ධනය රඳවන වාස්තු ඉඟි 8ක්

අගෝස්තු 30, 2024

ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේද ප්‍රවර්ධනයත් නාස්තිය අවම කර ගැනීමත් මූලික වශයෙන් ධනවත් බවට රුකුල් දෙයි. නව සාර්ථක ආයෝජන වෙත යොමුවීම මෙහි දිගුවක්ද වෙයි. මෙය සරල කරුණක් සේ පෙන්විය හැකි වෙතත් සමාජයේ ක්‍රියාවට නැඟීම අතිශය සංකීර්ණ වූ ක්‍රියාවලියකි. මේ සඳහා වාස්තු සිද්ධාන්ත ඇසුරින් ලද හැකි සහාය මෙහිදී අවධාරණය කෙරේ.

වාස්තු ශාස්ත්‍රය දිශාවන් මත පදනම් වන ශාස්ත්‍රයක් බැවින් පළමු කොට නිවැරැදි ලෙස දිශා අට හඳුනාගත හැකි විය යුතු වේ. එක් දිශාවකට අංශක 45 බැගින් වෙන් වන අතර ඒවායේ විවිධ අනන්‍යාතවන් දැන සිටීම වාස්තු ඉඟි වටහාගැනීමට වැදගත් වේ.

මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ඊශාන දිශාවත්, උතුර හා නැඟෙනහිර දිශාවනුත් සලකා පවත්වා ගත යුතු විශේෂ පිළිවෙත් සමුදායයි. ඒ අනුව මේ දිශාවන් ඉතා හොඳින් පිරිසුදු කොට, නිරවුල් කොට යම් රටාවකට අනුකූලව සකස් කර තැබීම අත්‍යවශ්‍ය වේ.

1. ඉඩමේත් නිවෙසේත් වෙන වෙනම සලකා ඊශානය ප්‍රධාන නැඟෙනහිර, උතුරු හැකිතාක් විවෘතව උස්ගස්, වදුලු සහිත ගස් නොමැතිව දොර කවුළු හැකිතාක් විශාලව පිහිටීම ආදායම ශක්තිමත් විමට මහත් සේ බලපායි. මේ තත්ත්වය වඩාත් සාර්ථක කර ගැනීමට විවිධ ශුභ සංකේත මේ දිශාවන් තුනෙහි පිහිටුවීම සිදු කරනු ලැබේ. මෙහිදී ඊශානයට පිරමිඩ නවයක් පොළොවේ වැළලීමෙන්ද වැඩි අන්තරීක්ෂ (ඛ්ධඵථඪජ) ශක්ති ප්‍රමාණයක් නිවස තුළට ඇද ගනිමින් වඩා යහපත් ආදායම් මාර්ග සලසාගත හැකිය.

2. මුදල් තැන්පත් කර තැබීමට උතුරු දිශාවද යොදා ගත හැකි වුවත්, අත්දැකීම් මෙන්ම සිද්ධාන්ත ද සියුම්ව සලකා බැලීමේ දී සේප්පු ආදිය රැඳවීමට උචිතම දිශාව වන්නේ නිරිත දිශාවයි. පොදුවේ වාස්තු ශාස්ත්‍රයේදී ප්‍රධාන නිදන කාමරය පිහිටුවනු ලබන්නේ නිරිතේ බැවින් නිදන කාමරයේ කොටසකම සේප්පු ආදිය පිහිටුවිය හැකිය. එසේම නිරිතේ තබන ලද සේප්පු ආදියේ දොරවල පියන් විවෘත විය යුත්තේ ඊශාන, උතුර හා නැඟෙනහිර දිශාවට වන අතර ඒ සඳහා දකුණ, බස්නාහිර, නිරිත දිශාවේ පිහිටි බිත්තිවලට ළං වන සේ මූල්‍යමය තැන්පතු පිහිටුවීම කළ යුතු වේ.

3. පොදුවේ නිවසේ සියලු දිශාවන් පිළිවෙළක් සහිතව භාණ්ඩ බහුලව රැඳවීම නොකොට තබා ගැනීමත් අතිශයින් වැදගත් වේ. අපිරිසුදු තැන් නිවෙසක බහුලවීම බලපතළ ආර්ථික බිඳ වැටීමකට හේතුවන්නට පුළුවන. එසේම තෙත් ගතිය අවම කොට හිරු එළිය හොඳින් නිවෙසට ගෙන ඒමෙන්ද අභ්‍යන්තර ශුභ ශක්තීන් බලවත් වේ.

