උඳුවප් පොහොයෙන් ඇරැඹුණ සිරිපා වන්දනා සමය

දෙසැම්බර් 24, 2021

සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වූ සමනොළ කන්ද රක්ෂිතය සුන්දරත්වයේ චමත්කාරය කියාපාමින් සිවු දෙසට ගලා බස්නා මහවැලි, කැලණි, වලවේ හා කළු ගංගා මෙන්ම මිහිදුම් සළු මැදින් ගලා හැලෙන මනා කැති ඌරා දියඇල්ල ලක්ෂපාන මෙන්ම ඇබර්ඩීන් දියඇලි ද ඒ චමත්කාරයේ සුන්දරත්වය තවතවත් ඔප් නංවමින් සමනොළ අඩවියේ පිහිටි සබරගමු කන්දට විශේෂිත වූ සමන්තකූඨ පර්වතයේ පිහිටි ශී‍්‍ර පාද ස්ථානය නුවරඑළිය, රත්නපුරය හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට මැදිව පිහිටා ඇති හෙක්ටයාර් විසි දෙදහස් තුන්සිය අනූවක් පුරා පැතිරී ඇති මනහර අභයභූමියකි.

සොයාගැනීම

ඓතිහාසික තොරතුරුවලට අනුව නිශ්ශංකමල්ල රජ දවස ශ්‍රී පාදස්ථානය සොයාගත් බව පැවසේ. රජුට අයත් රාජකීය මල් උයනේ මල් කිසියම් කොටෙකු විසින් සොරාගෙන යන බව රජුට දැනගන්නට ලැබිණ. සොරා අල්ලා ගැනීමට උයන් පාලකයන් කොතෙකුත් උත්සාහ දරුවත් ඉන් පලක් නොවීය. මේ නිසා මල් සොරාගන්නා සොරු අල්ලා ගැනීමට කොටකු යොදවන ලදී. කොටා නොනිදා මල් උයන රැකගෙන සිටියදී දිව්‍යාංගනාවක් පැමිණ මල් කඩා ගෙන යන බව දුටුවේය. දිව්‍යාංගනාව ගිය මග මල් වැටී තිබෙනු දුටු කොටා ඒ මග ඔස්සේ යාමෙන් නතරවූයේ සමනොළකන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානයෙහිය. එහිදී කොටා මහත් පුදුමයට පත්වූයේ මල්වලින් ශ්‍රී පාදස්ථානය පුදබිමේ සිටි දිව්‍යාංගනාව දැකීමෙනි.

එමෙන්ම තවත් පුරා වෘත්තියක සඳහන්ව ඇත්තේ වළගම්බා රජ දවස මෙම පූජනීය ස්ථානය සොයාගත් බවය. පරසතුරු උවදුර නිසා සැඟවී ගිය රජු මහ කැලෑවෙහි යමින් සිටියදී මුවකු දැක ලුහුබැද ඉදිරියට යමින් සිටියදී ශ්‍රීපාදස්ථානය දැක ඇති බවයි. එමෙන්ම පොළොන්නරුවේ රජකළ පළමුවන විජයබාහු රජ ශ්‍රී පාදයට යන මාර්ගය සුද්ධ පවිත්‍රකොට පුද පූජා පවත්වා උතුම් පූජනීය ස්ථානයක් බවට පත්කර ඇති අතර මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සමන් දේවාලය සදා ශ්‍රීපාදස්ථානය දියුණුකිරීමට කටයුතු කරන ලදී.

සමනොළ පව්ව

සිරිපා කඳුවැටිය, දේවකදට, සමනොළ ගිර, සමන්තකූට, ශ්‍රී පාදකන්ද, සමනල ගවුව ශ්‍රීපාදස්ථානය ආදී නම්වලින් හඳුන්වනු ලබන ශ්‍රීපාද අඩවියට නුවරඑළිය රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට මැදිව පිහිටා අත. එමෙන්ම ශ්‍රීපාද ස්ථානය වන්දනා කිරීමට මාර්ග තුනක්ම ඇත. රත්නපුර පලාබද්ද සිට ඇති මාර්ගය රජකාලයේ සිටම පැවතෙන්නකි. කුරුවිට එරත්න හරහා තවත් මාර්ගයකි. හැටන් නල්ලතන්නියේ සිට තවත් මාර්ගයකි. කෙසේ වෙතත් ශ්‍රී පාදස්ථානයට කොළඹ සිට සැතපුම් 90 දුර ප්‍රමාණයක් ඇත.

