දෙවියන් පිනවන කාවඩි නැටු‍ෙම් කතාව

අප්‍රේල් 22, 2022

කාවඩි කී පම‍‍‍ණින් අපේ සිහියට නැගෙන්නේ කඳ සුරිඳුන් උදෙසා කතරගම මහ දෙවොලේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය යි. ඒ සමඟම නිරන්තරයෙන් ඇසෙන “හරෝ හරා” රාවය බැතිමතුන් තුළ දෙවියන් පිළිබඳ ඇති භක්තිය තව තවත් තීව්‍ර කරයි. රුහුණු පුරයට අධිපති කඳසුරිඳු උදෙසා පවත්වනු ලබන ඇසළ උත්සවයේ කාවඩි නැටුමට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. දෙවියන් පිනවීම සඳහා පුරාණයේ සිට පැවත එන කාවඩි නැටුම කතරගම දෙවියන්ගේ දේව ආශිර්වාදය, ආරක්ෂාව සහ ශාන්තිය ලබාගැනීම වෙනුවෙන් කෙරෙන පූජෝපහාරයක් ලෙස ද සැලකිය හැක. ඉතිහාසගත කරුණු අනූව කඳ කුමරුගේ ජන්ම භූමිය දකුණු ඉන්දියාවයි. දකුණු ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ කඳ කුමරා පැමිණීමත් සමඟම කාවඩි නැටුම ද එරටින් අපට ලැබුණු දායාදයක් ලෙස සැලකේ.

හින්දු ආභාෂය

කාවඩි නැටුම හින්දු භක්තිකයන් විසින් දෙවියන් පිදීම සඳහා කරනු ලැබූව ද පසු කාලීන මෙරට සිංහල බෞද්ධ ජනතාව ද කාවඩි නැටුම් බෞද්ධාගමික උත්සව කටයුතු සඳහා යොදා ගත්හ. මේ අනූව වර්තමානයේ බෞද්ධයෝ සමරන දුරුතු, වෙසක්, පොසොන් වැනි සෑම බෞද්ධ පෙරහැරකම විශේෂාංගයක් ලෙස කාවඩි නැටුම ද දක්නට ලැබේ. දැන් දැන් කාවඩි නැටුම කතරගම දෙවියන් සඳහා පමණක් නොව අනෙකුත් දේවාල වල අවශේෂ දෙවිවරුන් පිදීම සඳහා ද යොදා ගැනේ. මුන්නේශ්වරම් දේවාලය, දෙවිනුවර උපුල්වන් දේවාලය, ගැටබරු දේවාලය, රත්නපුර සමන් දේවාලය, සීනිගම දේවාලය මේ අතර ප්‍රධාන තැනක් ගනී. මෙසේ අද නෙයෙක් දේවාල පෙරහැරවල නැටුව ද කාවාඩි ආරම්භ වූයේ කතරගම දෙවියන් උදෙසා ම පමණක් බව ද අප අමතක නොකළ යුතු ය.

නව මුහුණුවර

දෙවියන් පිදීම සඳහා එදා ආරම්භ වූ කාවඩි නැටුමේ පැරණි මුහුණුවර දැන් වෙනස්වී ගොසිනි. ක්‍රමයෙන් නවීකරණයට හසුවී ඇති කාවාඩිය අද එහෙම පිටින්ම සංගීත සත්සරණයකි.

පුරාණයේ කාවඩි නැටුම සංගීතවත් කිරීම සඳහා දෙමළ බෙරය, පන්තේරුව, උඩැක්කිය, තාලම්පට, රබාන වැනි තූර්ය භාණ්ඩ යොදාගනු ලැබූව ද ඒ මූලික ගුණාංග බොහොමයක් අද ඉන් බැහැර වී ඇත.

