වියදම්කර කළ ගුරුකම හරි නොගියේ ඇයි?

2 කොටස
මාර්තු 10, 2023

 

ගුරුකම් කරනකොට ඉතා පැහැදිලිව ඒ තත්ත්වය වටහා ගන්නට ඕනෑ. හේතුවක් නැතිව දාලා ගිය කෙනකුට හෝ තරහ වෙලා ගිය අයට වශී ගුරුකමට සුපුරුදු මල්බුලත් පුටුව හදා අවශ්‍ය අඩුම කුඩුම තැන්පත් කරල දිෂ්ටි මන්ත්‍ර සාමාන්‍ය වශයෙන් මතුරලා අවශ්‍ය ජප මන්ත්‍රය වැඩියෙන් නාම බන්ධනයට යටත් කරලා මතුරන්ට ඕනෑ.

 

එහෙම නැතුව ටිකක් ලොකු ගුරුකමක් නම් දිෂ්ටි මන්ත්‍ර වැඩිකරල ඒ වගේම ජප මන්ත්‍රත් මතුරන්න වේවි. ගැහැනු කෙනකුට කරන ගුරුකමක් නම් මදන සල්ලාල දිෂ්ටියෙන් හා පිරිමි කෙනකුට නම් මෝහිනි හෝ මදන මෝහිනි දිෂ්ටියෙනුත් දිෂ්ටි කරන්නට ඕනෑ. මල්බුලත් පුටුව තනි කරන විටෙක ස්ඵුටය ගසා මන්ත්‍ර ගැට ගැසීම කළ යුතුව තිබෙනවා. දෙදෙනෙක් මතුරනව නම් ස්ඵුටය අතර මගදී පාවිච්චිය අවශ්‍ය නැහැ. මේ වගේ පුංචි වැඩ වැරදුණොත් ගුරුකම අහක යනවා.

ඔබ කාටහරි කියලා ගුරුකමක් කරවා ගන්නවා හිතමු. ප්‍රථමයෙන් ඒකෙ ප්‍රතිඵලය හා කාල වකවානුව දැනගන්න, ඒ ගැන සාකච්ඡා කරල පුංචි අවබෝධයක් ලබා ගන්න. එහෙම නැතුව ගුරුකම භාරදීලා හෙට ඇවිල්ල, දෙන දේ අරගෙන යන්ට එපා. ගුරුකම කළ මල් බුලත් පුටුව වත් නොපෙන්වා මුදල් ගන්න අය එමටයි. මල් බුලත් පුටුව හදා ඔබේ ගුරුකම වෙනුවෙන් දිෂ්ටි කරන්නෙ නැතුව, දේවාල අස්සේ දේවරූප අස්සේ තබාගෙන ඉඳලා නැවත ඔබට දුන්නට වශීය හෝ ගුරුකම හරියන්නෙ නැහැ. ඔවුන්ගේ එකම අදහස හැමදාටම දේව රූපයක් හදලා දේව මණ්ඩලයක් තුළින් හෝ දේවාලයක් තුළින් ඒක කළා කියලා මුදල් ගන්නවා. කලිනුත් කිව්වා. දෙවියන්ට ගුරුකම් කරන්ට බැහැ කියලා. පුළුවන් නම් කතරගම දෙවියෝ ගණ දෙවියන්ට කියලා ව්‍යාජ අලි රූපයක් මවලා වල්ලිඅම්මාව මුලා කරන්නෙ නැහැ. පත්තිනි මෑණියෝ බොහෝ යහපත් දේවල් කළේ ගුරුකම්වලින් නොවේ. ඇගේ පවිත්‍රත්වයේ ආනුභාවයෙන්. රාවණා කළේ තම දැනීම දියුණු කර ශක්තිය බලය මතයි.

ගුරුකම් කරන්නෙ කිසියම් හෝ දිෂ්ටියකින්මයි. එක එක දිෂ්ටිවලට අදාළ ස්වරූප තිබෙනවා. නිවැරැදිව මතුරන කොට ඒ ඒ ස්වරූප මැවෙනවා. ඊට පසු දිෂ්ටිය ආ බව වැටහුනාට පස්සේ අවශ්‍ය දේ ජප මන්ත්‍රයෙන් භාරදෙනවා. අවතාර, ප්‍රේත දිෂ්ටි ගෙවල දිෂ්ටි ඉන්නේ මේ එකම විශ්වයේ තමයි. ඒ අයට ඒ ඒ ආවේණිකව කතා කළාම ඒ දිෂ්ටිය එනවා. හැබැයි භාෂාව දැනගන්න ඕනෑ. නියමිත ක්‍රමය සමඟ අමනුෂ්‍යයන් සමඟ වැඩ කරන්න ඕනෑ. හොඳ සිහියෙන්. කොණ්ඩේ කඩාගෙන, ඔලුව කරකවාගෙන, සිහිය විකෘති කරගෙන පරල වෙලා. කොහොමද මේවා කරන්නේ. මේවා කරන්න සම්මා සතිය එනම් හොඳ සිහිය කල්පනාව තිබෙන්න ඕනෑ. මේක වත් මේ අයට වැටහෙන්නෙ නැහැ.

අපි කරන ගුරුකම් බොහෝ දුරට වරදින්නෙ පොඩි පොඩි අඩුපාඩුකම් නිසා. ගුරුකමට අවශ්‍ය දේවල් තටුවට තබන්නෙ නැහැ. මල් පාට පහක් තබන්න කිව්වාම, මල් වර්ග පහක් තබනවා. කැවිලි පලතුරු තබන්න ඕන තැන තබන්නෙ නැහැ. විශේෂයෙන් ප්‍රේත ගණයට බැදුම් එහෙම අත්‍යවශ්‍ය වනවා. සමහර විට අවශ්‍ය මන්ත්‍ර දන්නෙ නැහැ. මේ මල් බුලත් පුටුවට අවශ්‍ය හැම දෙයක්ම තබන්න ඕනෑ. දිෂ්ටිය එන්නෙ එතකොටයි. දිෂ්ටිය ආවද කියල දැනගන්න ඕනෑ. ප්‍රේත දිෂ්ටිවලට සුපුරුදු දෙයට අමතරව, පුලුටු, බැදුමක්, සුරුට්ටුවක්, සිගරට්, පැණිරස ටිකක්, පනාවක් වගේ දේවල් සමහර විට ඕන කරනවා. මේ ගුරුකම්වල ඉනාව අත්‍යවශ්‍ය වනවා. ගැට ගසන්න. භාර දෙන්න කලින් ඉනා කරල ගෙන්වා ගන්න ඕනෑ. ප්‍රේත කැඳවීම්වලදී එහෙම වුනාට සොහොන් පිටිවලදී මතුරන ක්‍රමය මීට වඩා ගොඩක් වෙනස්. එතකොට නම් දන්නා වැඩිහිටියෙක් ඉන්නම ඕනෑ. ගෝලයාට සුපුරුදු කෙනාවන්ට ඕනෑ. මොකද සොහොනෙදි භයානක රූප මැවෙනවා. ප්‍රේතයන්ට අණ දුන්නෙ සැරියුත් මහ රහතන් වහන්සේ යක්කුන්ට අණදුන්නෙ වෙසමුනි රජ්ජුරුවො. හරි ප්‍රවේශමෙන් කරන්න ඕනෑ ගුරුකම් කියන ඒවා. අලුත් මිනී වළවල්උඩ කරන කොට ඉක්මනින්ම දිෂ්ටිය එනවා. සමහර විට යාමයටත් කලින් දිෂ්ටිය එනවා හරියටම කළොත්. හොඳට මතක තබා ගත යුතු එකක් තමයි ඕනෑම ගුරුකමක් අවසානයේදී දිෂ්ටිය හිර කර තහංචි මන්ත්‍රයකින් අවසන් කරන්න. ඒක අමතක කරන්න එපා. එහෙම නොකොළොත් වැඩේ අවසානයේ ඔබ ගෙදර එන්ට කලින් ඔබ එන්න කියු දිෂ්ටිය ස්වරූපය ඔබේ ගෙදර වැට කෙළවරක සිටීවි. ගුරුකම කිව්වේ දෙපැත්ත කැපෙන පිහියක් හොඳේ.

 

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ඡ්‍යෝතිෂවේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.