ජ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු

අප්‍රේල් 15, 2022

මහියංගනයේ සජ – වයස 35,

යුගදිවිය ගැන

පිළිතුර –

සිංහ ලග්න වෘශ්චික නවාංශක හිමිව ජන්ම ලද ඔබ දැනට ගත කරනුයේ ගුරු මහ දසාවයි. විවාහ ස්ථානය වන 7 වැන්නේ බුධ සිටිය ද බුධගෙන් විවාහයට ලැබෙන සහයෝගයක් නැත. 7 වැන්න අධිපති ශනිද 7 වැන්න නොදනී. විවාහ කාරක සිකුරු ද සිටිනුයේ රෝගස්ථානය වූ 6 වැන්නේය. 7 වැන්න කිසිදු ග්‍රහයකුගේ දෘෂ්ටිය නොලබයි. 7 අධිපති ශනිද 22 වන දෙර්කාණාධිපති කුජගෙන් පීඩා වී ඇත. මේ සියලු කරුණු ඔබේ විවාහය පමාවීමට හේතු වී ඇත.

2023 ජනවාරි මස 7 වැන්නට ශනිගේ පැමිණීමත් සමඟ ඔබේ විවාහයට කාලය එළඹේ. ජනවාරියෙන් පසු ශනි වෙනුවෙන් කළ යුතු සත්කාර නිසි ලෙස කර විෂ්ණු දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට බාරයක් වන්න. ඔබේ පැතුම් ඉටු වේවි.

වදුරඹ දේවිකා – වයස 37

විවාහය ප්‍රමාද ඇයි? කළ යුත්තේ කුමක්ද?

පිළිතුර

වෘෂභ ලග්න, වෘෂභ නවාංශක, උත්‍රසල නැකත දැනට දසාව රාහු ලග්නය වර්ගෝත්තමයි. ඉතා හොඳයි. බුධ ආදිත්‍ය යෝගය ලග්නයේ පිහිටීම ඔබට මනා උගත්කමක් ලබා දී ඇත. එහෙත් විවාහ ස්ථානය වූ 7 වැන්න අධිපති කුජ ඔබේ 22 වන දෙර්කාණාධිපති වීමත් එම කුජ 2 වැන්න වූ ධනස්ථානයේ උපතේදී සතුරුව ස්ථාපිත වීමත්, විවාහ කාරක සිකුරු 12 වැන්න වූ වැයස්ථානයේ ස්ථාපිත වීමත් ඔබේ විවාහ ප්‍රමාදයට බලපා ඇත. එසේම තැන්පත් ධනයට ද උරුම දේපළ වලට ද කුජගෙන් බාධා ඇත.2023.02.07 දක්වා ඔබ ගත කරන රාහු මහ දසාව එතරම් අහිතකර නැත. ඊට පෙර විවාහය ගැන උනන්දුවන්න. අඟහරු වෙනුවෙන් කළ යුතු සත්කාර නිසි ලෙස කර පත්තිනි මෑණියන්ට ද බාරයක් වන්න. ඔබගේ බලාපොරොත්තු ඉටු වේවි. ඉන්පසු ලබන්නා වූ ගුරු මහ දසාව 22 වන දෙර්කාණාධිපති ගෙන් ගුරු පීඩාවී ඇති නිසා විවාහයට තවත් පමා වේ. ගුරු මහ දසාව වසර 16 කි. 2023.02.07 ට පෙර විවාහය ගැන උනන්දු වන්න. රාහු වෙනුවෙන් ද බෝධි පූජා ආදී සත්කාර කරන්න.

කිරිල්ලවල රණසිංහ,

වයස 59 ලොතරැයි වාසනා ඇත්ද?

