දෙතොල්වලින් පැවසෙන ගති ගුණ මෙන්න

දෙසැම්බර් 3, 2021

සිනහ පාමින් මුහුණු එළිය කරවීමටත් හඬාවැලපෙමින් මුහුණු මලානික කරවීමටත් කෝපයෙන් වියරුවැටී මුහුණූ අඳුරු කරවීමටත් මුහුණේ පෙනුම ලක්ෂණ හෝ අවලක්ෂණ කරවීමටත් මූලික වන දෙතොල්වල පිහිටීම, ස්වභාවය වැනි ලක්ෂණ අනුව ඒ ඒ අයගේ ගති ගුණ චරිත ලක්ෂණ පිළිබඳව දේහ ලක්ෂණ විද්‍යාවේ ධ්වනි මුඛ විද්‍යාව යනුවෙන් වෙනම ම පරිච්ඡේදයක් වෙන්කොට දෙතොල හා මුඛ්‍ය පිළිබඳ කරුණු දක්වා තිබේ.

සත්වයන් අතර මිනිසාගේ දෙතොල් පිහිටා ඇති ස්වභාවය සුවිශේෂය. එම නිසා මිනිසුන්ට අන් සත්වයන්ට වඩා විවිධ ශබ්ද උච්චාරණය කිරීමේ හැකියාව ලැබී ඇත. එම නිසා පුරාණයේ ධ්වනි මුඛ විද්‍යාව යනුවෙන් අනාවැකි කීමේ ශාස්ත්‍රීය ක්‍රමවේද පැවතිණි. කුම්භ ඝෝෂකයාගේ කථාව මෙයට හොඳ නිදසුනකි.

අපේ රටේ මෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ පද්‍ය මෙන්ම ගද්‍ය සාහිත්‍ය රචනා තුළ දෙතොල් නා දළු, රතු නෙළුම් පෙති, මානෙල් පෙති, කැකිරි පළු, උපමා කොට තොල්වල අලංකාරයත්, කජුලෙලි, පොල්ලෙලි, ගොරක ලෙලි, ආදීය උපමා කොට තොල්වල අවලක්ෂණත් වර්ණනා කොට ඇත.

ප්‍රලම්භඞ පරුෂා කාරඞ – ස්ඵුටිතො මාංස වර්ජිතඞ

දෞභාගජතකො ඥෙයඞ – කෘෂ්ණා වෛධ්‍යශූචකඞ

යනුවෙන් භාව කුතුහලයේ යටිතොල රළුව එල්ලෙන්නාක් වැනිව මස් රහිතව පිහිටීම පින් නැති දුර්භාග්‍යවන්ත පිහිටීමක් බව කියයි.

එසේම පොල්ලෙල්ලක් මෙන් පුළුල් වූද රළු වූද තොල් සඟලක් පිහිටීම විචාර බුද්ධියෙන් තොර වදන් පවසන විවිධ ගැටලුවලට මුහුණපාන සීමාව ඉක්මවා කටයුතු කිරීමට යාමෙන් අප්‍රසාදයට භාජනය වන්නෝ බව කියවේ. තොල්පෙතිවල දිග දෑගුල් භාගයක් හෙවත් අඟල් 2 1/2කට වඩා අඟල් තුන ඉක්මවා දිගුවීමද අසුබය. එවන් අයගේ ශබ්ද ස්වරය ගොරහැඬිය. සමාජයේ අවඥාවට ලක්වෙති.

මාන්නාධිකය, බොරුකීමට නොපැකිලෙයි. එසේම මුහුණේ සාමාන්‍ය ස්වරූපය විකෘති කරවයි. යක්ෂ, රාක්ෂ ආදීන්ගේ මුහුණුවල තොල් දිගට මහත්ව චිත්‍ර මූර්ති වලින් මවා පාන්නේ ඒ තුළින් ඔවුන්ගේ කෲර මෘග ගති ගුණ පිළිබිඹු කිරීමට ය.

මනාකොට මෘදුතොල් සඟලක් පිහිටියේ නම් බොහෝ ඇසූපිරූ තැන් ඇති සහජ බුද්ධියක් ඇති යමක් කී පමණින් වටහා ගන්නා අය වෙති. එවන් අය තුළ දයාව, කරුණාව, ආදී මෘදු ගති ගුණ පවතී.

කලාකාමී අයගේ තොල් සඟල සිහින්ව මෘදුව පිහිටන අතර, එවන්අයට නොදන්නා දේවල් වුවද දන්නා අයවලුන් සේ කටයුතු කිරීමේ හැකියාව පවතී. එසේම අනුරාගී සිතිවිලි ඇති අය වෙති.

