කෑම බීම හිඟයක් නැති කෑම කාමරයක්

අගෝස්තු 9, 2024

 

කෑම කාමරය යනු අපේ රටේ කලකට පෙර තරමක් විශාල නිවාසවල පැවති ගෘහ අංගයකි. අද එය කෑම ගැනීම සඳහා විවෘතව පවත්නා අවකාශයක් බවට පත්ව තිබේ. එබැවින් සමහරුන් මෙයට කෑම සාලය ලෙසද හඳුන්වා දෙනු පෙනේ. බොහෝ නිවෙස්වල අද වන විට විසිත්ත කාමරය හෙවත් පොදු සාලයෙන් කොටසක්ම මෙයට වෙන්කර තිබීම ද ඊට හේතු වන්නට පුළුවන. තවත් සමහරු මුළුතැන්ගෙයින් කොටසක් කෑම ගැනීම සඳහා යොදා ගැනීමත් අද සුලභව දක්නට ලැබේ.

ඒ කෙසේ වෙතත් ගෘහ අංග අතර කෑම ගන්නා වපසරියට විශාල වටිනාකමක් ඇති බවද සැලකිය යුතු වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ ආහාර ගැනීමට අදාළ ශක්ති සංස්සරණ ක්‍රියාවලියේ ඇති සුවිශේෂත්වයයි. ඒ අනුව ඉතා යහපත් ශක්ති සංසරණයක් සිදු වන විවෘත අවකාශයක් උතුරු - ඊශාන - නැඟෙනහිර දිශාවන්හි පිහිටුවා ඇති නිවෙසක බස්නාහිර හෝ වයඹ දිශාවන් කෑම සාලයක් සඳහා වඩාත් උචිත වේ. එවැනි අවස්ථාවක මුළුතැන්ගෙය පිහිටුවීමේ උචිතම ස්ථාන දෙක වන ගිනිකොන හා වයඹ අතුරින් වයඹ යොදා ගැනීමේ යම් ප්‍රායෝගික තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ඒ අනුව වයඹ පිහිටුවනු ලැබූ මුළුතැන්ගෙය අනුව කෑම සාලය බස්නාහිරට හෝ වයඹට යෙදිය හැකියි.

කෑම සාලයක ප්‍රමුඛතාව හිමි වන්නේ එහි ඇති කෑම මේසයටයි. කෑම මේසයේ අක්ෂ හෙවත් දිශාගතවීම් නිවෙසේ ප්‍රධාන අක්ෂ සමඟ සමාන්තරව හෝ ලම්භකව විය යුතු වේ. එහිදී ගෘහ මූලිකයන් සඳහා කෑම මේසයේ ස්ථිර ස්ථානයක් තිබිය යුතු වේ. එය ඔවුන් මුහුණ දෙන දිශාව උතුර, ඊශාන, නැඟෙනහිර වන පරිදි විය යුතු වේ. මෙය නිවෙසේ එක්සත්භාවයට හේතු වන පරිදි සිදු කිරීමට නම් සියල්ලන්ම එකට අහාර ගැනීමද සිදු විය යුත්තක්ම වේ. අඩුම වශයෙන් එක් වේලක් හෝ එකට එක්ව අදාළ දිශාගත කිරීම් සහිතව සිදු කරන්නේ නම් මැනවි.

කෑම ගන්නා වපසරියේ වර්ණ යොදා ගැනීම අතිශයින්ම වැදගත් වේ. කෑම පිරිය ඇති කරවන මනෝ භාවයක් ඇති කරන උණුසුම් වුවත් සන්සුන් වර්ණ භාවිත කිරීම අවශ්‍ය වේ. කහ, තැඹිලි, දුඹුරු වැනි වර්ණ භාවිතයත්, ඒ වර්ණවලින් ස්වභාවිකව දක්නට ලැබෙන වර්ණත් මේ සඳහා යොදා ගත යුතු වේ. ප්‍රබෝධය අඩු කරවන අඳුරු වර්ණ භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු වේ. කෑම සාලයේ ආහාර හා ඍජු සම්බන්ධතා ඇති නොකරන බඩු භාණ්ඩවලින් සංකීර්ණ කර තැබිය යුතු නොවේ. ආහාර සැකසුම් මෙවලම් මෙහි තබා ඇත්නම් නිරන්තරයෙන් භාවිතයට ගෙන ආහාර හා ඒවායේ ඇති සබඳතා මතුකර ගත යුතු වේ.

