අත්ලෙන් සහ ඇඟිලිවලින් කියැවෙන ඔබේ ආත්මයේ සැඟවුණු තොරතුරු

මාර්තු 25, 2022

 

ඔබේ අල්ල එක් අතකින් විශ්වයේ ඇන්ටනාවකි. තවත් අතකින් ඔබේ ශරීරයේ නිල ක්‍රියාවලිය දැක්වෙන කම්ද්‍රලක යතුරු පුවරුවකි. ආත්මයේ ඉතිහාස කතාව ඇත්තේ අල්ලේ රේඛා තුළය. “මනුෂ්‍යයාගේ සුරපුර ඇත්තේ මිහි පිටය. මේ ජීවමාන ලෝකය සුන්දරය. ස්වභාවධර්මයෙහි සමෘද්ධියෙහි ආශිර්වාදය එහි නොමඳව ඇත.

ඔබ ආදරයෙන් පිරී ජීවත්වන්න

හිමි ආයුකාලයට පෙර මිය නොයන්න

එහෙත් උපන් හැමට මරණය නියත බව අමතක නොකරන්න

ඔබ දස දහස්වර සිතෙන් මැරි මැරී ගෙවන ජීවිතයෙන් වළකින්න

“මෙය වසර හත් අට දහසකට පෙර ජීවත්වූ වෛදික සමාජයේ ඍග්වේදයේ එන වෛදික ගීතයකි.” මා මේ ටික ලීවේ ලෝකයේ ඉතාම පැරණි දර්ශනයක් අතර ඇති ඡ්‍යෝතිෂ්‍යය සාමුද්‍රිකා දේහ අංග ලක්ෂණ විද්‍යාව තුළින් දකින ‘ඔබේ ජීවිතය’ යහපත් කර ගන්නට පෙර දැක්මක් වශයෙනි.

ඔබ කුමන ආගමක වුවත් ඔබේ සිත තුළ රඳවා ගත යුතු යහපත් සිතුවිල්ල විය යුත්තේ මනුෂයාගේ සුරපුර ඇත්තේ මිහි පිටය” යන්නයි. මරණින් මතු වෙනත් එහා ජීවිතයක සුරපුර ඇතියයි සිතුවිල්ල පරාජිතය.

මේ ලෝකය සුරපුර කරන මහා ශක්තිය ආදරයයි. ආදරය ඇත්තේ කොතැනකද එතන ඔබට සුරපුර මවා ගත හැකිය.

මනුෂ්‍යයකු වශයෙන් ඔබ මෙලොව මව්කුසක පිළිසිඳ ගන්නේ ආලෝක ධාරාවකිනි.

ඔබට හිමිවන මිනිස් සිරුර ඒ ‘ආත්මය’ නැමති ආලෝකයට ඇවිදින්නට දී ඇති යානයයි.

සාමුද්‍රික ඍෂිවරු ඔබේ අල්ල ගැන වසර පන්දහසකට පෙර හඳුන්වා දී ඇත්තේ මිනිස් සිරුර නමැති යානයේ ක්‍රියාත්මක යතුරුපුවරුව ලෙසය. එහි අල්ලේ ඔබට වැලදෙන්නාවූ රෝග ලක්ෂණ හඳුනා ගන්නට නිල පුවරුවක් දී තිබේ.

අනික් අතින් ඔබේ අල්ල ආකාශචාරී සප්ත ග්‍රහ තාරකාවන්ගේ ක්‍රියාකාරකම් ඔබේ සිරුරට බල පවත්වන විශ්වයේ ඇන්ටනාවකි.

මහා භාරතීය මහ ඍෂිවරු අවුරුදු දහස් ගණනකට පෙර ඔබේ වේලාපත්කඩය හැදුවේ අල්ලේ හෙවත් දෑතේ රේඛා ලක්ෂණ පිහිටීම් බලාගෙනය.

ඉතාම පැරණි පුස් කොළ පත් අනුව අත කොටස් තුනකට බෙදුවේය. 1.පංචාංගුලි (ඇඟිලි පස) 2.හස්ත තලය (අල්ල) 3.මණි බන්ධය – මැණික් කටුව කියායි.

