කර්තෘට ලියුම්

ඔක්තෝබර් 25, 2024

සුබ මුහුර්ත සෑදීම පිළිබඳ

ගාමිණි - රිදිමාලියද්ද

මහත්මියනි,

සුබ මුහුර්ත සෑදීමේදී ලග්නයේ ගුරු සිටීමෙන්, දහවල් කාලයේ රවි 11 සිටීමෙන් සියලු දෝෂ භංග වෙනවා සේම, විවාහ වීමට බලාපොරොත්තු වන දෙදෙනකුගේ කේන්දරවල ඒ ආකාරයෙන්ම ගුරු හෝ රවි සිටීමෙන් විවාහයට නුසුදුසු සියලු දෝෂ භංග වේද? පොරොන්දම් බැලීමට අවශ්‍ය නොවේද? සුබසෙත පුවත්පතින් පිළිතුරු බලාපොරොත්තු වෙමි.

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

සඳුගේ බලපෑම

ග්‍රහලොව මව ලෙස සැලකෙන සඳු ග්‍රහයා සිතට අධිපති වේ. හිතෙහි චංචල බව, සිත් ගන්නා රුවකින් හා කතාවෙන් යුතු වේ. කාමාශා අධික වුවද ප්‍රඥාවන්තය. චන්ද්‍රයාට හිමි තැන රජකමයි. ජටාවක් හිස පැළඳ ඇතෙකු පිට නැගී ස්ත්‍රී රුවකින් යුතු ස්ත්‍රී ග්‍රහයකු ලෙසත් පෙන්වයි. චන්ද්‍රයාගේ බලපෑම සම්බන්ධයෙන් සුබසෙතට කෑගල්ලේ සන්දිරිගම මහත්මිය එවූ ලිපියට ඡ්‍යොතිෂවේදීනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි මේ.

පෙනුමටත්, හැඟීම්වලටත් මුල් තැන දෙන සඳු පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට වඩාත් බලපායි. ස්ත්‍රීන්ගේ ඔසප් වීම, පිළිසිඳ ගැනීම, නිවෙසට ඇති බැඳීම, අන් අයගේ සිත නොරිද්දවන ගතිය ආදිය සඳුගේ විශේෂත්වයයි. චන්ද්‍රයා දුර්වල පිහිටීම චපලගතිය, අවලස්සනකම, අන් අය නොසැලකීම, ගුණමකු බව ඇති කරයි.

චන්ද්‍රයා බලවත් වීමෙන් හිතේ උසස් බව, අන් අයට පිහිට වීම, තීක්ෂණ බුද්ධියකින් යුක්ත වෙයි. ගුප්ත ශාස්ත්‍රට ළැදිකමක් දක්වයි. අධ්‍යාත්මික දියුණුවක් ලැබීමට කැමැතියි.පුර චන්ද්‍රයා සුබ වන අතර අවචන්ද්‍රයා අසුබවශයෙන්ද හඳුන්වයි. චන්ද්‍රයා වෘෂභයේදී උච්ච වන අතර කටකේදී ස්වකේෂ්ත්‍ර වේ. වෘශ්චික රාශියේදී සඳු නීච වේ. එක් රාශියක ගමන් කිරීමට දවස් දෙක හමාරක් ගත වෙයි. උපතේදී චන්ද්‍රයා ලග්නයේ පිහිටන්නා ප්‍රිය උපදවන අයෙකි. එමෙන්ම අධික හැඟීම්වලින් යුතු චංචල ගති ඇති වේ. බාල සහ මහලු කාලයේදී හිසේ සෙම ගතිය වැඩිකරයි.

චන්ද්‍රයා දෙවැන්නේ නම් යහපත් කතාව ,ප්‍රියංකර පෙනුමත්, කරුණාවන්තවන්තකමත් ඇත්තෙකි. ධනය ස්ථිර තත්ත්වයක නොපවතියි. ගෙදරට හිතවත් ඔවුන් සහකරුවා හෝ සහකාරියගේ අදහස්වලට ගරු කරයි. උගුරේ සෙම් අමාරු අමාරු බහුලයි. චන්ද්‍රයා තුන්වැන්නේ නම් නිතර වෙනස් වන ගති ඇති, ඇවිදින, ඉඩකඩම් ඇති අයෙකු වෙයි. සමීප මිත්‍රයන් නිසා සහෝදරාදීන්ට උපකාර නොකිරීමට ද පුළුවන.

