වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඉඩම් කට්ටිවලින් වැඩි වාසි ගෙනෙන වාස්තු
යම් නිවැසියකු තම ජීවිත කාලය ඇතුළත බොහෝ කටයුතු සිදුකරන හා සැලසුම් කරන නිවෙසේ වාස්තු තත්ත්වයේ ඇති වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කරදීමක් අවශ්‍ය නොවේ. එසේ වුවත් උක්ත නිවෙසේ වාස්තු තත්ත්වයේ අයහපත් බවට නිරන්තරයෙන් බලපානු ලබන්නේ නිවැසියාගේ සීමාවෙන් පිටත පවත්නා කරුණු බව අප පළමුව වටහා ගත යුතු වේ.
මෙහිදී සිය ආර්ථික තත්ත්වයක් හා එවැනි පෞද්ගලික සීමාවේ කරුණුවලට අමතරව බලපාන බොහෝ කරුණුවලට පදනමක් ඇති කරනුයේ නිවෙස ඉඩම ආදියට අදාළ වන අන්‍ය ශිල්පීන් බව වටහා ගැනීමෙන් සැබෑ ගැටලුවලට පිවිසුමක් ගොඩනංවාගත හැකියි.
ඉඩමක් පදිංචිය සඳහා වෙන් කිරීමේ කාර්යයට මුල් වන්නේ මිනින්දෝරු වෘත්තිකයාය. යම් විශාල ඉඩමක් කැබැලිකර විකිණීමකදී එහි සමස්ත සැලසුම මුල් අයිතිකරුගේ අවශ්‍යතාවන් අනුව සැලසුම් කිරීමේ විශේෂ අධිකාරි වෘත්තික බලයක් මිනින්දෝරුවනට හිමි වේ. එබැවින් මිනින්දෝරුවා තම වෘත්තියට මේ වන විට ඍජුවම බලපා ඇති නීති රීති හා භාවිත මෙවලම් උක්ත ඉඩම් කට්ටිවල පදිංචි වන්නන් හෝ ජීවිත පිළිබඳ අවධානයක් හා ඒ සඳහා අවශ්‍ය වන මූලික දැනුමවත් ඇත්තේ නම් එය අතිශයින් ප්‍රතිඵලදායක වේ. මිනින්දෝරුවා විසින් ඉඩම අයත්වන ආගන්තුක ආයතනයේ කොන්දේසි අනුව පොදු කටයුතු සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හා ඉඩම් සඳහා වන ප්‍රවේශ මාර්ගයනට අයත් වන ඉඩම් ප්‍රමාණය (දළ වශයෙන්) වෙන් කර ගත් පසු කොපමණ බිම් කොටස් ප්‍රමාණයක් කොපමණ වපසරිවලින් යුතුව වෙන් කළ හැකි දැයි දළ අවබෝධයක් ඇතිකර ගනු ඇත. මේ අවස්ථාවේදී මිනින්දෝරු තැනට වාස්තු පිළිබඳ සරල දැනුමක් හෝ තිබුණේ නම් එකී වෙන් කළ ඉඩම් ඉතා පහසුවෙන් අලෙවි කර ගැනීමටත් පදිංචි වූවන්ගේ ජීවිත වඩාත් සාර්ථක වීමටත් හේතු වන බව වටහා ගත හැකියි.
මෙවැනි යහපත් ඉඩම් කැබැලි කර විකිණීමකදී මිනින්දෝරු තැන විසින් දත යුතු වාස්තු සිද්ධාන්ත මොනවාදැයි දැන් විමසා බලමු.
1. ඉඩම් කැබැලිවල නිසි දිශා ගැන්වීම
මේ සඳහා මිනින්දෝරුවා විසින් මුළු ඉඩමේම දිශාවන් පිළිබඳ මනා වටහා ගැනීමක් පළමුව ඇතිකර ගත යුතු වේ. එයින් අනතුරුව අනුදිශාවනට බෙදී යන ඉඩම් කට්ටිය පොදු කටයුතු සඳහා වෙන්කර ගත යුතු වේ. එයින් පසු ඉඩම් කැබැලිවල පිවිසුම් මාර්ග යෙදීමේදී හැකිතාක් ප්‍රධාන දිශාවන් ඔස්සේ එය සිදු කළ යුතු වේ. එවිට ඉබේම ඉඩම් කැබලි ද මාර්ගයට සමාන්තරව ප්‍රධාන දිශා ගැන්වෙනු ඇත. එසේ වූ විට වාස්තු විෂයය ගණන් නොගන්නා නිවැසියකුගේ නිවෙස පවා නිවැරදි ප්‍රතිඵලදායක ලෙස ඉබේම දිශා ගැන්වෙනු ඇත.
සෑම විටම කැබලි කිරීම සඳහා තැනිතලා ඉඩම් ප්‍රමාණය නොලැබෙන බැවින් බෑවුම්හි පවත්නා දිශාවන් පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ. නිදසුනක් ලෙස කිසියම් ඉඩමක නිරිත කොටස ඉතා පහතින් පිහිටා තිබේ නම් විශේෂ ඉඩම් සංවර්ධනයක් නොකළේ නම් ඉඩම් වෙන්දේසියෙන් එතරම් ලාභයක් හිමි නොවනවා පමණක් නොව එහි පදිංචි වූවනටද එතරම් යහපත් ජීවන තත්ත්වයක් හිමි කර ගත හැකි තත්ත්වයක් ඇති නොවේ. මෙය මුලින්ම හඳුනාගෙන මිනින්දෝරුමය වාස්තු පිළියමක් නොකළහොත් ඇති වන්නේ අසාර්ථකත්වයකි.