මෙම තුන් කොට්ඨාශය පිළිවෙළින් 1.ශ්‍රී කාන්තාය 2.සරස්වතිය 3.මහා බ්‍රහ්මයයි අධිපති වෙත් යයි සාමුද්‍රික ඍෂීහු පෙන්වා දී තිබේ.

‘කාරාග්‍රෙ වසතෙ ලක්ෂ්මිඞ, කරමධ්‍යෙ සරස්වතී

කරමුලෙ ස්ථිතො බ්‍රහ්මා – ප්‍රභාතෙ කර දශ¡¡නම්”

ඔබේ අල්ලේ පංචාංගුලි නම් අංගුෂ්ඨ(මාපට ඇඟිල්ල) තර්ජනී (දබරඟිල්ල) මධ්‍යමා (මැදගිල්ල) අනාමිකා (මුදු ඇඟිල්ල) හා කණීෂ්ඨිකා (සුලැඟිල්ල) ශ්‍රී කාන්තා කොටසට අයත්ය.

යම් අල්ලක ඇඟිලි මුල් පුරුක සම කක්ෂයෙහි පිහිටීම ඉතාම ශුභය. ඒ ඒ ඇඟිලි පාත්වීම ඒ ඒ ඇඟිලිවලට හිමි ග්‍රහ බලපෑම්වල ගුණ හීන වීමේ ද උස්ව පිහිටීම උසස් වීමේ ලක්ෂණ වෙති.

ඔබේ අල්ලේ ඇඟිලි තුඩුවලින් විශ්වයේ ග්‍රහ තාරකාවන්ගේ කිරණ ලබා ගත්තේය. මෙම ඇඟිලි පටුනොවී පිහිටීම ශුභදායකය. ඇඟිලි විශ්වයේ ග්‍රහතාරකාවන්ගේ ඇන්ටනාවකි. මාපට ඇඟිල්ල හා තර්ජනි ඇඟිල්ල අතර ළං නොවී පරතරය යම් කෙනෙකුගේ අතේ දිස්වේද අනිවාර්යයෙන්ම ධර්ම ශාස්ත්‍රය ප්‍රචාරය කරන ඔහු අනාගත ශ්‍රේෂ්ඨ පූජකයෙකු වන බවට හේතුවකි.

තර්ජනීය ඇඟිල්ල හෙවත් දබරඟිල්ල හා මැදඟිල්ල අතර එසේවීම නිදහස් චින්තකයෙකි.

මධ්‍යමාව හෙවත් මැදඟිල්ල හා අනාමිකවත් වෙදඟිල්ල (මුදුඇඟිල්ල) අතර දුරස්ථභාවය යම් අතක ඇතිවේද සෑම තැනකදීම යුතුකම් ඉෂ්ට කිරීමද වෙඳගිල්ල හා සුළැඟිල්ල අතර පරතරය අගතිගාමී නොවීම ද ඇඟිලි මුල් පුරුක් අතර දුරස්ථභාවයෙන් ප්‍රකාශ වන්නේය.

මනුෂ්‍යයකු වශයෙන් උපත ලබන විට අතේ පංචාංගුලි මිරිකාගෙන සිටින්නේය. බැරි වෙලාවත් මෙම ඇඟිලි දිග හැර කෙනෙකු උපන්නොත් මන්ද බුද්ධිකයෙකි.

මාපට ඇඟිල්ල ප්‍රමාණය රඳා පවතින්නේ මිනිසා ගේ කොඳු ඇට පෙළේ හා මොළයේ ශක්තියෙනි. මෙම ඇඟිල්ල සිකුරු ග්‍රහයාට අයත්ය. මාපට ඇඟිලි තුඩු සලකුණු රේඛා යම් කෙනෙකුට සමාන වන්නෙ කෝටි හතරකින් එක් අයෙකු පමණයයි වේද ඍෂිවරු පෙන්වා දී තිබේ. ඔබේ දෑතේ හා පාදවල මහපට ඇඟිලි විශාල නම් බලවත් වූ අස්ථි ධාතුවෙන් යුක්ත අය වෙත්. එවැනි අය ස්ථීර සාර වූ විශ්වාස කටයුතු වූ අධිෂ්ඨානශීලි වූ යුක්තිය යුක්ත විනිශ්චය කරන්නාවූ අය වෙති.