චන්ද්‍රයා හතරේ නම් මවට ළැදි, මවගෙන් පිහිට ඇති අයෙකි. ගුණවත්ය. සතුරෙකුට වුවත් සමාව දෙයි. කිසිවකුට වරදක් නොකරයි. ඉඩකඩම් ලැබීමට යහපත් සහ ඒවායින් ආදායම් ලැබීමටද හැකියි. තමාගේ දියුණුව පිණිස පදිංචි ස්ථාන වෙනස් කිරීමට සිදු වේ. පපුවේ සෙම ගතිය වැඩියි.

චන්ද්‍රියා පස්වැන්නේ නම් එම ජන්ම හිමියා ක්‍රීඩාවට දක්ෂ පුද්ගලයකු වේ. තම සිතැඟියාවන්ට කටයුතු කරයි. විවාහ සහකරු සහ සහකාරියගේ අදහස් අනුමත කරයි. චන්ද්‍රයා හය වැන්නේ සිටින්නේ නම් ස්ත්‍රීන්ගෙන් කරදර ඇති වේ. යටත් සේවකයන්ට ඉතා හොඳීන් සලකයි. ආහාර දිරවීමේ ශක්තිය අඩුය. කෑම එතරම් පිය නොකරයි. එනිසා ශරීරය දුර්වල වේ. බැදුම් පැණිරස වැනි දේට ප්‍රිය කරයි. පෙනහලු හෝ පපුවේ අමාරු වැඩි වේ.

චන්ද්‍රයා හත්වැන්නේ නම් විවාහය මඳක් පමා වේ. හවුලේ කටයුතු කළ හැකි අයෙකි. බොහෝ දෙනකු සමඟ කටයුතු කළ හැකිවන රැකියාක් කිරීමට අවස්ථාව හිමි වේ.

චන්ද්‍රයා අටවැන්නේ නම් හැඟීම් අධික අයෙකු බැවින් හිතට කරදර ඇතිවන ශරීරයේ සෙම වැඩි ගතියක් ඇති අයෙකි. වයස අවුරුදු 13 පමණ වන තෙක් මාරක ඇති කරයි. ජලයට ප්‍රිය වුවත් එයින් අගුණ ඇති කරයි. චන්ද්‍රයා අටවැන්න වන්නේ වෘශ්චිකයේ නම් චන්ද්‍රයාට අයිති ගති අඩුකරයි. විනෝදයෙන් සැපසේ කල් ගෙවයි.

චන්ද්‍රයා නවවැන්නේ නම් දියුණු ජීවිතයක් ළඟා කර ගනී. ප්‍රිය පෙනුමක් ඇති , පින් කිරීමට, වන්දනා ගමන් බිමන් යෑමට කැමති අයෙකි. මවුපියන්ගේ වචනයට කීකරුය. විදේශගතවීමට, සැප වි¼දීමට හැකි, වැඩවලටද දක්ෂ අයෙකි.

චන්ද්‍රයා දහවැන්නේ නම් බාරගත් වැඩේ සර්ථකව කරන, මවුපියන්ගේ දේපළ හිමි යහපත් කෙනෙකි. ප්‍රචාරක කටයුතුවලට යහපත් වේ.

චන්ද්‍රයා එකොළොස්වැන්නේ පිහිටා ඇත්නම් සහෝදරාදීන්ට හිතවත්, ඉඩකඩම් ඇති අයෙකු වෙයි.පහසුවෙන් මිත්‍රයන් ඇති කරගත හැකි අයෙකු වුවත් මිතුරුකම් කල් නොපවතියි. ආදායම් ස්ථිර නොවීමටද ඉඩ ඇත. හිතවත් විවාහ සහකරුවකු ද ලැබේ.

චන්ද්‍රයා දොළොස් වැන්නේ නම් පොදු ජනයාගේ දියුණුව සඳහා වැඩ කරයි. ආරෝග්‍ය ශාලාවල, බන්ධනාගාරවල, අනාථ නිවාසවල කටයුතු කිරීමට සිත යොමුවේ. ගුප්ත ශාස්ත්‍රවලට ප්‍රියයි. ස්ථාන මාරු කිරීමට සිදුවන අතර විදෙස් ගමන්වලටද යහපත්ය. අන් අය වෙනුවෙන් වියදම් කරයි.

