වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
වාස්තු දෝෂ නැති ගෙවත්තක්
වාස්තු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී බොහෝදුරට එය නිවෙසට සීමා වන්නක්ව තිබේ. එහෙත් කවර අයුරක සුළු ඉදිකිරීමකදී පවා එයට යම් වාස්තු විද්‍යානුකූල විවරණයක් සපයා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇත්තේ අප සුළු කොට සලකනු ලබන එවැනි දේවලින් ඇති කරන බරපතළ බලපෑම පිළිබඳව ඇති අවිනිශ්චිත බව නිසාය.
ගෙවත්තක විශේෂ ඉදිකිරීමක් සිදු නොවුණු අවස්ථාවකදී පවා වාස්තු විද්‍යානුකූල පදනම විමසා බැලීම ඒ අනුව සිදුවිය යුත්තකි. ගෙවත්තක් දිශාගතව විග්‍රහ කිරීමට නම් එය නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිට දක්වන දිශා අට අනුව විමසා බැලීමට අතිශයින් වැදගත් වේ. ඒ අනුව ඉඩමේ නිවෙස පිහිටුවිය යුත්තේ උතුරට ඊශානයට හා නැඟෙනහිරට ඉඩමේ වැඩි ඉඩක් ලැබෙන පරිදිය. එනම් ඉඩමේ දකුණ නිරිත හෝ බස්නාහිර පැත්තට සමීප වන පරිදි වීම අනිවාර්ය වේ.
නිවෙසක ඇතිවන ශුභ හෝ අශුභ බලපෑම ඉඩමේ ප්‍රමාණය හෙවත් වපසරිය අනුව සලකා බැලිය යුතු වේ. අක්කර ගණනක් වු විශාල ඉඩමක තනනු ලැබූ නිවෙසට එකී ඉඩමේ විශාලත්වයෙන් වඩාත් බරපතළ වූ බලපෑමක් ඇතිවිය හැකියි.
නිවෙසේ මෙන්ම ගෙවත්තේද බෑවුම්ව ඇති දිශාවද මෙහිදී අතිශයින් වැදගත් වේ. නවෙසක් උතුරට, ඊශානයට හෝ නැඟෙනහිරට බරව ඉඩම බෑවුම්ව ඇත්තේ නම් එකී ඉඩම පොදුවේ ගත් විට අතිමහත් ශුභ ප්‍රතිඵල අපට හිමිකර දෙයි. යම් හෙයකින් ඉදිකිරීම සඳහා මූලික සැලසුම් කිරීමේදීම පවත්නා බෑවුම් පිළිබඳ සැලකීම ඉන් ඉදිරියට සිදු කරනු ලබන කටයුතුවලට ඇතිවන බලපෑම අනුව ඉදිකිරීම හොඳින් සිදුවීමට හෝ කඩාකප්පල්වීම සිදුවිය හැකි බව මෙහිදදී අපි තේරුම් ගත යුතු වෙමු.
ගෙවත්තේ සිටුවිය යුතු ගස් වර්ග පිළිබඳ දැන් අපගේ අවධානය යොමු කරමු. එහිදී පැළයේ වර්ගය යන්න පිළිබඳව විශේෂ කරුණු රැසක් සැලකිය යුතුව සේම පොදුවේ පැළවල නැතහොත් ගස්වල උස හා වෙනත් ප්‍රමාණයක් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. ඒ අනුව උතුරට, ඊශානයට හා නැඟෙනහිරට පිහිටුවිය යුත්තේ උසින් අඩු ගස් වර්ග වේ. ඒ අතරින් සපුෂ්පික ශාක හෙවත් මල් පිපෙන ගස්වැල් ආදියත් ඖෂධීය ශාක ආදියත් මේ දිශාවන් සඳහා උචිත වේ. ඉඩමේ දකුණ නිරිත බස්නාහිර දිශාවන් සඳහා උසින් වැඩි අතු පතර විහිදී ගිය ගස් වැල් පැවැතීම නිවැසියන්ට මහත් යහපතක් උදා කරයි. මල් පිපෙන ගස්වැල් අතරින් සුවඳ විහිදුවනු ලබන ශාක විශේෂයෙන් මේ දිශාවන් සඳහා වඩාත් උචිත වේ. ඉඩමේ දකුණ, නිරිත සඳහා උසින් වැඩි අතුපතර විහිදී නිවැසියනට මහත් යහපතක් උදා කරයි.
