නිරෝගී දිවියකට බලපාන වාස්තු

සැප්තැම්බර් 6, 2024

තම තමන්ගේ ශාරීරික මානසික සෞඛ්‍යය පිළිබඳව බොහෝ අයගේ අවධානය ඇති වන්නේ විසඳාගත නොහැකි මට්ටමට තත්ත්වය බරපතළ වූ විටයි. අපගේ පරික්ෂාවට ලක් වූ බොහෝ එවැනි නිවාසවල සුලබ අත්දැකීම් රැසක් මෙහිදී අපගේ අවධානයට ලක් වේ. පොදුවේ මිදුලක්, උද්‍යානයක් නොමැති මහල් නිවාසවල ජීවිත බොහෝ විට මෙවැනි බරපතළ තත්ත්වයකට පත්වන බව දැක තිබේ. මානසික වියවුල්වලින් පටන්ගෙන ශාරීරික ව්‍යාධීන්ගෙන් ජීවිතය කෙළවර කර ගන්නා මේ ඛේදනීය අවස්ථාවන් කෙසේ හෝ වළකා ගැනීමට අප වෑයම් කළ යුත්තේ කවර දේ තිබුණ ද මෙවැනි අභාග්‍යකින් සියල්ල කෙළවර වන බැවිනි.

සමහර නිවැසියනට පොදුවේ එකම ආකාරයෙන් රෝග වැලඳීම වැනි සාධකවලින් වාස්තු වැනි දෝෂ තත්ත්වයන් පවත්නා බවට ඉඟි හඳුනාගත හැකියි. එවැනි අවස්ථාවකදී ව්‍යාධියේ ස්වභාවය නිවසේ දෝෂ තත්ත්වයට ගළපා ගැනීම අවශ්‍ය වෙයි.

නිතර සෙම් රෝග හට ගන්නේ නම් නිවෙසේ මධ්‍යයත් ඊශාන දිශාවත් පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. පිත් රෝග හට ගන්නේ නම් මධ්‍යය හා ගිනිකොන දෝෂ තත්ත්වයන් විමසිය යුතු වේ. වියපත් තත්ත්වයකට පත් නොවන්නට පෙර වාත රෝග හට ගන්නේ නම් නිරිතේ හා වයඹේ දෝෂ වළකා ගත යුතු වේ.

නිවහන ආශ්‍රයේ විවිධ ගහකොළ නිසි ලෙස ස්ථානගත කොට ඇති විට රෝගී වීම බොහෝ සෙයින් අඩුවන බව අප වටහා ගත යුතු වේ. එහිදී කවර ශාක කවර දිශාවනට උචිත වේ දැයි දැන එය සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. දැවැන්ත භාවිතයක් ඇති වත්මන් ජීවිතයනට උචිතම එක් ක්‍රමයක් වන්නේ තාප්පවල තැබිය හැකි ශාක භාවිතය වැඩි කිරීමයි. එවිට කුඩා වපසරියක ජීවත් වන්නකුට වුව ඉතා යහපත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් හිමිකර ගැනීමට අපහසු නොවනු ඇත. විශේෂයෙන් තුල්සි, කෝමාරිකා වැනි ශාක භාවිතය මේ තත්ත්වය වඩ වඩාත් යහපත් කරනු ඇත.

ලුණු භාවිතය නිවෙසක ශක්තිමය පවිත්‍රතාවයට අතිශයින් ඉවහල් වෙයි. නිවෙසේ පොළොව පිරිසුදු කිරීමෙන් අනතුරුව එක් වරක් හෝ ලවණ සහිත ජලයෙන්ද සෝදා හැරීම මහත් ප්‍රතිපල ගෙන එන බව විශේෂයෙන් සටහන් කළ යුතුයි. මේ සඳහා මුහුදු ලුණු උචිත වූවත් වඩා ප්‍රතිපල ගෙන එනුයේ රෝස පැහැති පාෂාණ පධජඬඵචතබ බව ලවණ අපගේ නිරන්තර අත්දැකීමයි.

ජලය බහුලව භාවිතයට ගැනීම පවිත්‍රතාවට හේතු විය හැකි වුවත් පිරිසුදු ජලය නිවෙසින් බැහැර වීම ශුභ ශක්තීන් ඉවතට ගලා යෑමට හේතු වන බව අපි ගැඹුරින් වටහා ගත යුතු වෙමු. මේ තත්ත්වය වතුර නාස්තියක් ලෙස පෙන්වා හෝ නිවැසියන්ගේ ජල පරිහරණ ක්‍රමවේද විධිමත් කිරීම පිළිබඳව අවධාරණය කළ යුතු බව මීට පෙර ද අපි ගැඹුරින් සාකච්ඡා කර ඇත්තෙමු.

