සුව සුබ නිදන කාමරයකට වාස්තු ඉඟි

ජූලි 26, 2024

නිවෙසක වාස්තු භාවිතයේ දී නිදන කාමරයට ප්‍රමුඛත්වයක් ලැබීමට හේතු ගණනාවක් බලපාන බව පෙනේ. ඒ අතරින් ජීවිතයේ වැඩිම කාලයක් රැඳී සිටින ස්ථානයක් වීමත්, ඉතා සන්සුන් කයක් හා මනසක් සහිතව ගත කරන ස්ථානයක් වීමත් ප්‍රමුඛ වේ. භෞතික ශාරීරික යෝග්‍යතාව මෙන්ම ශක්ති ශරීර ස්ථාවර භාවය සඳහා එබැවින් මේ ස්ථානය සුවිශේෂ එකකි. මේ සඳහා වාස්තු බොහෝ සෙයින් බලපානුයේ දීර්ඝ නින්දක් සඳහා යොදා ගන්නා ස්ථානය මෙය වන බැවිනි.

එසේම මෙහිදී භාවිතයට ගන්නා සයන (ඇඳවල්) අල්මාරි, පෙට්ටගම් ආදී බොහෝ දේ තැබිය යුතු ආකාරය අනුවද විවිධ ප්‍රතිඵල උදා විය හැකියි. එබැවින් අපි මෙතැන් සිට නිවෙසක නිදන කාමර පිහිටුවිය යුතු ආකාරයත්, නිදන කාමරයක් ඇතුළත බඩු භාණ්ඩ පිහිටුවිය යුතු ක්‍රමයත් පැහැදිලි කර ගනිමු.

පළමුව නිදන කාමර නිවසෙහි පිහිටුවීමේදී ගෘහ මූලිකයාගේ නිදන කාමරය නිරිතේ පිහිටුවීම උචිත වන අතර එසේ වී නම් අනෙක් නිදන කාමර දකුණට හෝ බස්නාහිරට යෙදීමේ වරදක් නැත. එසේ වුවත් අධ්‍යයන කටයුතුවල යෙදී සිටින භවතුන් ඊශාන දිශාවත් එසේම නැඟෙනහිර හෝ උතුරෙහි සිය නිදන කාමර පිහිටුවා ගැනීමේ වරදක් නැත. විවාහ අපේක්ෂක කාන්තාවන් හෝ විදේශගතවීමේ අපේක්ෂාවෙන් පසුවන භවතුන් සිය නිදන කාමරය වයඹ දිශාවේ පිහිටුවා ගැනීම ඉතාමත් විස්මිත ප්‍රතිඵල හිමිකර දෙයි. නිවෙසේ නිදන කාමර පිහිටුවීමේ දී දිශා සලකනු ලබන්නේ නිවෙසේ මධ්‍යයේ සිට බවත්, නිදන කාමරය ඇතුළත සියල්ල දිශාගත කරනුයේ නිදන කාමරයේ මැද සිට බවත් මෙහිදී අවධාරණය කළ යුතු වේ.

නිදන කාමරයේ ඇතුළත අත්‍යවශ්‍ය අංගය වන්නේ සයනය හෙවත් නිදන ඇඳයි. මෙහි හිස පැත්ත හැකි සෑම අවස්ථාවකදීම උතුරට දැමීමෙන් වැළකිය යුතු වේ. දිගු කලක් උතුරට හිස දමා සිටින්නා නිරන්තර කායික හා මානසික රෝගියකු බවට හෝ ජීවිතය අත්හැර සිටින්නකු බවට පත්වීම නිසැක වේ. ඇඳ නිර්මාණය කිරීමේ දී මූලික හතරැස් හැඩතල වෙනුවට වක්‍ර ආකාර ඇඳන් භාවිත නොකළ යුතුයි. අලංකාරය පිණිස ඇඳේ පත්ත ආදිය විවිධ හැඩ, කැටයම් ආදිය සඳහා භාවිත කළත් නිදා ගන්නා කොටස සපුරා හතරැස් හෝ ඍජුකෝණාශ්‍ර වීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

