සුබපල උදාවන ලෙස ගේට්ටුව තබමු

මාර්තු 24, 2023

 

නිවෙසට සුබඵල ලැබෙන්නට නම් අනිවාර්යයෙන්ම ගේට්ටුව සුබ පාදයක තැබිය යුතු අතර, මෙසේ තබන ගේට්ටුව නිවෙස් ඉදිරිපසින් තැබිය යුතුයි. නිවෙසේ ඉදිරිපස ලෙස හඳුන්වන්නේ නිවෙසේ ප්‍රධාන උළුවස්ස තබා ඇති දිශාවයි. ගේට්ටුව නිවෙසක පිටුපස (පෑළ දොර) තැබීම ඉතාම අසුබදායකයි.

 

එමඟින් නිවෙසේ දියුණුවට මෙන්ම පවුලේ සමඟියට බාධා කරයි. නිතර ණය වීම වැඩිකරන අතර, නිවෙස අහිමිවීමට ද හේතු ඇති කරයි. මේ අනුව බලනවිට ගේට්ටුවක් තැබීමට සුදුසුම දිශාව වනුයේ නිවෙසේ ඉදිරි දිශාවයි.

ගේට්ටුවේ පාද බෙදීම

ගේට්ටුව සවිකර ගැනීමේදී පාද බෙදා ගන්නා වාස්තු විද්‍යාත්මක ක්‍රම දෙකක් ඇත.

1. දිශා අනුව පාද බෙදීම

2. ග්‍රහයන් අනුව පාද බෙදීම

ඉඩමේ ප්‍රමාණයට ගැළපෙන ක්‍රමයක් අනුගමනය කර නිවෙසේ ඉදිරිපස පාද බෙදාගෙන ගේට්ටුව සවිකර ගත හැකිය. මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට පාද බෙදා ගත්තත් නිවෙසට පිටුපා මිදුලේ සිටගෙන වම් අත පැත්තේ සිට පාද බෙදාගන්න.

කුඩා ඉඩමක් නම්

 

කුඩා ඉඩමක් නම් සුබපාදයක ගේට්ටුව තැබීම අසීරු කරුණක් වේ. මෙවැනි අවස්ථාවල ඒ සඳහා විකල්පයක් වශයෙන් ගේට්ටුවට හසුවන සුබ පාදයේ ඉඩ ප්‍රමාණය මූලික කරගෙන ගේට්ටුව සවිකරගත යුතුය. ගේට්ටුවේ ඉතිරි කොටසක් අසුබ පාදයකට හසුවී නම්, වැඩිපුර කොටසක් සුබපාදයකට හසුවී ඇති බැවින් දෝෂ අවම වේ. නිතර ගමන් බිමන් යාම සඳහා භාවිත කළ යුත්තේ සුබපාදයේ පිහිටි කොටසයි.

දිශා අනුව පාද බෙදීම

 

නැඟෙනහිර දිශාවේ ගේට්ටුව තබන්නේ නම් එම දිශාව සමාන කොටස් 8කට බෙදා, ඊසානයෙන් පටන් ගෙන පළමු කොටස හැර 2,3 කොටස්වලට ගේට්ටුව තබන්න.

 

බටහිර දිශාව

 

බටහිර දිශාවට ගේට්ටුව තබන්නේ නම්, එම දිශාවද කොටස් 8කට බෙදා, නිරිත දිශාවේ මුල් කොටස් තුන හැර, ඊළඟ කොටස් දෙක ඇතුළත් කර ගේට්ටුව තබන්න.

දකුණු දිශාව

 

දකුණු දිශාවට ගේට්ටුව තබන්නේ නම් එම දිශාවද කොටස් 8කට බෙදා ගෙන, ගිනිකොණ පැත්තේ සිට 1- 2 කොටස්වලට හසුවන සේ ගේට්ටුව තබන්න. ඊට පසු යෙදෙන 4 වන කොටසද සුබදායක වන අතර, ඊට පසු ඇති කොටස්වල ගේට්ටුව තැබීමෙන් අසුබඵල අත්කරයි.

