වාස්තු දෝෂ නැති විසිත්ත කාමරයක්

අගෝස්තු 2, 2024

නිවෙසට පිවිසීම සිදුවන්නේ වැරැන්ඩාව හරහා හෝ එසේ නොමැතිව විසිත්තකාමරයට හෙවත් සාලයටයි. එසේම නිවෙසක අභ්‍යන්තරයේ ඇති විවෘතම ස්ථානය බවට පත් වන්නේ සාලයයි. සාලය භාවිත කරනුයේ නිවැසියන් පමණක් නොව අමුත්තන් ද වන බැවින් විවෘත භාවයට අලංකාරයක් ද එක් කිරීමට සිදු වේ. එසේම නිරන්තරයෙන් බාහිරෙන් විවිධ බඩුබාහිරාදිය රැස් වන ස්ථානයක් වීම නිසා නිරතුරු කෙරෙන අස්පස් කිරීම් ද සිදු වන ස්ථානයක් ලෙස අපට මෙකී සාලය වටහාගත හැකියි.

ගෘහ සැලසුම පැත්තෙන් බැලීමේ දී නිවෙසක බොහෝ ගෘහ අංග සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇත්තේ ද සාලයටයි. මේ බොහෝ කරුණු නිසා සාලය අනෙකුත් ගෘහ අංගයනටත් වඩා විවිධ පැතිමානයන් අනුව විග්‍රහ කර පිහිටුවීම කළ යුත්තකි.

පුරාතන වාස්තු ශාස්ත්‍රයේදීත් උතුර හෝ නැඟෙනහිර දිශාවන් සාලයක් පිහිටුවීම සඳහා සුදුසු යැයි සැලකේ. නූතන වාස්තු විද්‍යාව අනුව නම් නිශ්චිත වශයෙන්ම උතුර, ඊශාන, නැඟෙනහිර දිශාවනට සාලය පිහිටුවීමේ වැදගත්කම බටහිර විද්‍යාත්මකව ද පැහැදිලි කොට තිබේ. ඒ අනුව අන්තරීක්ෂ ශක්තිය නිවසට පහසුවෙන් ලැබී අනෙකුත් ගෘහ අංග වෙත ද මැනවින් පිවිසී සමස්ත නිවසේම අන්තරීක්ෂ (ජධඵථඪජ) ශක්තිය තීව්‍රතාව (ඛ්ධඵථඪජ ඡ්දඥපඨර ධ්දබඥදඵඪබර) බලවත්වීම සිදුවේ.

ඒ අයුරින්ම අන්තරීක්ෂ ශක්තිය පහසුවෙන් නිවෙසින් බැහැරවීමට බලපාන නිරිත හෝ ඒ ආශි‍්‍රත දිශාවන් (දකුණ හෝ බස්නාහිර) සාලයක් පිහිටුවීම නොකළ යුතුම වේ.

සාලයේ දිශා ගැන්වීම අනුව සැලකීමේදීත් අන්තරීක්ෂ ශක්තිය වැඩිවැඩියෙන් නිවෙසට ගෙන්වා ගැනීමේ අදහස අනුවත් නිවෙසට පිවිසෙන ප්‍රධාන දොර පිහිටුවීමට ද සුදුසු වන්නේ ඉහත කී පරිදිම උතුර, ඊශාන, නැඟෙනහිර දිශාවන්ම බව මේ අනුව වටහාගත හැකියි.

බාහිර පුද්ගලයන් සමඟ කතාබහේදී මෙන්ම ගනුදෙනු කිරීමේදීත් සාලය කොටසේ ගෘහ මූලිකයන්ගේ අසුන් පිහිටුවිය යුත්තේ නිරිත දිශාවට බර වන පරිදිය. එහිදී ගෘහමූලිකයා බලා සිටිය යුතු දිශාව වන්නේද ඊශාන හෝ ඒ ආශි‍්‍රත දිශාවක් (උතුර හෝ නැඟෙනහිර) බව ද මෙහිදී වටහාගත යුතු වේ. එසේ වීමෙන් ඔහුගේ ශක්ති ශරීරය වෙත අන්තරීක්ෂ ශක්තිය වැඩි වැඩියෙන් ලැබී එය බලවත් වීම සිදුවේ. ශක්ති ශරීරය බලවත්වීම නිසා සාර්ථක ක්‍රියාකාරීත්වයක් ගෘහ මූලිකයාට හිමි වේ.

