘත භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලමින් යක්කඩුවේ හිමියන් හමුවට ගිය අයුරුත් උන් වහන්සේ එමඟින් කළ සේවය පිළිබඳ මෙසේ සටහනක් තබයි.
යක්කඩුවේ හාමුදුරුවන් වහන්සේ මගේ සංස්කෘත භාෂා ඥානය පරීක්ෂා කොට මගෙන් විමසුවේ සංස්කෘතයේ සප්තමී විභක්තියේ ප්‍රයෝග විධිය. ඉන්පසු මගේ නම අසා දැනගත් උන්වහන්සේ කුඩා සාමණේර හිමනමක් ලවා කඩදාසියක් ගෙන්වාගෙන ලියමනක් ලියා විද්‍යාලංකාර පිරිවෙනේ කෘත්‍යාධිකාරීධුරය දැරූ නිවන්දගම ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ අතට දෙන්නැයි කීය. ‘‘ යනුවෙන් තමා සංස්කෘත භාෂාව ප්‍රග්‍රණ කිරීමට යොමු අයුරු විස්තර කරන්නේ යක්කඩුවේ හිමියන්ගේ ගුණ කදම්භය සිහිපත් කරමිනි. කරුණාරත්න අමරසිංහයන් මෙන් එලෙස යක්කඩුවේ හිමියන්ගේ මඟ පෙන්වීම මත තම දිවි මඟ සාහිත්‍ය කලාවෙන් ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයෙන් පොහොසත් කරගත්තෝ රැසක් වෙති.
ඒ අනුව යක්කඩුව හිමියන්ගේ ශාස්ත්‍රීය හා සමාජීය සේවය පිළිබඳ කතා කරන විට 1938 දී කැලණිය ධර්මාලෝක විදුහල ආරම්භ කිරීම,1948 දී ගුරුකුල විදුහල ආරම්භ කිරීම, 1950 දී ත්‍රිපිටක ධර්ම සංඝායනාවක් පැවැත්වීම, 1959 දී විද්‍යාලංකාර පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ කාර්යයේ ප්‍රමුඛ වීම, 1980 දී විද්‍යාලංකාර පිරිවෙන ප්‍රතිසංස්කරණය කර පෑලියගොඩ මුල් භූමියේ නැවත ආරම්භ කිරීම, 1982 දී වීරහේන විද්‍යාරත්න පිරිවෙන නැවත ආරම්භ කිරීම, 1982 දී උන්වහන්සේ ගේ මූලිකත්වයෙන් (අපවත්වීමට පෙර) අවසන් වරට කුල දරුවන් පැවිදි කිරීම යන කටයුතු උන්වහන්සේගේ සමාජීය හා ශාස්ත්‍රීය සේවය විද්‍යමාන කරන සමාජයේ අදටත් ඉතිරිව ඇති ජීවමාන සාක්ෂි වේ.
ශාස්ත්‍රීය හා සමාජීය සේවය
ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උප කුලපතිව වැඩ සිටි මහාචාර්ය වල්පොල රාහුල හිමියන් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ පිළිබඳ සහ උන්වහන්සේගේ ශාසනික සාහිත්‍ය සේවය පිළිබඳ බොහෝ දෑ ලියා පළ කර තිබේ. උන් වහන්සේ ලියා දක්වන අන්දමට යක්කඩුවේ හිමියන් කිසිදා ප්‍රසිද්ධිය, මුල්තැන බලා වැඩ නොකළ හිමිනමකි. ඒ සියල්ල නිහතමානීව ප්‍රතික්ෂේප කළ යතිවරයෙකි. යක්කඩුවේ හාමුදුරුවන් කිසිදු ප්‍රසිද්ධ විභාගයක් පාස්කොට ඇති බවක් මා දන්නේ නෑ. උන්වහන්සේගේ දැනුම උගත්කම විභාගයකින් උපාධියකින් මැනිය හැක්කක් නොවේ. මේ තාක් පළකොට ඇති උන්වහන්සේගේ පොත්පත් ලියකියමන්වලින් උගතුන්ට පමණක් එය මැනගත හැකිය. උන්වහන්සේ යම්කිසි තීරණයකට බසින්නේ බොහෝ දුරදිග බලා, හැම පැත්තක්ම සලකා බලා හෙමිහිටය. එසේ තීරණයකට බැස්සාට පසුව නම් මොනම ලොක්කකුටවත්, මොනම බලවතකුටවත්, එය වෙනස් කළ නොහැකිය. මොන හිරිහැර කරදර අලාභ හානි, නින්දා අපහාස විඳීන්නට වුවත්, උන්වහන්සේ නොසැලී අකම්පිතව සිටියා. යක්කඩුවේ හාමුදුරුවන්ගේ කතාබහ ගමන බිමන හෙමිහිටය. එහෙත් උන්වහන්සේගේ හිත, බුද්ධිය, ඉතා පැහැදිලිව, තීක්ෂණව, වේගයෙන් ක්‍රියා කරන බව විනිවිද යන බව පෙනෙනවා.‘ යනුවෙනි.
යක්කඩුවේ හාමුදුරුවෝ රෑ නිදා නොගෙන ලියන, කියවන බුද්ධ පුත්‍රයකු බව ප්‍රසිද්ධ රහසකි. නවයුගය පුවත්පතේ විශේෂාංගයක් ලිවීමට ගිය මාධ්‍යවේදියකු මේ පිළිබඳ යක්කඩුවේ හිමිගෙන් අසා තිබුණි.
‘ඒක දිග කතාවක්. අනිත් අය නිදාගෙන ඉන්නතුරු මට පොතක් බලන්න ඉඩක් ලැබුණේ නැහැ. මම පසුවදාට පන්තිවල උගන්වන පොත්පත් බැලුවේ කලින් දා රෑටයි. ඒ කාලේ විද්‍යාලංකාර පිරිවෙණේ මුරකාරයෙක් හිටියෙ නැහැ. මේ නිසා මම වැඩියෙන් පොතපතේ වැඩ රෑට කළ නිසා රෑට තුන් හතර වතාවක් මුළු විද්‍යාලංකාරය පුරා ඇවිද්දා. අපේ ශිෂ්‍යයෝ පාඩම් කරනවද කියල බලන්න නේවාසිකාගාරවලටත් ගියා. ඒ කාලේ හිටිය ශිෂ්‍ය හාමුදුරුවන් කී කතාවක් තමයි දැන් යක්කඩුවේ හාමුදුරුවෝ මේ ජනේල ළඟත් ඉන්න පුළුවන් කියලා. මම නිදි මරන්න පුරුදු වුණේ පොතපත ලිවීමට පටන් ගත්තට පස්සේයි.‘‘ අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැඟි සිටිමින් මෙලෙස සමාජයට මහත් වූ සේවයක් සලසමින් සිටිය දී යක්කඩුවේ නාහිමියෝ 1986 මාර්තු 01 දින දැයෙන් සමුගත්හ.