ඒ අතරින් විශේෂයෙන් උණ පවුලේ ශාක ඕනෑම එකක් මේ දිශාවන්හි සිටුවීමෙන් ඉවතට ගලා යෑමට තිබූ ඉඩ වැළකෙමින් අන්තරික්ෂ ශක්තිය භූගතවීම සිදුවේ.
නිවෙසක තරම් බරපතළ නොවූවත් ගෙවත්තේ විවිධ ඉදිකිරීම් සිදු කිරීමට අවශ්‍ය වන අවස්ථාද පවතී. ඒවායේදී උසින් හා බරින් වැඩි ඉදිකිරීම් සිදුකිරීම සඳහා උචිත වනුයේ ද දකුණ, නිරිත, බස්නාහිර පමණි. අනෙක් දිශාවල පඩි පෙළක් ඉදිකිරීමට සිදුවුවහොත් එහි උස බර ආදිය කවරක් වුවත් බෑවුම ඉඳුරාම උතුරට, ඊශානයට හෝ නැඟෙනහිරට වන පරිදි විය යුතුම වේ.
වන්දනාවට උචිත තුල්සි පැළ වැනි දේ සිටුවීම උචිතම දිශාව ඊශානය වන අතර උතුර හෝ නැඟෙනහිර මේ සඳහා අනුචිත නොවේ. ජලජ ශාක පිහිටුවීමේදීත් ජලධාරක (පොකුණ, විල් ආදී) පිහිටුවීමේදී ත් ඉහත කී උතුර, ඊශාන, නැඟෙනහිර වඩාත් උචිත වේ.
උද්‍යාන නිර්මාණයේ දී ලොව ප්‍රචලිත විවිධ සංකල්ප පිළිබඳවත් අපගේ අවධානය යොමු විය යුතු වේ. එනම් විවිධ ගල් වර්ග, පාෂාණ ආදිය යොදාගෙන තනනු ලබන පාෂාණ හා වැලි, බොරළු ආදියත් සමඟ ගොඩනගන උද්‍යාන පිළිබඳවත් මෙහිදී සැලකිය යුතුවේ. ඉහත කී පරිදි උද්‍යාන සඳහා උචිතම දිශාවන් වන්නේ දකුණ, නිරිත, බස්නාහිර වේ. වියළි බවක් හා රත්වන ස්වභාවයක් ඇති කරන සෙන් උද්‍යාන ඉදිකිරීමට උචිතම දිශාවන් වනුයේ නිවෙසට ගිනිකොනෙන් හා වයඹෙන් ඉඩමේ කොටස්වල බවද මෙහිදී සැලකිය යුතු වේ.
වියළි කර්කෂභාවය පෙන්වන හිත් කලකිරවන දුක ප්‍රදර්ශනය වන චිත්‍ර, මූර්ති, කැටයම් ආදිය ඉඩමේ කවර දිශාවක් සඳහාවත් යොදා නොගත යුතු අතර එවැනි කලාකෘති නිවෙසක් ආසන්නයේ නොව කලාගාරය හෝ වෙනත් එවැනි විශේෂ ස්ථානයකට උචිත වුවත් පොදුවේ නිවෙසක් ආශි‍්‍රතව යොදා නොගැනීමට කටයුතු කළ යුතු වේ.
ඉදී වැටෙන ගෙඩි සහිත ශාක සිටුවීම සඳහා උචිත දිශාව වන්නේ වයඹ වුවත් ඉතා උස ගස් සඳහා වයඹ යොදා ගැනීම එතරම් නොගැළපේ. මේ අනුව නිවෙසක් ඉදිකිරීමට නොදෙවැනි වටිනාකමක් උද්‍යාන නිර්මාණයට ලබාදීම අත්‍යවශ්‍ය බව ඉතා හොඳින් පැහැදිලි කර ගත හැකිය.
සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න