නිවෙසට නැතහොත් සාලයට යමෙකු පිවිසීමේ දී ඒ අවට නෙත් වදින ස්ථානයන් සුබ සංකේතවලින් අලංකාර කිරීමත් මෙහිදී බොහෝ ශිල්පීන් විසින් සිදු කරනු ලැබේ. ඒ අතර පිළිම, පී‍්‍රතිය දනවන කලා කෘති ආදියට වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම උචිත වේ.

එසේම සාලයේ පිහිටා ඇති ජනේල ආදියට යෙදිය යුතු වන්නේ දුහුල් තුනී තිර රෙදි බව ද මෙහිදී අප විසින් අවධාරණය කළ යුතු වේ.

සාලයට අවශ්‍ය ගෘහ භාණ්ඩ තේරීමේ දී හැකිතාක් බරෙන් අඩු සැහැල්ලු ඒවා යොදා ගැනීමත් භාණ්ඩ ප්‍රමාණය හැකිතාක් අවම කිරීමත් ඉතා සැලකිල්ලෙන් කළ යුතු වේ. තෝරා ගත් භාණ්ඩ අතරින් සැහැල්ලු, උසින් අඩු ඒවා ඊශාන, උතුර, නැඟෙනහිර දිශාවන්හි පිහිටුවීමටත් සාලයේ මැද සිට බැලීමේ දී නිරිත දිශාවට උසැති බරැති ගෘහ භාණ්ඩ යෙදීමත් සිදු කළ යුතු වේ.

සාලය හා සාලයට වන පිවිසුම හැමවිටම විවෘත මෙන්ම ආලෝකවත් වීම අවශ්‍ය වේ. ස්වාභාවික ආලෝකයට යම් බාධාවක් තිබේ නම් කෘත්‍රිම ආලෝකය හෝ යෙදීම අත්‍යවශ්‍ය වේ. අඳුරු අහුමුළු නොපිහිටන පරිදි සාලයේ බඩුබාහිරාදිය තැබීම ද අප විසින් විධිමත්ව සිදු කළ යුතුම වේ. මේ සඳහා අඩු ගෘහ භාණ්ඩ පිහිටුවීමක් සිදුවීම අවශ්‍ය බව පැවැසිය යුතුයි.

වයඹ දිශාවට ද සාලයක් පිහිටුවිය හැකි වෙතත් අමුත්තන් නිවෙසේ රැඳීම ඉතා අඩු වන බවත් නොසන්සුන් ගතියකින් නිවසින් ඇළලී යනු නිසැකයි. භාණ්ඩ අලෙවියක් සිය නිවසේම සිදු කරන්නෙකුට නම් සාලය වයෙඹි පිහිටුවීම වාසිදායකයි.

සාලයේ බිත්ති ආදියේ සායම් තැවරීමේ දී විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ හැකිතාක් සුදු හෝ ඉතා පැහැපත් වර්ණයක් යොදා ගැනීමයි. වෙනත් වර්ණයකට නිවැසියන් රුචි කරන්නේ නම් එහිදී ඉතා ළා පැහැයක් වෙත ඔවුන් යොමු කළ යුතු වේ.

සාලයට පිවිසෙන තැන හෝ සාලයේ පිවිසුම් දොර ආසන්නයේ පාවහන් තැබීම උචිත නොවේ. පාවහන් තැබීමට රාක්කයක් වැනි යමක් යොදන්නේ නම් එයද උසින් අඩු එකක් විය යුතු වේ.

සාලයේ විදුලිය භාවිතය අඩු විය යුතු වුවත් විදුලි පංකා ආදිය භාවිතයේ වරදක් නොවේ. විදුලි මෙවලම් සඳහා වැඩි බලයක් සහිත වූ විටකදී සාලයේ උතුර, ඊශාන, නැඟෙනහිර කොටස් ඒවායෙන් හැකිතාක් නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

බාහිර පුද්ගලයන්ගේ පැමිණීම නිසා සාලය නිරන්තරයෙන් ශක්තීන් සහිත වන බව වටහා ගෙන හැකිතාක් ඒවා ඉවත් කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ. ඒ සඳහා සාලයේ පොළොව සේදීමේ දී ලවණ මිශ්‍ර කිරීම දෙහි මිශ්‍ර කිරීම, ආදිය ද ප්‍රතිඵලදායක වේ. කෙසේ වෙතත් සාලයේ පවිත්‍රතාව පිළිබඳව දක්වන සැලකිල්ල නිවැසියන්ගේ මනස නිරවුල් වීම කෙරෙහි තදින් බලපාන බව ද කිය යුතු වේ.

 

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.