වන්දනා සමය

ශී‍්‍ර පාද වන්දනා සමය මාස හයක් පුරා පැවැත්වේ. සෑම වසරකම සිරිපා සමය ආරම්භවන්නේ උදුවප් පොහොය දිනෙනි. එය වෙසක් පොහොය දක්වාම පැවැත්වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට ශී‍්‍ර සමන්දේව ප්‍රතිමාව ශ්‍රී පාද මළුවට වැඩමකරන්නේ උදුවප් පෝ දිනට පෙරදිනය. එය රිය පෙරහරකින් නල්ලතන්නිය දක්වා වැඩම කරති. ඉන් අනතුරුව සමන්දේව ප්‍රතිමාව සහිත පෙරහර නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරති. ඉන් අනතුරුව උඳුවප් පොහොය සමඟ සිරිපා වන්දනා සමය ඇරඹේ.

ඇරයුම

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේදී මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ කැලණියට වැඩම කරවන ලදී. එහිදී සුමන සමන් දෙවි රජුගේ ඇරයුමෙන් මහරහතන් වහන්සේලා ද පිරිවරා ගෙන සමනල කඳු මුදුනට වැඩිය සේක. එම කඳුමුදුනෙහි වූ ඉන්ද්‍රනීල මාණික්‍ය මත වම් සිරිපා සටහන තබනු ලැබුවේ සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදිය. එ වැඩි සමන්තකූට වර්ණාවෙහිද සඳහන් වේ.

සුරරද සමන් සමගින් සුරඟන එවර

පැහැනද මදාරා පරසතු මල් පතර

කර පුද වදින රැඳි මුණි සිරිපා තඹර

සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙන හිර

පුරා මාසයක්ම බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්වන ශ්‍රී පාදස්ථානය ඉදිරි මාස හයේදී දෙව්බඹුන්ගේ වන්දනා මානයට ලක්වන ලොව එකම පුදබිම් බව පොතපතේ ද සඳහන්ව ඇත. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර හෝර්ටන්තැන්නට මායිම්ව පිහිටා ඇති සමනල අඩවියේ දැකුම්කළු මනහර ස්ථාන රැසකි. සීත ගඟුල, හැරමිටිපාන, ඉඳිකටුපාන, ලිහිණිහෙළ, අහස්ගවුව, ගිලීමලේ, මහගිරිදඹේ යන ස්ථාන මෙහි ඓතිහාසිකත්වය තව තවත් ඔප්නංවයි.

හිරු උදාව

ශ්‍රී ලංකාවේ හිරු උදාව ඉතා හොඳින් දර්ශනය වන ස්ථානයකි. ශ්‍රීපාද මළුව සූර්ය දිව්‍ය රාජයා සිරිපතුළ නැමදීම ඉරසේවය බවට ද විශ්වාසයේ පවතී. සුමන සමන් දෙවියන් පරසතු මලින් පිදූ ශ්‍රීපාදය නැමදීමට ලැබීනම් මහා පිනකි. අතීතයේදී ශ්‍රීපාදය වඳින්නට ගියාය. බැතිමතුන් (නඩේ) එය මහත් භක්තියෙන් හා දැඩි විශ්වාසයෙන් ඉටුකරනු ලැබීය. අද ඒ තත්ත්වය කෙමෙන් කෙමෙන් තුරන්ව යෑම නිසා සිදුවන අනතුරු මෙන්ම රෝගාබාධ ද වැඩිවී ඇත. එදා වන්දනාකරුවන් එහි පැවතිය යුතු චාරිත්‍ර විධි අනුගමනය කරමින් දෙවියන්ගේ පිහිට පැතූහ.