මෙම ඇඟිල්ලේ අග පුරුක පිරිමැදීමෙන් මනුෂ්‍යයාගේ කල්පනා ශක්තිය වර්ධනය වන බව පුරාණ වෙද පත පොතේ නිල ශාස්ත්‍රයේ එයි. මාපට ඇඟිලි මොළයේ බල නහර හා සම්බන්ධිතය.

අල්ලේ කොට්ඨාශ තුන අතර ඇඟිලි පස හෙවත් ශ්‍රී කාන්තාවට අයත් කොටස ඔබේ ආත්ම කතා වේ සැඟවී ඇති තොරතුරු රැසකි.

අනික් ඇඟිලි හතරේ පුරුක් දොළහ රාශී චක්‍රයට අයත්ය.

දබරඟිල්ල මනාව දික්වූ කළ පාලනය කිරීමේ කැමැත්ත හා බලය ඇත්තෙකි. මෙය කොට වූ විට උදාසීන වූ කිසි කාර්යභාරයක් ඉසිලීමේ කැමැත්ත නැති අයය.

මෙම ඇඟිල්ල බ්‍රහස්පතී ග්‍රහයාට හිමිය. එය බ්‍රහස්පතීගේ විශ්ව ශක්තිය උරා බොන ඇඟිල්ලයි.

රාශි චක්‍රයේ මේෂ වෘෂභ, මිථුන රාශි එහි ඇඟිලි පුරුක් තුනට හිමිය. ඔබ උපන්නේ මේ රාශි තුනෙන් එකක නම් එම ඇඟිල්ලේ උඩ පුරුකේ සිට පහළ දක්වා පිළිවෙළින් ලග්නය හෙවත් රාශියට හිමි අක්ෂර ලාංඡනය පිහිටන්නේය.

මැදඟිල්ල විශ්වයේ එන ශනි ග්‍රහයාට අයත්ය. එහි පිළිවෙළින් මකර, කුම්භ , මීන යන ලග්න ලාංඡන උඩුපුරුකේ සිට පහතට වැටෙන පුරුකට පිහිටන්නාහ. මෙය මනාව වැඩුන විට ඒකාකාරීව ජීවත්වන අයෙකි.

ඊළඟට ඇත්තේ ශාස්ත්‍ර ඥාණයට අධිපති වෙදඟිල්ල හෙවත් මුදු ඇඟිල්ලයි. මෙම ඇඟිල්ල රවි ග්‍රහයාට හිමිය. මංගල රන්මුදු පළදින නිසා මෙය මුදුඇඟිල්ල ලෙස පුරාණයේ සිට සැලකේ. ඊශ්වර දෙවියා විසින් මහා බ්‍රහ්මයා ශිරශෙජදන මේ ඇඟිල්ල යොදන ලදැයි දේව කතාවේ එයි. විවාහයකදී මනාල – මනාලියන්ගේ සදා එකමුතුව මෙහි මුදු පළදනා කෙරේ යයි පැරණි පොත පතේ එයි. මෙම ඇඟිල්ලට රණඟිල්ල යයි තවත් නමකි.

මෙම ඇඟිල්ල මනාව පිහිටි කළ ශුභ කීර්ති ලැබීමේ වාසනා ඇත්තේය.

මෙය ප්‍රමාණයට වඩා දීර්ඝ නම් සූදුවෙහි ආශා ඇත්තෝය. අප කීර්තියට බරය. මෙම ඇඟිල්ලේ අග පුරුක කටක (ලග්නය) රාශියට හිමිය. මැද පුරුක සිංහ රාශියට හිමිය. මුල පුරුක කන්‍යා රාශියට හිමි මේවායේ ඒ උපන් රාශියේ රාශියට හිමි රේඛා ලක්ෂණ වැටේ.

සුලැඟිල්ල කනිෂ්ඨිකා යයි ව්‍යහාරිකයි. මෙම ඇඟිල්ල බුධට හිමිය. මෙම ඇඟිල්ල මනාව වැඩුණු කළ එවැනි අය විද්‍යාව හදාරන්නෝය. මෙහි උඩ පුරුක තුලා රාශියට හිමිය. මැද පුරුක වෘශ්චික රාශියටත් මුල පුරුක ධනු රාශියටත් හිමිය. මෙම ඇඟිලි හතරේ පුරුක් තුන බැගින් දොළොස් රැස් නියෝජනය වේ. ඇඟිලි පුරුක් දොළස ශි‍්‍රයා කාන්තාවට අල්ලේ අයත්ය.