පිළිතුර

කටක ලග්න තුලා නවාංශක දැනට දසාව බුධ ලග්නාධිපති සඳු 8 වැන්න වූ මාරකස්ථානයේත් ධනස්ථානාධිපති 6 වැන්න වූ රෝග ස්ථානයේ ස්ථාපිත වීමත් යහපත් සැපවත් ජීවිතයන්ට සුබදායක නොවේ. එහෙත් ශනි ස්වක්ෂේත්‍රව 7 වැන්නේ ස්ථාපිතවීමෙන් පංච මහා පුරුෂ යෝග වලින් එකක් වූ ශශ යෝගය පිහිටා ඇත. මහන්සියෙන් දියුණු විය හැකි කෘෂි ක්ෂේත්‍රයේ දස්කම් පෙන්වන පිහිටීමකි. එය 6 වැන්නේ පිහිටි බුධ ආදිත්‍ය යෝගයෙන් ද පිහිටක් නැත්තේ බුධ ඔබේ 22 වන දෙර්කාණාධිපති වීමත් නිසාය. ධනය ලැබෙන ධන යෝග ඔබගේ ජන්ම පත්‍රයෙන් ඉස්මතු වන්නේ නැත. දැනට ගත කරන්නේ ද 22 වන දෙර්කාණාධිපති බුධගේ මහ දසාවයි. එම නිසා මේ කාලය ද එතරම් සුබදායක නැත. මහන්සියෙන් උපයන ධනය ද දියුණුව සඳහා යොදාගත හැකි බවක් නොපෙනේ. 2023 ජනවාරි මස වන විට සිදුවන සෙනසුරු මාරුවෙන් ඔබට ජන්ම අෂ්ඨම ඒරාෂ්ඨක දෙකක් එකවිට යෙදේ. ඉන්පසු වසර 2 1/2ක් අපල කාලයකි. ඒ කාලයට සෙනසුරු වෙනුවෙන් කළ යුතු සත්කාර නිසි ලෙස කිරීමෙන් තරමක් හෝ සහනයක් ලැබිය හැකිය.

මාතර අනුර, වයස 39

විවාහය තවත් ප්‍රමාද වේද?

පිළිතුර –

කන්‍යා ලග්න මේෂ නවාංශක දැනට දශාව බුධ ලග්නයේ පිහිටි කු,ශ, යෝගය හෙවත් ශනි මංගල දෝෂය විවාහ පමාවට තදින්ම බලපා ඇත. ඒ එම පාපීන් දෙදෙනාටම විවාහ ස්ථානය වූ 7 වැන්න පෙනෙන බැවින්ය. 7 වැන්න අධිපති ගුරු ද තම සතුරු රාශියක් වූ දෙවැන්නේ උපතේදී ස්ථාපිතව ඇත. එසේම විවාහ කාරක සිකුරු ද රෝගස්ථානය වූ 6 වැන්නේ සිටී. මේ දෙදෙනාම 7 වැන්න නොදනී. රාහු සමඟ යෝගව සිටින සඳු පමණක් 7 වැන්න දකී. මේ අනුව විවාහ ස්ථානය වූ 7 වැන්න බලවත් ලෙස පීඩා වී ඇත. මේ කරුණු ඔබේ විවාහයට අසුබවාදීව බලපාන්නේ නැත. කුජ ශනි වෙනුවෙන් කළ යුතු සත්කාර නිසි ලෙස කරන අතර, පත්තිනි මෑණියන්ට බාරයක් වන්න. ඒ අතර දස දිසා පිරිත හෙවත් ජිනපඤ්ජරය පිරිත ද ශ්‍රවණය කරන්නේ නම් ඉතා සුබය. මේ පිළිවෙත් අනුගමනය කරන්නේ නම් වයස 40 දී එනම් මේ වසර අවසන් වීමට පෙර ඔබේ විවාහය සිදුකරගත හැකිය.

පෝද්දිවල පේ‍්‍රම වයස 68,

ජීවිතයේ සැඳෑසමයේ කෙසේ වේද?