හැසිරීමෙන් වැඩිහිටියන්ට කීකරුවීමෙන් හා නඩේ ගුරුට අවනත වීමෙන් පමණක් නොව වැරදි වචන වලින් පවා කට වරද්දා නොගැනීමට පරෙස්සම් වූහ. ඒ නිසා වන්දනා කරුවන් සිරිපා කරුණා කළේ තුන්සරණේ කවි ගායනා කරමිනි. වඳින්න යන මේ නඩේට සුමන සමන්දෙවි පිහිටයි. නැගල බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි .නගින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. බුද්ධං සරණේ සිරස නමාගෙන වඳින්න යන මේ නඩේට හැම දෙවියන්ගේ සරණයි. යනුවෙන් සිරිපා මළුවට ගියේ චිත්තපී‍්‍රතියෙන් මහත් භක්තියෙන් යුතුවය. පළමුවරට ශ්‍රී පාද වන්දනාවට එක්වන අය සහභාගිවූයේ කණ්ඩායමේ නායකයාගේ උපදෙස් රකිමින් යටහත් පහත්වයකිනි. එම වන්දනා නඩේට සහභාගිවන වැඩිහිටියන් පළමුවරට සිරිපා වන්දනා කරන අයකු නම් ඔහු හැඳින්වූයේ දඬු කෝඩු නමිනි. තරුණයකු හෝ තරුණියකු පළමුවරට වන්දනාවට සහභාගිවන්නේ නම් ඔහු හෝ ඇය කෝඩු නමින්ද දරුවන් කිරිකෝඩු නමින්ද හැඳින්වූහ. මේ හැම දෙනාම නඩේ සමඟ ගියේ සියලු චාරිත්‍ර අනුගමනය කරමිනි. නඩේගුරු නිතරම සඳහන් කළේ කට වරද්දා නොගෙන යන ලෙසයි. එදා ඒ තරම්ම සුමන දෙවියන්ගේ අඩවිය කෙරෙහි දැක්වූයේ දැඩි කැපවීමක් හා විශ්වාසයකි.

අදත් ශ්‍රී පාද වන්දනා කිරීම සියලු වන්දනා කරුවන් නල්ලතන්නියේදී දෙහි කෑල්ලක් ඇඟේ ගා සීත ගඟුලෙන් දියනා පිරිසිදු වීම ප්‍රධාන කාර්යයකි. එසේ සෝදාපවිත්‍රව පේවී පිරුවට සුදු ඇඳුමෙන් සැරසී යන නඩේ මල් පහන් සුවඳ දුම්දී බුදුන් වහන්සේ වැඳ පුදා ශ්‍රීපාද මළුව කරුණා කෙරේ. ඒ අතර ඉඳිකටුපානේදී කෝඩුකාරයන් විසින් නූල් බෝලයක් ගෙන නූලක ඉදිකටුවකට දමා නූල අවසාන වනතෙක් ශ්‍රීපාද කඳු මුදුනට රැගෙන යති. එම නූලෙන් ගෙත්තම්පානේදී ගසක ඔතා දෙවි පිහිට පතා යෑම සිරිතකි.

ගෙත්තම් පානට ගොසින් බසින්නේ

ගෙත්තම් කරලයි සමහරු යන්නේ

ඉඳිකටු නූලුත් සුරතට ගන්නේ

ගෙත්තන්කර දෙවිඳුට පින්දෙන්නේ

ගෙත්තම් පානෙන් පසු හැරමිටිපානට ළඟාවෙන නඩයේ කෝඩුකරුවන් අවට ගස්වලින් කෝටුකපාගෙන හැරමිටි මෙන් වන්දනා කරුවන් අතර සිටින වැඩිහිටියන්ට ලබාදෙයි. එසේ හැරමිටි ලබාදීමෙන් ඔවුන් ළඟා වන්නේ මහගිරි දඹටයි. මහගිරිදඹයෙන් යන්නේ ඇහැලකණුවටයි. ඉන් අනතුරුව සියලු බලාපොරොත්තු සපලකරමින් උඩමළුවට පැමිණේ. උඩ මළුවේදී සියලු පුදපූජා පවත්වමින් සිරිපා පද්මයට වැඳ නමස්කාර කරති.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

සටහන මාධ්‍යවේදී එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.