චන්ද්‍රියා ලග්නයේ ගමන් කිරීම යහපත්ය. සුළු ලාභ ලැබේ. පෞද්ගලික කටයුතුවලට හිත ඇදෙයි. සුළු ගමන් බිමන් ඇති කරයි. අන් අයට ප්‍රියයි. චන්ද්‍රයා ගුරු සමඟ හෝ සිකුරු සමග ලග්නයේ ගමන් කරන දින දෙකහමාර දියුණුවට සුබයි.

සඳු දෙවැන්නේ ගමන් කිරීමේදී වියදම් අධිකය.දියුණුවට පැවති මාර්ග ප්‍රමාද වීමටද, ගෞරවයටද හානි වේ. උත්සාහයෙන් වැඩ කළ යුතුයි.

සඳු තුන්වැන්නේ ගමන් කරන කාලයේදී මිල මුදල් ලැබීම සැක සහිතයි. සතුරන්ද වැඩිවීමට ඉඩ ඇත. හිතවතුන් ඇතිවීමක්ද පෙන්නුම් කරයි.

චන්ද්‍රයා හතර වැන්නේ ගමන් කිරීමේදී දුක් සහිතව කාලයකි. මේ දින දෙක තුළදී කේන්ති ඇති වේ. නින්දට බාධා සිදු වේ. නිවසේ සැප පහසුව අඩුවේ. වියදම් අධිකයි.තෑගි ලැබීමක්ද ඇතිවේ. පෙනහලුවල අමාරුකම් වර්ධනය වේ. ‍

සඳු පස්වැන්නේ ගමන් කරන වි‍ට, බලාපොරොත්තු කඩවීම ඉඩ ඇත. බාහිර කරදර මතු වේ. සිත් වේදනා ඇති වේ. අජීර්ණ, රක්ත වාත රෝග ඉස්මතු වේ.

සඳු හයවැන්නේ ගමන් කරන විට ගේදොර වාසනාවන්ත වේ. බලාපොරොත්තු ඉටුවේ. දුර්වලව හයවැන්නේ ගමන් කරන විට ඉහත කී සුබපල ප්‍රමාද කරයි.

සඳු හත්වැන්නේ ගමන් කරීමේදී හොඳ ආහාරපාන, සැප පහසුව ලබයි. මිතුරු ආශ්‍රයට යොමු වන අතර ප්‍රීතිමත් ගමන් ඇතිවේ. සැප පහසු නින්දක් හිමිය.

සඳු අටවැන්නේ ගමන් කිරීම කරදර සහිතයි. නිෂ්පල ගමන්, අධික වියදම් ද ඇති වේ. කරන කටයුතුවලට බාධා ඇති වෙයි. අධෛර්යමත් වේ. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් හෝ ඇති විය හැකියි.

සඳු ග්‍රහයා නව වැන්නේ ගමන් කිරීමේදී සිත් තැවුල් ඇති වේ. වැඩිහිටි, ප්‍රධානීන්ගේ දෝෂාරෝපණයට ලක්වේ. පිනට දහමට ආසායි. ආගම් භක්තිය දියුණුවේ. නිවෙසේ අඩුපාඩු ඇතිවන අතර දුර ගමන් යෙදේ.

දහ වැන්නේ ගමන් කරන විට බලාපොරොත්තු ඉටු වෙන අතර දියුණුවට පත්වේ. ලාභ ඇති වේ. උසස් අය ආශ්‍රය ඇතිවේ. රැකියා කටයුතුවලට යහපත්.

සඳු එකොළොස්වැන්නේ ගමන් කරීමේදී දියුණුවට කටයුතු සැලසෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අලුත් පිරිසක් ආශ්‍රයට ලැබේ. ගෙදරදොර සැප පහසු ඇතිවේ.

සඳු දොළොස්වැන්නේ ගමන් කරයි නම් පැවැති ගෞරවය අඩු වේ. අවනම්බු ලැබීමටද හැකියි. වියදම් අධිකයි. හදිසි අනතුරු තුවාල ඇතිවීමේ අවදානමක් තිබේ.

මෙනිසා චන්ද්‍රයාගේ බලපෑම අනෙකුත් ග්‍රහ යෙදුම් සමඟ සැස¼දීමෙන් නිගමනය කළ යුතුයි.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන - ඉෂාරා විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.