පිළිතුර -

මේෂ ලග්න නවාංශකය ලකුණු කර නැත. එය අත්‍යාවශ්‍යම වේ. ලග්නාධිපති කුජ 12 වැන්නේ උපතේදී ස්ථාපිතව ඇත. කේන්ද්‍රස්ථාන හතරම පාළුය. එහෙත් ඔබ මනා ලෙස ද උගත් අයකු බව පෙනේ. පසුගිය කාලය ඔබට ඉතා අපලදායක කාලයක් වී ඇති බවද පෙනේ. ආයුෂ තත්ත්වයද සුබදායක බව කිවහැකිය. එහෙත් මේ ගත කරනු ලබන සෙනසුරු මහ දසාව නම් එතරම් සුබවාදි නැත. සෙනසුරු මහ දසාව ලැබුවා පමණි. ඉදිරියට වසර 18ක් පමණ ඇත. පින් දහම් කරන අතර, සෙනසුරු වෙනුවෙන් බෝධි පූජා ද කරන්නේ නම් කරදරයකින් තොරව අවසාන කාලය ගෙවී යනු ඇත.

මාදම්පේ විමල්, වයස 74,

බුධ මහදසාව කෙසේ ගතවේද?

පිළිතුරු –

කන්‍යා ලග්න මේෂ නවාංශක උත්‍රසල නැකත, බුධ මහ දසාවේ සෞඛ්‍ය තත්වය කෙසේ වේද?

ලග්න කුණ්ඩලියේ බුධ සිටින ස්ථානය ලකුණු කර නැත. එම නිසා පැහැදිලි පිළිතුරක් දීමට නොහැක .අනිකුත් ග්‍රහයින් 8 දෙනාම ලකුණු කර ඇත. බුධ සිටිය යුත්තේ 4,5 හෝ 6 හිය. කෙසේ වෙතත් මෙම ස්ථාන තුනම බුධට නරක නැත. බුධ කොහොමටත් අසුබ ඵල දෙන ග්‍රහයකු ද නොවේ. එබැවින් බුධ මහ දසාව ඔබට අපලදායි නොවනු ඇත. විද්‍යානුකූල පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කළ ද ඔබ ජන්මපත්‍රය සම්පූර්ණ ලෙස ලියා නොමැති නිසා එසේ කල නොහැකිය.

කොස්ලන්ද චමල්කා

වයස 19, සරසවි වරම් ලැබේද?

පිළිතුර –

වෘශ්චික ලග්න, කුම්භ නවාංශක, බෙරණ නැකත දැනට දසාව සඳු, මේ ඔබ විභාගය ගන්නා කාලයේ දසාවයි. ර.බු.ගෙන් බුධ ආදිත්‍ය යෝගය ද ගුරු සඳුගෙන් කේන්ද්‍රගතව උච්චව සිටීමෙන් ගජකේෂරී යෝගය ද පිහිටා ඇත. ඉතා උසස් පිහිටීම්ය. එසේම ලග්නාධිපති කුජ මිත්‍රව 10 වැන්නේ සිට ලග්නය දැකීම ද ඉතා යහපත්ය. දෙවැන්න වූ ධනස්ථානයේ මෙන්ම 5 වැන්න වූ අධ්‍යාපන ස්ථානයේ අධිපති ද වන එම ගුරු උසස් අධ්‍යාපන ස්ථානය වන 9 වැන්නේ සිටි. ඉතා බලවත් ජන්මපත්‍ර සටහනකි. කථාව, වචන, හැසිරවීම, දරා ගැනීමේ ශක්තිය, සමාජය පිළිගැනීම, ප්‍රසිද්ධිය, මනාව පිහිටා ඇත. උසස් පෙළ ඉතා ඉහළින්ම සමත්වන බව පෙනේ. ඔබට සරසවි වරම් ද ලැබීමේ වාසනාව ඇත. එහෙත් එය තරගයක් බැවින් ඔබේ ජන්මපත්‍රය පමණක් බලා නිශ්චය කිරීම අපහසුය. උසස් වෘත්තියකට නියැළීමේ වාසනාව ද ඇත.

සුබසෙත වෙතින් ඔබ වෙත පිරිනැමෙන මෙම විශේෂාංගය වෙනුවෙන් පිළිතුරු සපයන්නේ සුබසෙත පුවත්පතට කලක සිට ලිපි සැපයූ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

යසපාල දික්මාදුගොඩ මහතා විසිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.