දර ළිපේ රහස්

අප්‍රේල් 15, 2022

ආහාර පිසීම සඳහා දර ළිප් භාවිතා කිරීමට බොහෝ ගෘහණියෝ මනාපයක් නොදක්වති. එහෙත් දර ළිප් භාවිතය තම ජීවිතය නිරෝගීව පවත්වාගෙන යාමට උපස්ථම්භක වන බව බොහෝ දෙනෙක් නොදනිති. මේ වන විට සාම්ප්‍රදායික දර ළිප නූතන යුගයට ගැළපෙන ආකාරයට සකසා ඇත. මෙම ළිප් සඳහා දර මෙන්ම ගෙදර මුළුතැන්ගෙයි එකතු වන පොල්කටු ද භාවිත කළ හැක.

දර ළිප සම්බන්ධ ප්‍රධාන මැසිවිල්ල නම් දුම කාගෙන ඉවුම් පිහුම් කටයුතු කළ යුතු බවයි. එහෙත් එම දුම ඔබගේ නිරෝගී ජීවිතයට උපකාරී වන බව ඔබ සිතුවාද? ඕනෑම කාබනික ද්‍රව්‍යයක් දහනය කිරීමේ දී කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප නිකුත් වන බව ප්‍රකට කරුණකි. එල්.පී. ගෑස් දහනයෙන් ද ඒවා නිකුත් වේ. එහෙත් දර දහනයේ ඇති සුවිශේෂී වාසිය කුමක්ද? දරවල කාබන්වලට අමතරව වෙනත් ස්වභාවික රසායන ද්‍රව්‍ය ගණනාවක් ඇත. එය දර ලබා ගන්නා ගස අනුව වෙනස් වේ. කුරුඳු දර දහනයෙන් සිනමැල්ඩිහයිඩ්, ඉයුජිනෝල් වාෂ්ප වීම එක් නිදසුනක් පමණි.

මෙම කිසිදු රසායනික ද්‍රවව්‍යයක් මහා පරිමාණයෙන් දරවල අන්තර්ගත නොවන අතර දර දහනය වීමේ දී මහා පරිමාණයෙන් එහි ඇති රසයන ද්‍රව්‍යවල වාෂ්පය පරිසරයට නිකුත් වන්නේ ද නැත. සමහර වාෂ්ප විෂබීජ නාශක ගුණයෙන් ද යුක්තය. මෙම දුම සමඟ අපගේ ශරීරයේ ඇස, කන, නාසය යන ඉන්ද්‍රියන් ගැටෙන අතර එයින් අපගේ ශරීරයේ මතුපිට ඇති විෂබීජ විනාශ වේ.

මෙහිදී සිහිතබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේ කිසිදු රසායන ද්‍රව්‍යයක් කෘත්‍රිම ඒවා නොවන බවයි. මෙම ස්වභාවික රසායන ද්‍රව්‍ය දහනයෙන් කිසිදු අනර්ථයක් සිදු නොවන්නේ එම දහනය මහා පරිමාණයෙන් සිදු නොවන බැවිණි. එසේ නම් දර ළිපේ දුම් කෑමෙන් වන අගතිය කුමක්ද? එයින් අගතියක් නොවන සුගතියක් ඇතිවන බව දත යුතුය.

කෙසේ වෙතත් විවිධ ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම දුම අහිතකර විය හැක. එම පුද්ගලයින් දර ළිප භාවිතයේ දී පරිස්සම් විය යුතු ය.

දර ලිප භාවිතයේ ඇති අනිතත් සුවිශේෂී වාසිය නම් එල්.පී.ගෑස් මිලදී ගැනීමට වැය වන මුදල ඉතුරුවීමය. අනෙක් අතට දර ළිප එල්.පී. ගෑස් භාවිතයට වඩා සුරක්ෂිතය.

දර ළිප භාවිතයෙන් පිස ගන්නා ආහාර ගෑස්වලින් පිසගන්නා ආහාරවලට වඩා රසවත් ය. අනිත් අතට ආහාරවල පෝෂ්‍ය ගුණය ආරක්ෂා වේ. දර ළිප භාවිතයේ දී කායික ශක්තිය වැයවේ. එය ඔබගේ යෞවනයට හිතකරය. මෙම සියලුම වාසි අත්පත් කර ගැනීමට ඔබත් අද සිටම දර ළිපට යොමු වන්න. එවිට මේ ලිපියේ ඇති කරුණුවල සත්‍යතාවය ඔබට ඉතා කෙටි කාලයක් තුළ පසක් කර ගත හැකි ය.

 

එස්.එම්. ජයසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.