වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
වාස්තු ශාස්ත්‍රයේ විද්‍යාත්මක පදනම
වසර දහස් ගණනක් තිස්සේ විවිධ රටවල සාම්ප්‍රදායිකව පැවැතී ඇති ශාස්ත්‍රයක් වූ වාස්තු ශාස්ත්‍රය රටින් රටට විවිධත්වයකින් යුතුව භාවිතයට පත්ව තිබූ බව පෙනේ. එහිදී රටරටවල දේශගුණික හා භෞමික ලක්ෂණ අනුව විවිධ ආකාරයේ ස්වරූප ගෙන ඇති බවද පැහැදිලිය. මේ විචිත්‍රවත් දැනුම ඒ ඒ සම්ප්‍රදායයන් විනිවිද යමින් සෙමෙන් වැඩෙමින් පැවතිණි.
බටහිර විද්‍යාවේ වර්ධනයත් සමඟ ලොව පුරා පැවති විවිධ දැනුම් පද්ධති විනිවිද යමින් නව විමසුමකට ලක්වීමට පටන් ගැනිණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා පැවති බොහෝ දැනුම් පද්ධති නිර්දය ලෙස ප්‍රතික්ෂේප වීම සිදු වූ බවත් සමහර ඒවා යටපත් වූ බවත් පෙනිණි.
අපේ රටේත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් සිදු වූවත් තවමත් බොහෝ ශාස්ත්‍රයන් ජනතාව අතර විශ්වසනීය ලෙස රැඳී පැවතීම අතිශයින් වැදගත් කරුණකි. බොහෝ රටවල අධිරාජ්‍යවාදී බලපෑමත් සමඟ භාෂාව, ඇදහිලි හා ආගමික අදහස් සපුරාම වැනසී ගියත් අප රටේ ඒ තත්ත්වය සිදු වූයේ අල්ප වශයෙන් වීමද මෙහිදී සැලකිය යුතු වේ.
මේ අනුව වාස්තු ශාස්ත්‍රයට බටහිර විද්‍යාවේ බලපෑමෙන් සිදු වූයේ කුමක්ද? අපේ රටේ පැවති වාස්තු ශාස්ත්‍රය පසුගිය සියවසේ නැඟ ආ බටහිර විද්‍යාවේ ආලෝකයෙන් ගිනිකන වැටුණු උගතුන් විසින් වාස්තු ශාස්ත්‍රය නූතන ගෘහනිර්මාණ ශිල්පයෙන් විතැන් කොට ආදේශ කරන්නට ගත් උත්සාහය සාර්ථක වූයේ දශක කීපයක් පමණි. ඒ දශකයන්හිදීත් මේ බලපෑම සමාජය විශේෂ ස්ථරයනට පමණක් හිමි වුවත් මෙරට පැවැති සාම්ප්‍රදාය මත පිහිටා සිටි බොහෝ ජනයා අතර නිශ්ක්‍රීය බවක් මිස ප්‍රතික්ෂේප වීමක් දක්වා බල නොපෑබව පෙනෙන්නට තිබේ.
පසුගිය දශක කීපයේ දී නූතන බටහිර විද්‍යා දැනුම මෙරටට ලැබීමද මෙහිදී වැදගත් සන්දිස්ථානයකි. විශේෂයෙන් අසූව දශකයේ මෙරට ඇරඹි ජාතික චින්තන මතවාදය හා ආචාර්ය නලින්ද සිල්වා ප්‍රමුඛ දේශීය බුද්ධිමතුන්ගේ පැන නැඟීම හේතුවෙන් පැවති පැරණි බටහිරවිද්‍යාව වෙනුවට නූතන බටහිරවිද්‍යාව විද්වත් පන්තියකට හිමි විය. මේ බලපෑම ඡ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, ආයුර්වේදය ආදී විවිධ සාම්ප්‍රදායික ඥාන සම්භාරයකට මහත් ශක්තියක් වූ බව පැහැදිලය.
ඒ අනුව ගුප්ත ස්වරූපයකින් අදහමින් තිබූ වාස්තු ශාස්ත්‍රය බටහිර විද්‍යාවේ සංකල්ප සමඟ සියුම්ව මුසු වෙමින් සමාජගත වන්නට පටන් ගැනිණි. මෙහිදී බටහිර පැරැණි විද්‍යාවෙන් සමාජයේ වැජඹුණු විදග්ධයන්ගේ මුග්ධ ස්වරූපය අභියෝගයකට ලක්විය.
පෙර පිළිවෙත් සම්ප්‍රදායකින් වට වී පැවති වස්තු ශාස්ත්‍රය නූතන බටහිර විද්‍යාවත් සමඟ තාර්කික ප්‍රවේශයකින් සමාජගත වන්නට පටන් ගැනිණි. විශ්වවිද්‍යාලවලින් ගෘහනිර්මාණ ශිල්පය හදාළ භවතුනටද මේ ප්‍රවණතාව මඟහැර යා නොහැකි විය. ඔවුනට ද වාස්තු විද්‍යාත්මකව ගෘහ නිර්මාණ සිදු කරන බව ප්‍රකාශ කිරීම දක්වා මේ තත්ත්වය වැඩී ගියේ ය.
මෙහිදී වාස්තු විෂයය පැත්තෙන් සිදු වූ වැදගත්ම වර්ධනීය තත්ත්වය වන්නේ “ශක්තිමය විග්‍රහයක්” වස්තු ශාස්ත්‍රය පැමිණීමෙන් වාස්තු විද්‍යාවක් ස්ථාපිත වීමයි. එසේ වුවත් තවමත් හැදෑරීමකින් තොරව ගතානුගතිකව මේ විෂයය අවභාවිත කරමින් සිටින්නන්ද නැත්තේ ම නොවේ.
ඒ අනුව ඊශාන දිශාවෙන් (සාපේක්ෂ වශයෙන්) ගලා එන අන්තරීක්ෂ ශක්තියත් (Cosmic Energy), භූගත වූ අන්තරීක්ෂ ශක්තියේ පොළොවෙන් පිටතට නිකුත් වන අතිරික්ත ශක්තියක් වූ භූ ශක්තියත් (Earth) උත්තර දක්ෂිණ ධ්‍රැව ඔස්සේ එන චුම්භක ශක්තියත් (Magnetic)) භාවිතයට ගැනීම ආරම්භ විය.
සාම්ප්‍රදායිකව උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවන් යම් ඉඩමක පහතින් පිහිටීමේ දී ඇතිවන ශුභ ඵලය මේ අනුව අන්තරීක්ෂ ශක්තිය මැනැවින් භූගතවීමක් ඇසුරින් පැහැදිලිව දැක්විය හැකියි. ඒ අනුව එවැනි ඉඩමක ජීවත් වන්නන්ගේ සමෘද්ධිය උදාවීම ශක්තිමය ලෙස විග්‍රහ කළ හැකියි.
ඉඩමේ ඊශාන දිශාව පහතින් පිහිටීම මෙන්ම විවෘත හිස් ස්වභාවයක් ගැනීමත්, එහි තනා ඇති හෝ තනන නිවෙසක උතුරු, නැඟෙනහිර, ඊශාන දිශාවන්ට දොර කවුළු ආදිය වැඩි වැඩියෙන් පැවතීමේ වටිනාකමත් පෙන්වා දීම සහ මේ අනුව හොඳින් අන්තරීක්ෂ ශක්තිය නිවැසියාට ලබා ගත හැකි වීම මඟින් පහසුවෙන් වටහාගත හැකිය.
ඊශානයෙන් සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය ගබඩා වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අන්තය වන නිරිත දිශාවේ බවත් නව දැනුමෙන් වටහාගත් පසු අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩිම කලාපය නිවෙසේ නිරිත කලාපය බවද තේරුම් ගත හැකිය. ඒ අනුව බලවත් ගෘහමූලිකයන් සහිත පවුලක් නිර්මාණය කර ගැනීමට නිරිත දිශාවේ ප්‍රධාන නිදන කාමරයේ අවශ්‍යතාව පහදා පෙන්විය හැකියි.
එසේම 'කිරිලියන් ඡායාරූප' වැනි නව බටහිර විද්‍යාත්මක මෙවලම් භාවිතයෙන් අපගේ භෞතික ශරීරය වටා පවත්නා ශක්ති ශරීරය පියවි ඇසින් දැක ගැනීමේ භාග්‍යය උදා වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙර කී නිරිත දිශාවේ ජීවත්වන නිවැසියන්ගේ ශක්ති ශරීරය බලවත් වන අයුරු තර්කානුකූලව අවබෝධ කර ගැනීමට ඉවහල් වූයේද නූතන බටහිර විද්‍යාව හා එයින් උපන් ශිල්පයන් (තාක්ෂණය) බව පෙන්වා දිය හැකියි. ඒ අනුව ශක්ති ශරීරයේ ප්‍රමාණය හා වර්ණ රටා අනුව තවත් බොහෝ දේ වටහාගත හැකියි.
මුළුතැන්ගෙය පිහිටුවීමට සාම්ප්‍රදායිකව යෝජනා වී තිබූ ගිනිකොන දිශාව එසේ විය යුත්තේ ඇයිද යන්න ඉතා සරලව බටහිර නූතන විද්‍යාවට අනුව විග්‍රහ කරගත හැකියි. අප පෙරත් පැහැදිලි කළ පරිදි අන්තරීක්ෂ ශක්තිය ඊශාන දිශාවෙන් නිවෙසට ඇතුළු වී නිරිතෙන් පිටවන්නේ යැයි හිතමු. එවිට ඊශාන නිරිත රේඛාවේ ගිනි තැබීම, තාපය වැඩි කිරීම සිදු වූයේ නම් ලැබෙන අන්තරීක්ෂ ශක්තියේ පවත්නා අංශුවල (ෆෝටෝනවල) චාලක ශක්තිය වැඩිවීම සිදු වේ. එසේ අංශුවකින් චාලක ශක්තිය වැඩිවීමේ නිසැක ප්‍රතිඵලය වන්නේ නිවසට ඇතුළු වූ අන්තරීක්ෂ ශක්තිය විසිර යෑමයි.
ඒ අනුව මෙසේ අන්තරීක්ෂ ශක්තිය ඉවත්ව යෑම වළකා නිවසේ මුළුතැන්ගෙයක් පිහිටුවීමට නම් ඊශාන නිරිත රේඛාවට උපරිම දුරකින් එය සිදු කළ යුතුයි. ඒ සඳහා උචිතම දිශාවන් වන්නේ ගිනිකොන හා වයඹ වේ. එබැවින් ගිනිකොන ගිනි දැල්වීමේ සම්ප්‍රදායික නිර්දේශය අතිශයින් නිවැරැදි බව නූතන බටහිර විද්‍යාව විසින්ම මේ වන විට තර්කානුකූලව පෙන්වා දී තිබේ.
මෙවැනි බොහෝ සම්ප්‍රදායික ප්‍රදේශයන් නූතන බටහිර විද්‍යාව භාවිතයෙන් තහවුරු කළ හැකි බව මේ අනුව පැහැදිලි කළ හැකියි.
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න