4. පිටතින් නිවෙසට ඇතුළුවීම සඳහා යොදා ඇති දොරවල් ආදිය පිළිබඳ විශේෂ සැලකිල්ලක් ඇති කර ගත යුතු වේ. ඉරී තැලී හානි වී අලුත්වැඩියා කළ යුතු මට්ටමේ දොරවල් ඉක්මනින් ඉවත් කළ යුතු වේ. ඒවාට යොදා ඇති දොරගුළු ද පහසුවෙන් සුමට ලෙස ක්‍රියාත්මක වන පරිදි ලිහිසි තෙල් යොදා හොඳින් නඩත්තු කළ යුතු වේ. විවෘතවීමේදී බාධාකාරී හඬ නැංවීමක් සිදු නොවන පරිදි දොරවල් මැනැවින් නඩත්තු කිරීම බලවත් අවශ්‍යතාවයක් වී තිබේ.

5. ශුභ ප්‍රතිඵල ගෙන එන පැළ වර්ග දොරවල් අවට පොච්චි උපකාරයෙන් හෝ පිහිටුවීමත් සුළං බාධාවක් නොවන පරිදි විවෘත භාවයක් දොරවල් අවට තිබිමත් අවශ්‍ය වේ.

6. ඊශාන දිශාවේ පොළොවේ ජලය රඳවා තැබීමට පහසු තැන් පිහිටුවීම අතිශයින් වැදගත් වේ. එවිට නිවෙස වෙත ගලා එන අන්තරීක්ෂ ශක්තියේ තීව්‍රතාව වඩාත් වැඩි වේ. එසේ වුවත් ඊශානයේ ඉහළ ජල ටැංකි පිහිටුවීම උචිත නොවේ. එවිට නිවෙස වෙත ගලා එන ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ඉහළ ජල ටැංකියේ ජලයට උරා ගැනීම නිවැසියනට පාඩු ඇති කරයි. මේ තත්ත්වය කල් යෑමේ දී බරපතළ රෝගී තත්ත්වය හා දෝෂ තත්ත්ව උදා කරන බව අවධාරණය කළ යුතු වේ.

7. නිවෙස ඇතුළත ජල සැපයුම් පිළිබඳවද විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු වේ. කරාමවලින් ජලය කාන්දුවීම හා අනවශ්‍ය ලෙස ජලය බැහැරට ගලා යෑම සිදු නොවිය යුත්තකි. නිවසෙන් ජලය ඉවතට ගලා යෑම මුදල් නාස්තියක් බැවින් මෙවැනි අදහසක් පැවසේ යැයි යමකු සිතන්නට පුළුවන. එවැනි සරල අර්ථයක් මෙයින් අදහස් නොවේ.

ජලය යනු නිරතුරු අන්තරීක්ෂ ශක්තිය උරා රඳවා ගන්නා දෙයකි. එබැවින් ඒ හරහා ශක්තිය ගමන් කිරීමෙන් නිවසට ලැබෙන ශක්තිය අපතේ යෑමක් සිදුවේ. එසේ කාන්දු වී ඉවතට යන සියලු ජල මූලාශ්‍ර විසින් ශක්ති ගැන්වී ඇති ජලය බැහිරවීම සිදුවීම යනු ශක්තියද නිවෙසින් බැහැරට ගලා යෑමක් වේ. එබැවින් ශක්තිය ක්ෂය වන ආකාරයට ජල කාන්දුවීම් වහා අලුත්වැඩියා කළ යුතු වේ.

8. කිසිදු හේතුවක් මත නිරිත දිශාවට වැසිකිළියක් හෝ මුළුතැන්ගෙය හෝ තබා නොගත යුතු වේ. එසේ තිබුණහොත් මුදල් නාස්ති වී ණය බරට පත්විය හැකියි. එබැවින් නිරිත දිශාව යහපත්ව, බලවත්ව පවත්වා ගැනීමද ධනවත්වීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කාගේත් අවධානයට යොමු විය යුතු වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.