ඇඳක් තැනීමේ දී යකඩ භාවිතය අවම කළ යුතු වේ. සරල ඇණයක් වැනි යමක් මිස යකඩ දඬු ආදිය ඇඳේ යෙදීම නොකළ යුතු වේ. දැව භාවිතය ඇඳක් සඳහා වඩාත් උචිත අතර දිශා (ශරීරයට සමාන්තර) පාද සඳහා එකම කඳෙන් ගත් දැව එකම දිශාවට යොදා ගත හැකි නම් සයනය ශක්ති ශරීරය සමඟ මැනැවින් ඒකාත්මික වේ. ඇඳ පොලු වෙනුවට ඇඳ ලෑලි ඇතිරීමද ඇඳක ශක්ති චරණය විධිමත්ව සමාන්තරව සකස් වීමට සුළු වශයෙන් හෝ බලපායි. එහිදී භූ ව්‍යාධි (ට්ඡ්ර්‍ණර්‍ථඒඊඩ්ධ් ඉඊඅඡ්ඉඉ)තත්ත්වවල බලපෑම අවම කිරීමට හේතු වේ. ඇඳෙහි හිස පැත්තේ පත්ත බොහෝ උසින් වැඩිකොට අලංකාර කර ඇත්නම් කොට්ටය ඇඳ පත්තෙන් මඳක් මෑත් කර තැබීම උචිත වේ.

එසේම නිදන කාමරයේ ප්‍රධාන ගෘහ භාණ්ඩය වන ඇඳේ පිහිටීම සමඟ මැනැවින් ගැළපෙන පරිදි අනෙකුත් භාණ්ඩ පිහිටුවීම කළ යුතු වේ.

කැඩපත් (දර්පණ) ආදිය නිදන කාමරයකට තිබිය යුතු අංගයන් වුවත් ඒවා පිහිටුවිය යුතු වන්නේ උතුරු නැඟෙනහිර ඊශාන ආදී පැතිවල පවතින බිත්තිවල පමණි. එසේ කැඩපත් පිහිටුවීමේ දී වුවත් ඇඳේ සිටින්නකුට තමන් කැඩපතෙන් පෙනෙන පරිදි කැඩපත පිහිටුවීම නොකළ යුත්තකි.

ඇඳුම් අල්මාරි පෙට්ටගම් ආදිය නිදන කාමරයේ දකුණ, නිරිත, බස්නාහිර යන දිශාවන්හි යෙදීමේ හානියක් නැත. එසේම විවෘතව ඇඳුම් එල්ලීමේදීත් ඒ දිශාවන්ම භාවිතයට ගත යුතු වේ. හැකි සෑම අවස්ථාවකදිම කැඩපත් හැර අන් කිසිදු ගෘහ භාණ්ඩයක් උතුර, නැඟෙනහිර, ඊශාන පැත්තට නොදමන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. යෙදීමට අත්‍යවශ්‍ය වන්නේ නම් උසින් අඩු බරෙන් අඩු මේස, පුටු ආදී යමක් එවැනි දිශාවන් සඳහා යෙදීමේදී එතරම් හානියක් සිදු නොවේ. වහළේ හැඩයටම සිවිලිම යෙදීම වර්තමානයේත් බහුල කරුණක්ව තිබුණ ද නිදන කාමරවල සිවිලිම තිරස්ව තිබීම අත්‍යවශ්‍ය වේ. එසේම සිවිලිම හැකිතාක් උසින් පිහිටුවීම කළයුතු අතර නොහැකි අවස්ථාවලදී උපරිම වාතාශ්‍රයක් ලබාදීම අනිවාර්ය වේ. සිවිලිමට ළා වර්ණය යෝජිතයි.

අවධාරණය කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ කිසිදු හේතුවක් නිසා කාමරයේ ඊශාන දිශාවෙන් වැසිකිලියක් බද්ධ කර දොරවල් තැබිය යුතු නොවේ. උතුර හා නැඟෙනහිර ද වළකන්නේ නම් වඩාත් යහපත් වේ.

බැල්කනි යෙදීමේදී දකුණ නිරිත බස්නාහිර ඒ සඳහා යොදා නොගත යුතු වේ. විශේෂයෙන් ප්‍රධාන නිදන කාමරයට එවැනි දෝෂ ඇති කිරීම හානියක් වේ. වක්‍ර බැල්කනි කවර දිශාවකට වුව උචිත නොවන අතර ඒවා බිත්තියට සවිවන ස්ථානවලදී වත් සෘජුකෝණි (90) වන පරිදි මිස නොයෙදිය යුතු වේ. විද්‍යුතය වැනි ශක්ති ප්‍රභව ඇඳට ආසන්නයෙන් යෙදීම නොකළ යුතු අතර ස්විචයක් වැනි සුළු යමක් වුව ඇඳට වඩාත් ආසන්න නොකළ යුතුයි.

නිදන කාමරය සඳහා පොදුවේ ළා වර්ණ භාවිත කළ යුතු අතර සුදු, ළා නිල්, ළා රෝස වැනි පැහැයන් යෙදීම වඩාත් ශුභ අත්දැකීමක් හිමි කර දෙන බවද අවධාරණය කළ යුතු වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.