මෙම ඇඟිලි පුරුක් වෙන්වන යව රේඛාවෙන් උපන්නේ කවර පුද්ගලයෙකුදැයි හඳුනාගත හැකිය.

එක ඇඟිල්ලට යව රේඛා තුන බැගින් ඇඟිලි පුරුක් දොළහට රේඛා 12 කි.

රේඛා 12ක් ඇති පුද්ගලයා ධනයෙන් ද, භාග්‍යයෙන් ද යුතුවන්නේය.

රේඛා 13 ක් ඇත්තා දුක්ඛිතයෙකි. රේඛා 14ක් ඇත්තා කාමුකයෙකි. රේඛා පහළොසක් ඇත්තා සොර දෙටුවෙකි. දහසයක් ඇත්තා සූදු කාරයෙකි. රැවටිලි කාරයෙකි. රේඛා 17 ක් ඇත්තා පාප ක්‍රියාවෙහි යෙදෙන්නෙකි. යව රේඛා 18ක් ඇත්තා සීලගුණවන්තයෙකි. යව රේඛා 19ක් ඇත්තා සමාජයෙන් ගරු බුහුමන් ලබන්නෙකි.

රේඛා 20ක් ඇත්තා තාපසයෙකි. යම් අල්ලක ඇඟිලි පුරුක් රේඛා 21ක් වේද එවැනි අය මහෝත්තමයෝය. ඔබේ අල්ලේ ඇඟිලි පුරුක් අතර රාශි චක්‍ර රේඛා බොහෝය. ඇඟිලි පුරුකෙන් පෙර ආත්මවලදී කරන ලද ක්‍රියා විස්තර වන්නේය.

අල්ලේ ඇඟිලි පුරුක් අතරේ ඔබ පෙර ආත්මවලදී කළ කී දෑ ලියවී ඇත්තේය. එය වේදයේ හැඳින්වෙන්නේ හස්තාක්ෂර විද්‍යාවයි. පෙර ආත්මයේ ඔබ ඉපදී සිටි ආකාරය දැක්වෙන රූප ලාංඡනද මේ අතර වෙති. ඔබේ රාශි 12 හේ මේ චක්‍රය තුළ කර්ම ඵල දොළහට අයත්ය. මේ අල්ලේ රාශි හෙවත් ඔබ මිනිස් ජීවිතයේදි ගෙවූ කළ පින් පව් ද සටහන් වේ. මෙය ඉදිරි ලිපි පෙළකින් අපි බලාපොරොත්තු වෙමු.

දැන් ඔබේ අල්ල සරස්වතී දේවියට අයත් කොටසයි. මෙම කොටස සප්ත මහා ග්‍රහ තාරකාවන්ගේ මණ්ඩල පිහිටියේය. මහපටඟිල්ල මුල සිකුරු මණ්ඩලයයි. ඊට වම්පසින් පිහිටියේ චන්ද්‍ර මණ්ඩලයයි. දබරඟිල්ල යට ගුරු මණ්ඩලයයි. මැදඟිල්ල මුල ශනි මණ්ඩලයයි. වෙදඟිල්ල මුල රවි මණ්ඩලයයි. සුලඟිල්ල මුල බුධ මණ්ඩලයයි. කුජ මණ්ඩල දෙකක් හා කුජ කලාපයක් අල්ලේ මැදට වන්නට පිහිටා තිබේ. මෙම මණ්ඩල ඔබ උපදින විට පෘථිවිය ඒ ඒ ග්‍රහයාට ඇති දුර ප්‍රමාණය අනුව අඩු වැඩිවීමේ අනුව පිහිටන බව සාමුද්‍රිකා ඍෂින් පෙන්වා දී තිබේ. මේවායේ උස් පහත්වීම එදා ග්‍රහචාරයයි. අල්ලේ ප්‍රධාන රේඛා හයකි. එයද ඔබ කළ කර්ම ඵල අනුව අල්ලේ මැද වැටේ. අල්ලේ මැද කොටස නැකත් 27කට බෙදේ. මෙම අල්ල මැද ජීවන රේඛාය, පීතෘ රේඛාය. ශීර්ෂ රේඛාය කර්මපල (ශනි) රේඛාය, රවි රේඛාය, ධන රේඛාය, සුඛ රේඛාය වශයෙන් මූලිකව රේඛා වැටේ. අල්ල මැද වැටෙන රේඛාවෙන් ද ඔබ පෙර කරන ලද කර්ම ඵල විස්තර වේ. එය අනුරේඛා මෙන්ම ද්විත්ව රේඛා ද වැටේ. දිනපතාම මෙම රේඛා තුළ වෙනස්වීම් සිදුවේ. එය හරියට ඔබ උපන් වේලාපත්කඩය වගේය.