නූතන කාවඩි නැටුම සඳහා පෙරදිග සංගීත භාණ්ඩ මෙන් ම බටහිර සංගීත භාණ්ඩ ද විශාල වශයෙන් යොදාගෙන ඇති බවක් පෙනේ. ඒ අනූව දැන් කාවාඩි නැටුම දෙවියන් පිදීමකට වඩා නරඹන්නන් සංගීත රසයෙන් පිනවන නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත විනෝද ජනක එළිමහන් සංදර්ශනයක ස්වරූපයක් උසුලයි. කන් බිහිරි කරන තරමේ ඝෝෂාකාරී බවකින් කෙරෙන කාවාඩි නැටුමකින් දෙවියන් කෙරේ ඇති අපේ භක්තිය ප්‍රකට වන්නේ දැයි විමසිය යුතුව ඇත. එසේම මත්පැනින් පදම් වූ බැතිමතුන්ගේ වෙස් ගත් පුද්ගලයන් ද අද කාවඩි නටන බැවින් ඔවුන්ගේ කාවඩි නැටුම් වලින් කිසිදු දේවාශිර්වාදයක් කෙනෙකුට බලාපොරොත්තු විය නොහැක.

කාවඩි නැටුම සඳහා යොදා ගනු ලබන ප්‍රධානතම භාණ්ඩය වන කාවඩි කූඩුව නැතහොත් කාවඩිය සකස්කර ගැනීම ඉතාමත් සරල කාර්යයකි.

කාවඩි සැරසිලි

පළමුව අඩි හතරක් පහක් තරම් දික් වූ සැහැල්ලු ලීයක් ආරුක්කුවක හැඩයට නවා එහි දෙකළවරට හරස් ලීයක් සවි කර ගනු ලැබේ. ඉන් පසු එය ඉංග්‍රීසි හෝඩියේ ඇති ච් අක්ෂරයේ හැඩය ගනී. අනතුරුව ආරුක්කුවක සහ ච් හැඩය ගත් එම කාවඩි කූඩුව රංගනයේ යෙදෙන බැතිමතුන්ට අවශ්‍ය පරිදි නොයෙක් වෛවර්ණ සැරසිලි ක්‍රම යොදා අලංකාර කර ගනියි. මේ සඳහා රතු, නිල්, කහ, තැඹිලි, දම් වැනි තද වර්ණ රෙදි කැබැලි හෝ එවැනිම වර්ණ සහිත කඩදාසි වර්ග ඉටි කොළ බහුල වශයෙන් යෙදා ගැනේ. විශේෂයෙන් ම මෙහි තද රතු වර්ණය උපයෝගී කර ගැනීමට කාවඩි නිර්මාණකරුවෝ් අමතක නොකරති. කතරගම දෙවියන් හට හිමි වර්ණය රතුපාට බැවින් කාවඩි සැරසිලිවලට ද රතුපාට වැඩිපුර යොදා ගන්නා අතර කාවඩි නටන්නන් ද පච්ච වර්ණ ඇඳුමෙන් සැරසී සිටිනු දැකිය හැක. අලංකාර බව වැඩි කිරීම සඳහා නොයෙක් වර්ණ කොඩි සහ කුඩා ගෙජ්ජි වැල් එල්ලන ලද කාවඩිය අවසාන වශයෙන් තවත් ලස්සන කරනු ලබන්නේ දර්ශනීය මො‍නර පිල් වලින් සැරසීමෙනි. කතරගම දෙවියන් හට අයත් මයුරාසනයේ මොනරා සංකේතවත් කිරීම සඳහා කාවඩියට මෙසේ මොනර පිල් එක් කෙරේ. මේ අයුරින් වර්ණවත්ව සකස් කර ගත් කාවඩි කූඩුව කර පිට තබාගෙන මියුරු සංගීත වාදනයන්ට අනූව කාවඩි නැටීම සාමාන්‍ය ක්‍රමයයි.

මෙම රැඟුමට වඩා තරමක් වෙනස් කාවඩි නැටුම් ක්‍රමයක් ද බැතිමතුන් අතර ඇත. එම ක්‍රමය නම් කලින් සකසා ගත් කාවඩියේ දෙකෙළවර කිරි පුරවන ලද කුඩා සෙම්බු හෝ මුට්ටි දෙකක් එල්ලාගෙන කරන කාවඩි නැටීමයි. මෙය “ කිරි කාවඩි ” නැටුම නමින් හැඳීන්වේ. දහස් ගණන් බැතිමතුන් පිරුණු කතරගම පුද බිමේ කිරි කාවඩි නැටීමේ දී සෙම්බුවල පුරවන ලද කිරි ඉතිරී විසිරී ගොස් රැස්ව සිටින බැතිමතුන්ගේ ඇඟට වැටුණේ නම් ඔහුට හෝ ඇයට නියත වශයෙන් දේවාශිර්වාදය ලැබුණේ යැයි විශ්වාසයක් පවතී. එසේ ම දවස පුරාම වුව ද කිරි කාවඩි නැටීමෙන් කිරි විසිරී හැලී ගිය ද කිසි විටෙකත් මුට්ටි හෝ සෙම්බුවල පිරවූ කිරි ප්‍රමාණයේ කිසිදු අඩුවක් නොවන බව ඔවුන්ගේ පිළිගැනීම වන අතර කඳ දෙවියන්ගේ දේව බලයත් හාස්කමත් නිසා එසේ වන බව කාගේත් විශ්වාසයයි. මුහුණු සයක්, අත් දොළසක් සහිතව මයුරාසනය මත වැඩ සිටින මහානුභාව සම්පන්න කතරගම දෙවියන් භක්තිමත්ව කාවඩි නටන ඇතැම් බැතිමතුන්ට වරින් වර දෘශ්‍යමාන වී ඇති බව ද පැවසේ.

