වාසි අවාසි සලසන ඇතුළත් නැකැත් සහ පිටත් නැකැත්

උමා ජ්‍යොතිෂයෙන්
අගෝස්තු 11, 2023

අපි හැමදෙනාම ගනුදෙනුකරුවෝ වෙමු. වෘත්තීය වශයෙන් ගත්තත්, අධ්‍යාපනික වශයