ශ්‍රියාව කැන්දන දොර ජනේල

අගෝස්තු 23, 2024

වාස්තු ශිල්පීන් බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන එහෙත් බරපතළ ප්‍රතිපල ගෙන නොඑන වාස්තු සාධක අතර දොරවල්, ජනේල කවුළු පිහිටුවීම දැක්විය හැකියි. එහෙත් සාම්ප්‍රදායික අර්ථයන් පසෙකට දමා මේවා පිළිබඳව විමසන්නකුට මේවායේ ද දැවැන්ත බලපෑමක් ඇති කරවන අවස්ථාවන් මැනැවින් වටහා ගත හැකියි.

ඉතා කෙටියෙන් දොරක් හා ජනේලයක් වෙන් කිරීම පිළිබඳව වටහා ගනිමු. බොහෝ දෙනා උළුවහු රාමුවක පහළින් දණ්ඩක් යොදා ඇත්තේ නම් එය ජනේලයක් ලෙස සිතීමට පුරුදු වී තිබේ. මේ අනුව සිතා බැලුවහොත් වලව් ආදි පැරණි ඉදිකිරීම් සියල්ලේම ඇත්තේ දොරවල් නොව ජනේල ලෙස තේරුම් ගැනීමට අපට සිදු වේ. පසුකාලීන ඉදිකිරිම්වල විවිධ අවශ්‍යතාවන් අනුව පහත දණ්ඩ ඉවත් වූ උළුවහු නිර්මාණය වීමත් සමඟ දොරවල් එසේ යැයි ලිහිල් සම්මතයක් ඇති වෙමින් පවතී. මෙය අප විසින් පටලවා ගත යුත්තක් නොවේ.

එසේ නම් දොරක් හා ජනේලයක් වෙන්කොට වටහා ගන්නේ කෙසේද? එහිදී නිශ්චිතව වටහා ගත යුතු ආකාරය වන්නේ පිටතට ඇරෙනුයේ ජනේලයක් හා ඇතුළතට ඇරෙනුයේ දොරක් වශයෙනි. එසේම මෙහිදී පියන් රහිතව පවත්නා අවස්ථාවන්හිදී එය සම්පූර්ණ වූ පසු තත්ත්වය සලකා බැලිය යුතු වේ. මෙයට අමතරව උළුවස්සක් දැවයෙන්ම වූ විට පමණක් එය උළුවස්සක් ලෙස සැලකීම ද වැරදි සහිත වූවකි. එහිදි අපට අතීතයේ පැවැති ගලින් කළ දොරටු පවා දොරවල් නොවේ යැයි සැලකීමට සිදුවේ. එහිදි උළුවස්සක් හඳුනා ගත යුත්තේ අදාළ කවුළුව පිහිටුවා ඇති තැන සකසා ඇති රාමුව බිත්ති සකස් කළ ද්‍රව්‍යයෙන් තනා දෙන්නේ නම් පමණි. රාමුවක් නොමැති නම් හෝ බිත්තිය තැනු ද්‍රව්‍යයන්ට රාමුවද තනා ඇත්නම් එය උළුවස්සක් ලෙස සැලකීමේ අර්ථයක් නැත. දැවයෙන් බිත්ති සැකසු විට පවා දැව උළුවහු සැලකිල්ලට ගත නොහැක්කේ එබැවිනි.

දොරවල් පිහිටුවීමේ පාද සටහන් 8,9,15 වශයෙන් විවිධ අවස්ථාවන්හි භාවිතයේ තිබේ. එනම් දොර පිහිටන බිත්තියේ දිග ඉහත ප්‍රමාණවලට බෙදා ඒ ඒ කොටස්වලට දොර යෙදීමේදී වන ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමයි. එසේ වුවත් තාර්කිකව අදටත් ගැළපෙන විග්‍රහයකට අනුව භාවිතයට ගත හැක්කේ 15ක් වූ පාද සටහනයි. මෙහිදී 15 සැකසෙන 5 බැගින් වූ කොටස් තුනෙන් 2 හා 4 කොටස්වල දොරවල් තැබීම උචිත නොවේ. ඒ අනුව ඕනෑම පැත්තකින් ගැන බැලීමේදී 2,4,7,9,12,14 යන කොටස්වල දොරවල් නොතැබිය යුතුයි. ඒ අනුව 5, 6 හා 10,11 යන කොටස් දොරවල් තැබීම සඳහා උචිත යැයි සැලකිය හැකියි. මෙය නූතන බටහිර විද්‍යාවේ එන පෘෂ්ඨ කම්පන සිද්ධාන්තය (ර්‍ථතචබඥ ඍඪඡපචබඪධද ඊඩඥධපර) අනුවද බොහෝ විද්වතුන් පැහැදිලි කරන බව පෙනේ.