කාවඩි උපත

දේව කතා ඉතිහාසයේ කාවඩි උපත පිළිබඳව අපූරු රසවත් තොරතුරු සඳහන්ව තිබේ. එහි එන කතා පුවතකට අනූව ඈත පුරාණයේ දෙවියන් සහ අසුරයන් අතර පැවතියේ යයි කියන මහා සටනේ දී කඳ කුමරු අතින් අන්ත පරාජයකට පත් සූරපද්ම නම් අසුර නායකයා පණ බේරා ගැනීම සඳහා පළාගොස් සැඟවී ගත්තේය. මෙම සුරාසුර යුද්ධයේ දී සූරපද්මට පරාජය හිමි වූයේ ඔහුගේ සේනාධිනායක හිඩම්ඛේශ්වරම්ගේ වරදින් බවට සැක කළ අසුරයෝ ඔහු අල්ලා මරා දැමිය යුතු යැයි තීරණය ක‍ළහ. මේ බව දැනගත් හිඩම්ඛේශ්වර මහා බලසම්පන්න අගස්ති නම් ඍෂිවරයා ළඟට දිව ගොස් දණින් වැටී වැඳ නමස්කාර කොට තමා මරණින් ගලවා ගන්නා ලෙස ඇයැ ද සිටියේය.

ඊට කන් දුන් අගස්ති ඍෂිවරයා ඔහු මරණින් බේරා ගැනීමට නම් “ ශිවගිරි ” සහ “ සප්තගිරි ” කඳු පර්වත දෙක රැගෙන විත් තමා ඉදිරියේ තබන ලෙස හිඩම්ඛේශ්වරට පැවසීය. අගස්තිගේ නියමය පරිදි තම පණ බේරා ගැනීමට කඳු දෙක රැගෙන ඒම සඳහා ඔහු එවේලේම පිටත්ව ගියේය. එහෙත් ඔහුට වැඩි දුරක් යාමට නොලැබුණි. සාමාන්‍ය පිරිමි ළමයකු ලෙසින් වෙස් වළාගෙන මග රැක සිටි කඳ කුමරු විසින් හිඩම්කේශ්වර ජීවග්‍රහණයෙන් අල්ලා මරා දැම්මේය. ඒ අපරාධය සැලව කඳ කුමරුට දඬුවම් කිරීමට නොහැකි බැවින් උරණ වූ අගස්ති වහා එතැනට පැමිණ හිඩම්ඛේශ්වරට නැවත ප්‍රාණය ලබා දුන්නේ ය. යළි පණ ලැබීමෙන් මහත් සතුටට පත් හිඩම්ඛේශ්වර වහා දුවගොස් කඳු පර්වත දෙක ගෙනැවිත් කර පිට තබාගෙන අගස්ති ඉදිරියේ නටන්නට පටන් ගත්තේ ය. එදා සිවගිරි හා සප්තගිරි කඳු කරපිට රඳවාගෙන හිඩම්ඛේශ්වර කළ රංගනය පසුව කාවඩි නැටුම ලෙසින් කතරගම දෙවියන් ඉදිරියේ සිදුකරන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කදිර දෙවියන් වෙනුවෙන් කරනු ලබන ඉතා ත්‍රාසජනක කාවඩි විශේෂයක් ද කතරගම උත්සව සමයේ දී දැකිය හැකිය. මෙම කාවඩි රැඟුම් නරඹන බොහෝ බැතිමතුන් තුළ බියජනක අත්දැකීමක් ඇති කරයි. එය පරවා කාවඩි නැටුම ලෙසින් හැඳීන්වේ. මෙහි දක්නට ඇති වි‍ශේෂ ලක්ෂණය නම් එම නැටුම්වල යෙදෙන අයගේ සිරුරේ අවයව කොටස් දැඩි ලෙස වධ බන්ධනයට ලක්කර ගැනීමයි.

