කාලසර්ප යෝගය අභිබවා සසුන්කෙත බැබළවූ කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන් වහන්සේ

ජනවාරි 14, 2022

මෑත යුගයේ අප රටේ පහළ වූ සදා මතකයේ රැදුණු මහා සඟරුවනක් ලෙස කොටුගොඩ ධම්මාවාස අතිපූජනීය මහනායක මහ හිමිපාණන් වහන්සේ හැඳින්විය හැක. බොදු හදවත් වලට ඉතා සරල බසින් ගැඹුරු ධර්ම දේශනා ඉදිරිපත් කිරීමට උන්වහන්සේ සතුව විශේෂ හැකියාවක් ජන්මයෙන්ම ලබා තිබුණි.

 

මේ පිළිබඳව කෙටි විග්‍රහයක් ඡ්‍යෝතිෂය ඇසුරෙන් බැලීම කාලෝචිතය. වසරක ආරම්භ මාසය වන ජනවාරි මස 26 වන දින තුලා ලග්නයෙන් උපත ලබන ලද මහනායක මහහිමිපාණන් වහන්සේගේ 1933 ජනවාරි 26 වන දිනය.

මෙම ජන්ම පත්‍රය පිළිබඳව විමසා බලන විට ලග්නාධිපති සිකුරු සිකුරුටම හිමි පුවසල නැකතේ බලවත්ව තුන්වැන්නේ සිට පුණ්‍යස්ථානය දැකීමත් පස්වැන්න සහ නවවැන්න වූ ජන්ම පත්‍රයක බලවත් ත්‍රිකෝණ ස්ථාන දෙකක් වන එම ස්ථාන දෙකේ අධිපතියන් වූ සෙනසුරු සහ බුධ යෝග කාරක ග්‍රහයින් වශයෙන් සිව්වැන්නේ තැන්පත්ව ඇත. මේ සමඟම බලවත් වූ ධර්මකර්මාධිපති යෝග බලයක් නිර්මාණය කරමින් චන්ද්‍රයා ද පුරපක්ෂයේ බලවත්ව දික්බලයෙන් යුතුව සිව්වැන්නේම සිටී. ඒ අනුව දහමට ලැදි පෙර පින මතුවන ග්‍රහයෝග බලයක් නිර්මාණය වූ අතර ධර්මකර්මාධිපති යෝග බලයකින් කියවෙන පුණ්‍යවන්ත භාවයද ධර්මයට ලැදියාවකින් කටයුතු කිරීම ද සමාජයේ පිළිගත් චරිතයක් බවට පත්වීම ද දේශ දේශාන්තරවල පතල නාමයක් ඇති වීමද උගත් නිහතමානී බව ද මේ අනුව නිරායාසයෙන්ම මතුවී ඇත. ජීවිතය හා ග්‍රහයෝ පොත ලියූ හෙට්ටිගොඩ මහතා විසින් එම කෘතියෙහි 310 වන පිටුවේ දක්වා ඇති පරිදි රවි සඳු බුධ සෙනසුරු නැමැති චතුර්ග්‍රහ යෝග බලයෙන් ඉහත කී ධර්මකර්මාධිපති යෝග බලය තවත් ඔපවත් වී නිරාමිශ පී‍්‍රතිය භුක්ති විඳිමින් දහමට ඇලුම් කරමින් අමරපුර මහා නිකායේ මහානායක තනතුර මෙන්ම අග්ග මහා පණ්ඩිත තනතුර ආදි උසස් සම්මාන තනතුරුවලින් පුද ලැබීම ද උන්වහන්සේ තුළ මහා පුණ්‍ය ශක්තියක් මතු කළහ.

තුලා ලග්නයට රාජ ග්‍රහයෙක් වූ සෙනසුරු සස යෝග බලයෙන් සිවුවැන්නේ බලවත් වීම ද එම සෙනසුරු මකර රාශියෙහි මෙසේ බලවත් වීමෙන් ශ්‍රී කාන්ති නැමැති යෝග බලයෙන් විද්‍යමාන වේ. ශනි, මකර තුළ බලවත්ව සිටින අතර දහවැන්නාධිපති වූ සඳු එම සෙනසුරුට සංයෝග වීමෙන් කාහල නැමැති විශේෂ යෝග බලයක් ද මෙම ජන්ම පත්‍රයේ නිර්මාණය වී ඇත. එම යෝග බලයට අනුව කාහල නාදයකින් ධර්මශ්‍රවණය කරන කොයි කාගෙත් සිත්සතන් තමන්වහන්සේ වෙතට අවනත කර ගනිමින් සදහම් දේශනා කිරීමේ හැකියාවක් උන්වහන්සේ තුළ පැවතුණි.

කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ නම ඇසූ පමණින්ම දහම් පිපාසාවෙන් සිටින බොහෝ දෙනා සියලු වැඩකටයුතු අතහැර එම දහම් රසය වින්දනය කළහ. ආගම් භේදයකින් තොරව ගිහි පැවිදි භේදයකින් තොරව මුලුමහත් සමාජයම උන්වහන්සේට නතු වූහ. තවත් අපූරු සිදුවීමක් වන්නේ කාලසර්ප යෝගය නැමැති අශුභ ග්‍රහ යෝගය අකාමකා දමමින් උන්වහන්සේගේ එම දිවිපෙවෙත බැබළීමයි. කාලසර්ප යෝගයෙන් උදාසීනත්වයට පත්ව සිටින ඕනෑම අයකුට අභීතව එම යෝගයට මුහුණ දී ජීවිතය ජයගෙන සසර ජයගත හැකි බව අපට කියාදුන් මහනාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව මතුවන පළමුවන ජන්ම දිනය නව වසර 26 වන දිනට උදාවේ. සදා මතකයේ රැදෙන මහනායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව පතමු.

 

කළිකාල ඡ්‍යෝතිර්විද්‍යා පණ්ඩිත

උඩදුම්බර මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක

කුඹල්ගමුවේ ධම්මාලංකාර නාහිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.