සිනිඳුවූද රත්පැහැයෙන් යුතු වූද තොල්සඟලක් පිහිටීම බොහෝ දෙනාගේ ආදර ගෞරවයට බඳුන්වන පොදු කටයුතු වලට කැමැති සමාජශීලි ගති ලක්ෂණ ඇත්තෝ වෙති.

එකක් අනෙකාට වඩා පළල් වූ ඝන තොල් පිහිටීම අකාරුණික ගතිලක්ෂණයකි. පටු අදහස් ඇති එවැන්නෝ ගරුකළ යුත්තන්ට ගරු නොකරයි. කෝපයෙන් උමතුවෙයි.

දෙතොල් මෘදුව කුඩාවට දෑගුල් භාගයක් පමණ පිහිටීම යුක්තියටත්, සාධාරණයටත් ගරුකරන බොහෝ බුද්ධිමතුන් ඇසුරු කරන්නාවූ සමාජයේ ගරු බුහුමනට පාත්‍රවන කාරුණික අවංක අය වෙති. එවන් අයගේ වදන් ඉතා මිහිරි වෙති. අන්‍යයන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත්ය.

දෙතොල් මත තල පියල්ලක් බඳු කුඩා තිතක් බදු ලපයක් පවතී නම් එවන් අය තම සහකරු හෝ සහකාරිය සමඟ කිරිපැණිමෙන් රසවත් ජීවිතයක් ගත කරයි. එසේම උඳු, මුං පියල්ලක් බඳු ලපයක් පිහිටියේ නම් අනුරාගී ගති පැවතුම් ඇති ගෞරව ප්‍රශංසා මෙන්ම නින්දා අපහාසද මිදීමට සිදුවන අතර, පි‍්‍රයමනාප සමාජශීලි අයවලුන් වෙති.

දෙතොල් ආශි‍්‍රතව තරමක් විශාල ඝණව රෝමකූප සහිතව කිණිතුල්ලන් බඳුවූ ලප ඉන්නන් තොල් ආශි‍්‍රතව පිහිටීම අසුබ ලක්ෂණයකි. වැන්දඹූ වීම, ඥාතීන්ගෙන් උදව් උපකාර නොලැබීම ආදි ව්‍යසනවලට භාජනය වීමේ ලක්ෂණයක් ලෙස දැක්වේ.

උපතින්ම යටිතොලේ හෝ උඩුතොලේ කොටසක් නොවැඩි ඉපදෙන්නෝ සිටිති. බොහෝ විට එසේ ඉපදීමට හේතු වන්නේ පූර්ව ජන්ම වලදී කරන ලද අකුසල කර්ම විපාක දීමක් වශයෙන්ය. පෙර ආත්ම වලදී මුඛයට හානි වනසේ සතුන්ගේ ජීවිත හානි කිරීම, බිලී බෑම, හක්ක පටස් වැනි ක්‍රම භාවිතා කිරීමෙන් සතුන් මැරීම වැනි ක්‍රම මෙයට හේතු වේ. එවන් අයට වචන උච්චාරණය කරණ විටදී එම ශබ්දය නාසයෙන්ද පිටවන නිසා මුක්කමා යනාදි උසුළු විසුළු නම් ද පට බැඳේ.

දේහලක්ෂණ විද්‍යාව, මුඛධ්වණි විද්‍යාව අනුව කෙනෙකුගේ තොල්වල පිහිටීම,දිග පළල ගති ලක්ෂණ අනුව සුබ අසුබ පල පිහිටියද යමෙකුගේ ශරීරය මොනතරම් අවලක්ෂණ වුවත් ඔවුන්ගේ ගතිගුණ යහපත් නම් එවන් අය ශ්‍රේෂ්ඨ වෙති. පෙර කරන ලද අකුලස කර්ම හේතුවෙන් එසේ වුවද මේ උපන් භවයේදී ඒ බව තේරුම්ගෙන පිරිසුදු ගුණදහමින් පිරිපුන් වන්නේ නම් මතු ආත්ම භාව වලදී රූමත්ව ඉපදෙනු ඇත. කුස රජතුමාගේ පෙනුම රකුසෙකුගේ බඳු වුවද රූමත් පබාවතී කුමරිය එතුමාගේ ගුණවත් බව දක්ෂ බව දැනගත්විට පැහැදීමට පත්වූවාක් මෙන්ම දේහලක්ෂණයට අනුව අවලක්ෂණයට පත්වූවන්ට ද ඒවා ගැන පසුතැවීමට පත්වන්නේ නැතුව ගුණවත්විය යුතුය.

ඡ්‍යොතිෂවේදී සුමනදාස වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.