උතුරු දිශාව

 

උතුරු දිශාවට ගේට්ටුව තබන්නේ නම්, එම දිශාවද කොටස් හතරකට බෙදා වෙන්කර වයඹ දිශාවේ සිට 1,2 පාද අතහැර 3,4 පාදවලට ගේට්ටුව තැබීම සුබදායකයි.

ග්‍රහයන් අනුව පාද බෙදීම

 

ග්‍රහයන් අනුව පාද බෙදා ගැනීමේදී, ගේට්ටුව තබන දිශාව කොටස් 9කට බෙදා ගන්න. එම කොටස් 9 ග්‍රහයන් 9 දෙනාට වෙන්කර ගත යුතුය. ඒ ඒ පාදවලට ගේට්ටුව තැබීමෙන් ඇතිවන යහපත් හා අයහපත් ප්‍රතිඵල මෙසේය.

රවිගේ පාදය

 

මෙම පාදයෙන් ගේට්ටුව තැබීම අසුබදායකයි. නිවැසියන්ගේ සෞඛ්‍යය තත්ත්වයට බාධා ඇති කරන අතර, ඥාති විරෝධතා, ධන හානි, පවුලේ ගැටුම් ආදියට හේතු ඇතිකරයි.

සඳුගේ පාදය

 

සුබඵල උදාකරන පිහිටීමක් වන අතර, ධනය ලැබීම, යහපත් වන අතර, නිවැසියන් කීර්ති, ප්‍රශංසාවලට ලක්වී යහපත් සමාජ තත්ත්වයක් ඇතිව ජීවත්වීමට අවස්ථාව උදාකරයි.

කුජගේ පාදය

 

අසුබ ඵලදායකයි. බලාපොරොත්තු කඩවන අතර, ඉඩකඩම් ආදියේ ගැටලු මතු කරයි. හදිසි අනතුරු ධනහානි ආදියට ලක්වීමට ද ඉඩ ඇත.

බුධගේ පාදය

 

මෙම පාදයෙන්ද ගේට්ටුව තැබීම අසුබදායක වන අතර, නිවැසියන්ට මානසික ආතතිය, අවනම්බු, සිත්තැවුල් මෙන්ම ස්නායුගත ආබාධ වැනි දෙයට මුහුණපෑමට සිදුවන අතර, නිවෙසේ ජීවත්වන අය කෙරෙහි අන් අයගේ අප්‍රසාදය ඇතිවීමට හේතු ඇතිකරයි.

ගුරුගේ පාදය

 

ඉතාම සුබඵලදායක පාදයක් වන අතර, නිවැසියන්ට සාමය, සතුට ගෙන දෙන අතර, නිවෙසට පැමිණෙන අයට මෙම නිවෙස ඉතාම පි‍්‍රයජනක ස්ථානයක් වනු ඇත. සමාජයේ ඉහළ තනතුරු ලැබීමට ද භාග්‍ය උදාකරයි.

සිකුරුගේ පාදය

 

මෙයද ඉතා සුබදායක පාදයකි. ධනය ලැබීමට මෙන්ම, කීර්ති ප්‍රශංසා ලැබීමටද නිතර සිතේ සතුටින් සොම්නසින් ජීවත්වීමට හැකියාව ලැබේ. ඉඩකඩම්, යානවාහන ලැබීමටද හේතු ඇතිකරයි.

සෙනසුරුගේ පාදය

 

අසුබඵලදායක වන අතර, නිවැසියන්ට නිතර සිත්තැවුලින් ජීවත්වීමට සිදුවේ.

රාහුගේ පාදය

 

මෙයද අසුබදායක පාදයකි. ධන හානි මෙන්ම, කීර්තියට ද හානි පැමිණෙන අතර, නිවැසියන්ට නොසිතූ ගැටලුවලට මුහුණපෑමට සිදුවෙයි.

කේතුගේ පාදය

 

නිවැසියන් කම්මැළි කරවන අතර, රැකියා කරදර, ලෙඩදුක් ඇතිවීම මෙන්ම දියුණුවට බාධා ඇතිවන අන්දමේ කටයුතුවලට මුහුණපෑමට සිදුවෙයි.

 

වාස්තු විද්‍යාවේදී වාස්තු විද්‍යා උපදේශක

සුනිල් කුමාර වත්තගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.