සාමාන්‍යයෙන් දොරවල් ගණනින් ඔත්තේ විය යුතු බවත් ජනේල ඉරට්ටේ විය යුතු බවත් අදත් රටේ සුලබ භාවිතය බවට පත්ව තිබේ. එහෙත් තවදුරටත් විග්‍රහ කරන්නේ දොරටු දෙකක් සුබ ලෙසත්, දොරටු තුනක් සතුරන් ඇති කරවන ලෙසත්, දොරටු හතරක් දිගාසිරි ලබා දෙන ලෙසත්, දොරවල් පහ රෝග ඇති කරවන බවත් දොරවල් හය යහපත් දරු උපත් ලබා දෙන බවත්, දොරටු හත මරණය හිමි වෙන ලෙසත් දොරටු අට ධනය වඩවන ලෙසත්, දොරටු නවය රෝගවලට මුල් විය හැකි බවත්, දොර දහය මංකොල්ලකෑම් ඇති විය හැකි බවත්, දොරවල් 11 විනාශයට හේතු විය හැකි බවත් දොරටු 12 ව්‍යාපාර වර්ධනයට හේතුවන බවත්, දොරටු 13 ආයු කාලය අඩුකරන බවත්, දොරවල් 14 ධනය වැඩි කරන බවත්, දොරවල් 15 යහපත විනාශ කරන බවත් දක්වා තිබේ. එසේ වුවත් අපගේ අත්දැකීම් නම් මේ සංඛ්‍යා එතරම් බරපතළ ලෙස සලකා වෙනස් කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි.

එසේ වුවත් වඩ වඩාත් බලපාන කරුණක් මෙහිදී අවධාරණය කළ යුතු වේ. එය නම් උතුර, ඊශාන, නැඟෙනහිර දිශාවට වඩා දකුණ, නිරිත, බස්නාහිර, දිශාවල දොර ජනේල අඩුවෙන් හා ප්‍රමාණයෙන් කුඩාවට පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි.

කුඩා නිවෙසකට තනි දොරක් තැබීම ධනය රැඳවීමට හේතු වන බව සැලකේ. එසේම එක පෙළට දොර තුනක් පිහිටුවීම නොකළ යුතු බවට නිර්දේශයක් පවතී. එහෙත් මේවායේදී ඒ ඒ දොරවල් අතර උළුවස්සේ උස මෙන් දෙගුණයකට වඩා අඩු වන්නේ නම් මිස බරපතළ ගැටලු හට නොනඟී. එවැනි අවස්ථාවක මැද දොරටුවට ඝන දොර රෙද්දක් දැමීම අතිශයින්ම ප්‍රතිපල ගෙන එන්නකි. ජනේලවලට තිරරෙදි දැමීමේදී උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවල ඇති ජනේල සඳහා එහා මෙහා හොඳින් පෙනෙන තුනී තිර රෙදි හා දකුණු, බස්නාහිර, නිරිත දිශාවල ඇති ජනේලවලට ඝන තිර රෙදි දැමීම යහපත් වේ. ඝන තිර රෙදිවලින් අඳුරක් ඇති වන බැවින් දිවා කාලයේ ඒවා විවෘතව තබා සවස් යාමයේ හැකි ඉක්මනින් වසා දැමීම කළ යුතු වේ.

දොර ජනේල හැකිතාක් හතරැස් හැඩයෙන් යුත්ත විය යුතු අතර වක්‍ර හැඩයක් අත්‍යවශ්‍යම යැයි සිතෙන්නෙකුට එහි වක්‍ර කොටස් පිවිසුම් පියනට ඇතුළත් කිරීම නොකළ යුතුයි. දොරක් එළිපත්තේ තිබීම අවශ්‍ය වන අතර ප්‍රධාන ද්වාරය සඳහා නම් එය අනිවාර්ය කරුණක් බව සැලකිය යුතුයි. දොරවල් ඉදිරිපිට ආසන්නයේ කිසිදු වළක් තැනීම නොකළ යුතු අතර වැසිකිළිවළක් තිබීම වඩාත් බරපතළ අයහපත් තත්ත්වයක් බව සැලකිය යුතුයි.

ප්‍රධාන දොර අඳුරේ තිබීම කිසිවිට නොකළ යුතුයි. පිටත සෙවණැලි වැදීමෙන් හෝ කෘත්‍රිම ආලෝකයක් නොතැබීමෙන් හෝ ඇති වන මේ තත්ත්වය ජීවිත අකර්මණ්‍ය කිරීමට හේතු විය හැකියි. වාතාශ්‍රය පිළිබඳ තත්ත්වයද මෙසේම බව සැලකිය යුතුයි.

ප්‍රධාන දොරට ඉදිරියෙන් කඩුල්ලක් හෝ ගේට්ටුවක් යෙදීම නොකළ යුතුයි. තාප්පයකට තබා ඇති ගේට්ටුවක් නම් කිසිවිට යොදා ගැනීම කිසිසේත් යහපත් නොවේ. මරණය පවා ඇති විය හැකි බව විවිධ අවස්ථාවන්හිදි අපගේ අත්දැකීම්වලින්ද තහවුරු වී තිබේ.

මේ සියලු වාස්තු වියවුල් ප්‍රායෝගිකව වෙනස් නොකළ හැකි අවස්ථාවලදී සරල ආකාරයෙන් පිරමිඩ ආකාර මෙවලම් භාවිතයෙන් දෝෂ නිවාරණය කළ හැකි බවද විසඳුමක් ලෙස අවසානයේ සටහන් කළ හැකියි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.