විවාහක කතුන් වැන්දඹුවන් කරන ග්‍රහ බලපෑම්

නොවැම්බර් 26, 2021

හඳහන බලා පොරොන්දම් ගැළපීමෙන් පසු සිදුවෙන විවාහය ඉතා කෙටි කාලයකින් වෙන් වන්නේ නම් එය මොනතරම් අවාසනාවන්ත සිදුවීමක් ද? මෙසේ වෙන් වන විවාහය නිසා මුළු ජීවිත කාලයම අදුරුවීමට ඉඩ ඇත.

විවාහය සුන්දර වුවත් මෙසේ විනාශවීම පෙර භවයේ කළ අකුසල කර්මයක් නිසා සිදු විය හැකි ය. ඡ්‍යොතිෂ පැත්තෙන් බැලූ විට මෙසේ වැන්දඹු වීම සඳහා උපකාර වන ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍රයේ පිහිටා ඇත. විවාහයට පෙර දෙදෙනාගේ හඳහන්වල වෙන් කරන ග්‍රහ පිහිටීම් බලා හොඳ තීන්දුවකට ලබා දෙන තරම් දක්ෂ ඡ්‍යොතිර්වේදීහු අප රටේ සිටිති. ඡ්‍යොතිෂය ඉගෙන ගන්නා ආධුනිකයන්ට විවාහය සඳහා ලැබෙන හඳහන් පරික්ෂා කිරීමේදී මෙම වැන්දඹු කරන ග්‍රහ පිහිටීම් ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. මෙසේ වැන්දඹුවන් කරන ග්‍රහ පිහිටීම්වලට ඡ්‍යොතිෂයෙහි හඳුන්වන්නේ වෛධව්‍ය යෝග කියාය.

වෛධව්‍ය යෝගවලින් කරන්නේ විවාහය බාධා කිරීමයි. නැතිනම් විවාහ විනාශ කිරීමයි. විවාහ වීමෙන් පසු මරණය, දෙදෙනාගෙන් එක් අයෙකු වෙන්වීම, දෙදෙනා අතර භේද භින්න වීම, දරුණු ලෙඩ රෝග සෑදීම එමෙන්ම විවාහය ප්‍රමාද වීම මෙම වෛධව්‍ය යෝගයෙන් ඇති වන භයානක ප්‍රතිඵල වේ.

විවාහය විනාශ කරන වෛධව්‍ය යෝගයේදී මුල් තැන ගන්නේ ග්‍රහ මණ්ඩලයේ දරුණු පාපී ග්‍රහයෙකු ලෙස සැලකෙන කුජය. රාහු, සෙනසුරු , රවි හා කේතු ද යන පාපී ග්‍රහයින් ද වෛධව්‍ය යෝගයට උදව් කරයි. ස්ත්‍රී කේන්දරයේ ලග්න රාශියෙන්, චන්ද්‍ර රාශියෙන් හා සිකුරු සිටින රාශියෙන් 7 වැන්න හා 8 වැන්න යන ස්ථානවල පාපී ග්‍රහයින් සිටීමත්, පුරුෂ කේන්ද්‍රවල ලග්න රාශියෙන්, චන්ද්‍ර රාශියෙන් හා සිකුරු සිටින රාශියෙන් 2 වැන්න හා 7 වැන්න යන ස්ථානවල පාපී ග්‍රහයින් සිටීමත් වෙධව්‍ය යෝගයට මූලික පදනම වේ. ස්ත්‍රී පුරුෂ හඳහන් දෙකේම සිකුරු පීඩා වීම නිසා අයහපත් ප්‍රතිඵල ගෙන දෙයි.