අල්ලේ මහා බ්‍රහ්මයාට අයත් කොටස අත්කෙර්ය. ඔබ ගෙන ආ ආයුෂ ලියවෙන්නේ මණිබන්ධ රේඛා තුළය. රේඛා තුනක් මණිබන්ද රේඛා තුළ තිබීම දීර්ඝායුෂය.

ඔබේ ආදරය කාමය උත්පත්තිය (ජනිතවීමද ලියවෙන රේඛාවන්ද අල්ල මුල මැණික් කටුවේ ඇත.

මේ ආකාරයෙන් ඔබේ අල්ල තුළ අල්ල හා හස්තය සිරුරට සම්බන්ධ වූ තැන මණි බන්ධයයි. සාමුද්‍රිකා ඍෂීහු පෙන්වා තිබේ. මණි බන්ධය තුන් වළල්ලකි. එය බාල තරුණ හා මහලු කාලයාත්‍රය විග්‍රහ කෙරේ. හේතුවක් නැතිව මනුෂ්‍යය හස්ත තලයන්හි රේඛා නොපිහිටන්නාහ. ඒවා ග්‍රහ බලය හේතු කොට ගෙනම ද ආත්ම ශක්තිය හේතුකොට ගෙන ද පහළ වන බව ප්‍රත්‍යක්ෂය.

මහා පඬි ඇරිස්ටෝටල් කීවේ එහෙයිනි. උදේ ඉර පායන විට වැටෙන රේඛා අපමණය. අල්ලේ පාදයේ වැටෙන රේඛා සංඛ්‍යාව නව ලක්ෂයකට අධිකය.

අල්ලේ වැටෙන ප්‍රධාන රේඛාවලට අමතරව අනුරේඛා යුගල රේඛා බොහෝය. අතක වැටෙන රාජ ලක්ෂණ රේඛා තවත් සමහරෙකි. ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාකාරකම් අල්ලේ ලප කැළල්වලින් ලියවෙන්නේය.

ඔබේ ශරීරය නවීන යන්ත්‍රසූත්‍රවලින් පිරි කම්හලකි. මේ කම්හලේ නිල ක්‍රියාකාරීත්වය ඇත්තේ දෑත තුළය.

ශරීරය නැමති යන්ත්‍රය අල්ලේ නිල තෙරපුමෙන් කිසිම ඖෂධයක් නැතිව ආබාදයක් ඇතිවූ විට සුවපත් කළ හැකිය. අල්ල තුළ මිනිස් සිරුරට අයත් නිල තෙරපීමේ මහා පුදුම සහගත විද්‍යාවක් ඇත්තේය. එය ඍෂිවරුන් පුරාණයේ හඳුන්වා දී ඇත්තේය.

අල්ල හස්ත රේඛා විද්‍යාවට අමතරව තවත් විද්‍යා රැසකට අයත්ය. හස්ත රේඛා විද්‍යාව, හස්ත කුංත විද්‍යාව, හස්තාක්ෂර විද්‍යාව, අංග ලක්ෂණ විද්‍යාව, ජීව ශබ්ද විද්‍යාව, ගඳ සුවඳ විද්‍යාව ආදී පැරණි විද්‍යාවන්ගේ එකමුතුවකට ඔබ යටත්ය.

 

 

එච්.ඩබ්ලිව්. අභයපාල

සාමුද්‍රික රේඛා පර්යේෂණ විද්‍යාඥ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.