පොදු සාලයේ කොටසක්ම ආහාර ගැනීමේ කටයුතු සඳහා යොදා නොගන්නා අවස්ථාවන්හිදී එකී ස්ථාන වෙත ශක්තිය පහසුවෙන් ළඟා විය හැකි පරිදි දොර, කවුළු ආදියෙන් විවෘත බවක් එක් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම ශක්තිය පිටවීම පිළිබඳව අවධානයක් සහිතව කවුළු ජනේල තිර ආදිය යෙදීම කළ යුතු වේ. එනම් කෑම සාලය වෙන්ම ගත්විට උතුර, ඊශාන, නැඟෙනහිර දිශාවන්ට කවුළු පිහිටුවීම කළ යුතු අතර දකුණ - නිරිත, බස්නාහිර දිශාවන්හි කුඩා කවුළු හා ඝන ජනෙල් තිර යොදා ගැනීම කළ යුතු වේ. පිරමිඩ ආදි ශුභ සංකේත පිහිටුවා හෝ එතැන ශක්තිය බලවත් කිරීමෙන් ආයුෂ, වර්ණය, සැපය, බලය, ශක්තිය බලවත් කිරීමෙන් ප්‍රඥාව ආදි බොහෝ යහපත් ප්‍රතිපල ළඟා කර ගත හැකි වනු ඇත.

කෑම සාලයකට ආලෝකයද අතිශයින්ම ප්‍රයෝජනවත් දෙයකි. දිවා කාලයේදී ස්වභාවික ආලෝකය වැඩි වැඩියෙන් භාවිතයට ගත හැකි වීමත්, රාත්‍රි කාලයේදී ලබා ගන්නා කෘත්‍රිම ආලෝකයත් පහසුවෙන් ලබා ගත හැකි පරිදි නිවෙසක් විදුලි බුබුළු ආදිය ස්ථානගත කළ යුතු වේ. කෘත්‍රිම සුදු ආලෝකය වෙනුවට ස්වභාවික උණුසුම් වර්ණයක් එකී බල්බ සඳහා යොදා ගතයුතු වේ. ආලෝක සම්පාදනයේදී හට ගන්නා විවිධ සෙවණැලි ආදිය පිළිබඳවද සිතා බලමින් ඒවා ඉවත්වන පරිදි ආලෝකය ලබා දීමද අතිශයින් වැදගත් වේ.

කෑම සාලයට යාබදව හෝ ඍජු ප්‍රවේශයක් සහිතව වැසිකිළි භාවිතය හානිකර වන බව විශේෂයෙන් සැලකිය යුතුයි. එසේම දැව (ලෑලි) යෙදු සොල්දර ගෙවල් භාවිත කිරිමේදී ඉහළින් හෝ පහළින්ද වැසිකිළි පිහිටුවීම වඩාත් හානිකර වන බව පැහැදිලි වී තිබේ. ආහාර වසා තැබීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හැකිතාක් වක්‍ර හැඩ සහිත නොවිය යුතු වේ. ඍජු හැඩතල සහිත මෙවලම් අනුව පිරමීඩාකාර උපකරණ වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමෙන් ක්‍රමවත් ශක්ති සංසරණයක් මෙන්ම ආහාර කල්තබා ගැනීමක්ද සිදුකර ගත හැකියි.

එබැවින් අලංකාරය හා භාවිතය පිළිබඳ කරුණු සේම වාස්තුමය ශක්ති සංසරණය පිළිබඳව අවධානය යොමු කිරීමෙන්ද මහත් ඵලදායි ගෘහ ජීවිතයක් හිමි කර ගත හැකියි.

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.