පතිදම් සුරකින ආත්ම ගරුත්වය ගැන හිතන චරිතවත් ළඳකට තම සැමියා හදිසියේ වෙන් වුවහොත් ඇය මුළු ජීවිත කාලයම ඔහු ගැන සිතමින් දුක් වෙයි. එසේ ඇය දුක් වන්නේ තම සැමියාට තිබෙන අවංක ආදරය නිසාය. ඒ අනුව බලන විට ඇය ඇත්තටම සුචරිතවත් කුලවමියෙකි. නැති නම් කුල කාන්තාවකි. තව පැත්තක් ඇත. සල්ලාලයේ යෙදෙන දුරාචාර ස්ත්‍රියකට නම් තම සැමියාගේ වියෝවීම නිසා දුක් වන්නේ නැත. නිදහසේ අන් පුරුෂයන් සමඟ සල්ලාල ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලැසෙන නිසා නීත්‍යානුකූල සැමියා මිය යාම සොම්නසට කරුණකි. මෙවැනි ළඳුන් අවසානයේ සිදු වන්නේ අභිසරු ලියන්ගේ තත්ත්වයට පත්වීමයි.

විවාහය විනාශ කරන ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍රවලින් හඳුනා ගත යුතුය. එවැනි ග්‍රහ පිහිටීම් කිහිපයක් පහත දැක්වේ.

1.හත්වැන්න පාපකර්තකී යෝගයකට මැදි වී හත් වැන්නාධිපතියා අසුබ ග්‍රහ දෘෂ්ටියකට අසු වීම

2.හත් වැන්න අධිපතියා නීච ක්ෂේත්‍රයට ලක්වීම. ග්‍රහනයට අසුවීම, අස්ත වීම, හෝ ෂඩ් වර්ගයේ දී දුර්වල වීම

3.රවි – කුජ –රාහු ලග්න ගතව ඉපදීම

4.සෙනසුරු 7 සිටියදී අසුබ සතුරු ග්‍රහයෙකුගේ දෘෂ්ටියකට ලක්වීම

5.අඟහරු 7 සිටියදී අසුබ සතුරු ග්‍රහයෙකුගේ දෘෂ්ටියකට ලක්වීම

6.ලග්නාධිපතියා හා 8 වැන්නාධිපතියා 12 වැන්නේ සිටින විට 8 වැන්නට පාප ග්‍රහයෙකුගේ දෘෂ්ටියට ලක්වීම

7.කුජ හා ශනි සමඟ සංයෝග වූ රාහු 7 හෝ 8 සිටීම

8.7 හා 8 අධිපතියන් 12 වැන්නේ සිටීමත්, 7 වැන්නට පාපියෙකුගේ දෘෂ්ටියට ලක්වීම

9.7 වැන්නාධිපති සමඟ 8 වැන්නාධිපති සංයෝග වී එයට පාප ග්‍රහයින්ගේ දෘෂ්ටියට ලක් වීම

10.7 වැන්නාධිපති සෙනසුරු සමඟ සංයෝග කුජගේ දෘෂ්ටියට ලක් වීමත්, සඳු හා රාහු 8 වැන්නේ සිටීම

11.8 වැන්නාධිපති සමඟ කුජ 8 සිටීමත්, ලග්න නවාංශක අධිපතියා පාපයෙකුවීම

12.7 වැන්නාධිපතියා දුර්වල වී කුජ හා ශනි 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටීම

13.7 හා 8 අධිපතියන්ගේ පරිවර්තනය

විවාහයට පෙර දෙදෙනාගේ ජන්මපත්‍ර පරික්ෂා කිරීමේදී මෙවැනි වැන්දඹු කරන ග්‍රහ පිහිටීම් දුටු විට විවාහයට ඉඩ නොදිය යුතුය. අනිවාර්යෙන්ම සේවාදාකයාට ඒ ගැන පැහැදිලි කළ යුතුය. සුන්දර විවාහයක් මෙම යෝග නිසා අමිහිරි වීමට ඉඩ ඇත. මෙවැනි වැන්දඹු කරන ග්‍රහ පිහිටීම් තිබෙන විට ඒවා පරික්ෂා නො කර අනුමත කිරීම සුදුසු නැත.

 

ඡ්‍යොතිර්වේදී

ග.මු.සුබසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.