ඔවුහු දිව මුඛයෙන් පිටතට ඇද කටු ගසාගෙන නටන අතර තවත් කෙනකු දෙකම්මුල් පසාරු වී යන ලෙස උල් කටු ගසා ගනිමින් කාවාඩි රංගනයේ යෙදෙයි. නැතහොත් කරත්තයක හෝ ට්‍රක් රථයක සවි කළ කණු දෙකක පොල්ලක් බැඳ කාවඩි නටන්නන්ගේ පිටේ යකඩ කොකු අමුණා වටේ කරකවයි.

පේ වීමේ චාරිත්‍ර

එසේම, සමහරු අත පය සිදුරු වනසේ යකඩ කටු ගසාගන්නා අතර ඇතැමුන් නාස්වල ද කටු ගසාගෙන නටති. මෙසේ ශරීරය නොයෙක් වධ බන්ධන වලට ලක් කර ගනිමින් නටන පරවා කාවඩි නැරඹීමට සමහර බැතිමතුන් බියක් දක්වයි.

ත්‍රාසජනක පරවා කාවඩි නටන්නන් ඒ සඳහා මස් මාංශ හා සුරාවෙන් වැළකී කිලිකුණු වලින් තොරව පිරිසුදුව දින ගණන් පේවී දේවාශිර්වාදය ලබා ගැනීම වැදගත් වේ. දෙවියන් කෙරේ විශ්වාසය පෙරදැරි කරගෙන බැතිමත්ව කරන පරවා කාවඩි නැටුමෙන් ඔවුන්ගේ සිරුරට කිසිදු වේදනාකාරී බවක් නොවන්නේ ය. සිරුරේ කටු ගසා කොකු අමුණා කරන මේ බිහිසුණු නැටුම් වල දී තුවාලවලින් ලේ ගැලීමක් ද සිදු නොවේ. එය දෙවියන්ගේ හාස්කමින් සිදුවන්නක් බව බැතිමතුන්ගේ විශ්වාසයයි. පරවා කාවඩි නැටුමෙන් පසු ශරීරයේ සිදුරු වූ සෑම ස්ථානයකම “ තින්නරු ” නම් කුඩු විශේෂයක් ගල්වනු ලැබේ. මෙම කුඩු වර්ගය “ තින්නෝරු ” යනුවෙන් ද හැඳීන්වේ. තින්නරු කුඩු තුවාල මත ආලේප කළ සැනින් සියලුම ලප කැළැල් සුවවී වියළී මැකී යනු ලබන්නේ එහි ඇති අගනා ඖෂධීය ගුණය නිසයි.

වරදට දඬුවම්

එදා සිට අද දක්වාම කතරගම දේවාලයේ සියලුම ආවතේව පුද පූජා සිදු කරනු ලබන්නේ සිංහලයන් වීම ද තවත් විශේෂත්වයකි.

අදත් අප සිංහල බෞද්ධ ජනයා රතුමල් මාලයක්, පූජා වට්ටියක් සහිත පුද පඬුරු රැගෙන ගොස් ගරු ගාම්භීර ආකාරයෙන් කතරගම දෙවිඳුන් හට පූජෝපහාර දක්වමින් බාර හාර වෙද්දී දෙම‍ළ ජනයා බිම පෙරළී හරෝ හරා යයි කෑගසමින් සිරුරට දස වධ දී කාවඩි නටනු ලබන්නේ එදා කඳ කුමරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වරදට දඬුවම් වශයෙන් බව විශ්වාස කෙරේ. දකුණු ඉන්දියාවේ උපත ලත් කාවඩි නැටුම එරට හින්දු භක්තිකයන්ගේ වැදගත් වන්දනීය ආගමික කටයුත්තකි. එහෙත් අපේ රටේ කාවඩි නටනු ලබන්නේ දේව මෙහෙයක් වශයෙන් පමණකි.

ඒ.සී.එස් නවීලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.