ආහාර ගබඩා කරන ආකාරය පිළිබඳවද අපගේ අවධානය යොමු විය යුතු යි. විෂබීජ ඇතුළුවීම පිළිබඳ සැලකිල්ල ඇති බොහෝ දෙනා ඒවායේ ශක්තිමය භාවිතය පිළිබඳව නොදැනීම මෙහිදී නිරතුරු වියවුල් ඇති කරයි. ආලෝකය හා වාතාශ්‍රය සහිත ස්ථානවල ආහාර ගබඩා කිරීමෙන් ශුභ ශක්තීන් ඒවායේ තැන්පත් වන අතර අශුභ ශක්තීන් බැහැර වීම ද සිදුවේ. අවම වශයෙන් ආලෝකය හෝ ලැබෙන පරිදි වීදුරු ආවරණයක් හෝ යොදා ආහාර ගබඩා කිරීම අත්‍යවශ්‍ය බව සැලකිය යුතු වේ. අඳුරු හා වාතාශ්‍රය අඩු තැන්වල ගබඩා කළ ආහාර භාවිතය සියුම් ශක්තිමය විසක් එක් කර ගැනීමක් ලෙස සැලකිය යුතු වේ.

එසේම වයඹ වැනි දිශාවන් වෙනුවට මුළුතැන්ගෙය ආසන්නයේ නිරිත කොටසට ආසන්නව ආහාර ගබඩා කිරීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සඳහා අවශ්‍ය ශක්තිමය බලපෑම පහසුවෙන් ලබා දෙනු ඇත.

හින්දුන්ගේ පූජනීය ස්ථානවල නිරන්තරයෙන් කපුරු දැල්වීම සිදු කෙරේ. මෙය ශක්තිමය වශයෙන් යහපත් ප්‍රතිපල ගෙන එන්නකි. කපුරු වාෂ්පයත් සමඟ පරිසරයේ ඇති කරන සියුම් උණුසුම අවකාශයේ පවිත්‍රතාව නිරතුරු ඇති කරයි. දැල්වෙන අඟුරු මතට කපුරු පෙති කීපයක් හෙළා නිවෙස පුරා ගෙන යෑමෙන් මෙකී අවකාශයේ පවිත්‍රතාව පහසුවෙන් ඇතිකර ගත හැකි වනු ඇත.

නිවෙසක බඩු භාණ්ඩ භාවිතයේ දී පිළිවෙළක් කොට තැබීමද අත්‍යවශ්‍ය කරුණකි. හතරැස් හැඩැති ගෘහ භාණ්ඩ නිවෙසේ බිත්තිවලට සමාන්තරව හෝ ලම්භකව හෝ සම ආනතියකින් (අංශක 45කින්) හෝ තැබීම මෙහිදී අතිශයින් යහපත් ප්‍රතිපල ලබා දෙයි. මඳක් ඇල කොට භාණ්ඩ රැඳවීම නිවෙසෙන් ඉවතට සුබ ශක්තිය පාලනය හේතු වේ.

එසේම භාණ්ඩ රැසක් අතොරක් නැතිව රැඳවීම අතිශයින් අයහපත් ප්‍රතිපල ගෙන එයි. එක් භාණ්ඩයක් අනෙක් භාණ්ඩයෙන් මඳක් හෝ ඈත් කර තැබීම, බිත්තිවලට හේත්තු නොකර තැබීම අතිශයින් වැදගත් වේ. එවැනි අවශ්‍යතාවයක් ඇත්නම් ඒවා බිත්තියට සවිකොට තැබීම කළ යුතුම වේ. එවිට එය ශුභ හෝ අශුභ ශක්ති පාලනයක් නොකරන බැවින් ගැටලු ඇති නොවේ.

අල්මාරි පෙට්ටගම් ආදිය ඇතුළතින් දරා සිටින භාණ්ඩවල ප්‍රමාණය වැඩිවීම බාහිරයට බලපාන්නේ අඩුවෙන් බැවින් හැකිතාක් අවුල් සහගත දේ වැසිය හැකි දෙයකට ඇතුළත් කොට තැබීම අත්‍යවශ්‍ය වේ.

මානසික සෞඛ්‍යයට පීඩා කරන කිසිදු රූපයක් නිවෙසේ රැඳවීම නොකළ යුතුයි. බිඳුණු බඳුන්, පෞරාණික පෙනුමක් ලබාදෙන භාණ්ඩ දුක හඟවන චිත්‍ර, මැරුණු ගස් ආදිය සාලයෙන් ඇතුළතට ගෙන නොයා යුතු අතර නිදන කාමරයට ආසන්නයේවත් තැන්පත් නොකළ යුතු වේ. මේවායේ බලපෑම ශාරීරික සෞඛ්‍යය බිඳ වැටීම දක්වා වැඩී යෑමට වැඩි කාලයක් නොගන්නා බව ද අවධාරණය කළ යුතු වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.