අපගේ උපදෙස් ලබාගෙන ඉඩම් කැබලි කරනු ලැබූ මිනින්දෝරුවන්ගේ හා ඉඩම් හිමියන්ගේ අත්දැකීම් අනුව සරල ක්‍රියාමාර්ග කීපයකින් මූල්‍යමය අලාභයක්ද සිදු නොකර ගනිමින් වඩා යහපත් අවසානයක් කරා එය ගෙන යා හැකිබව වටහා ගත හැකියි. නිදසුනක් ඇසුරින් මෙය තවදුරටත් පැහැදිලි කළහොත් පහතින් පිහිටි නිරිත කොටසත් ඇතුළත් වන පරිදි මාර්ගයකින් ඉඩම් කට්ටිය වෙන් කර පොදු කටයුතු වෙත යොමු කිරීමෙන් උක්ත දෝෂය සෑහෙන දුරට ඉවත් කළ හැකියි. (එයින් අනතුරුව වාස්තු පිරිමිඩ ඇසුරෙන් එය සපුරා වෙන්කර දැමීම තවදුරටත් සිදුකළ හැකියි.)
2. මුළු ඉඩම කොටස් කිරීමේදී හැඩතල සලකා බැලීම
සම්ප්‍රදායිකව කවර වාස්තුමය ඉඩම් හැඩ තැබූවත් සාමාන්‍යයෙන් චතුරාස්‍රාකාර ඉඩම් කැණීම බහුලව සිදු වේ. එහිදී සමහර ඉඩම් මායිම් ඍජුකෝණී හැඩ නොමැතිවීම අපි ඕනෑතරම් දැක ඇත. විටෙක එක් මුල්ලක් අංශක 90 ට වැඩිව ඇති අතර අනෙක් කෙළවරත් නිසැකවම අංශක 90කට වඩා අඩු වනු ඇත. මෙහිදී ඉඩම් කට්ටියක ඊශාන කෙළවර අංශක 90ට වඩා අඩුවීමක් නිරිත කෙළවර අංශක 90ක් හෝ ඊට මදක් වැඩිවීම වාස්තු විෂයට අනුව උචිතම ආකාරයයි. නොඑසේම නිරිත දිශාවේ ඉඩම් මුලු අංශක 90ට වඩා අඩුකර ගැනීම නිසා ඒ ඉඩම් කැබැලිවල සාර්ථකත්වය මහත් සේ අඩු වන බව අපගේ අත්දැකීමයි.
මේ විශේෂ හේතුව සලකා ඉඩම් කොටස් කිරීමේදී වාස්තු විද්‍යානුකූල දැනුම සහිතව මිනින්දෝරුවන් විසින් ඉඩම්වල නිසි හැඩතල සහිතව එය සිදු කළ යුතු වේ.
3. මාර්ග යෙදීමේදී දිශානතිය සලකා බැලීම
මෙයට අමතරව අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග මෙවැනි ඉඩම් කැබලි කිරීමකට ඇතුළත් කිරීමේදීද හැකිතාක් දුරට නිවැරැදි දිශා යොදා ගැනීම අවශ්‍ය වේ. මෙහිදි මාර්ගයකට එක් ඉඩමක් නැඟෙනහිරින් පිහිටියේ නම් එහි අනෙක් පැත්තේ බස්නාහිරින් පිහිටන බව සරලව වටහා ගත හැකියි. එවැනි අවස්ථාවකදී කළ යුත්තේ මාර්ගයට නැඟෙනහිරින් පිහිටි ඉඩම මාර්ගයට පහතින් හා මාර්ගයට බස්නාහිරින් පිහිටි ඉඩම මාර්ගයට ඉහළින් යෙදීමයි. මෙසේ උස් පහත් ලෙස ඉඩම් හා මාර්ග සංවර්ධනය කිරීමෙන් ඉඩම් දෙකෙහිම ගැටලු විසඳාගත හැකිය.
එසේම යම් අතුරු මඟකට උතුරින් පිහිටි ඉඩම මාර්ගයට පහළින් හා අතුරු මාර්ගයට දකුණින් පිහිටි ඉඩම මාර්ගයට ඉහළින් පිහිටන පරිදි ඉඩම සංවර්ධනය සිදු කළ යුතු වේ.
මෙවැනි සැලසුම් සහගත ඉඩම් කැබැලි කිරීමක් විධිමත්ව සිදුකර ගත හැකි වුවහොත් එහි කැබලි පහසුවෙන් අලෙවි වීමත්, එවායේ පදිංචි වන භවතුනගේ ජීවන තත්ත්වය වඩාත් ශක්තිමත්ව ගොඩනැඟෙන බවත් වාස්තු විද්‍යානුකූලව තවදුරටත් පැහැදිළි කළ හැකියි.සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න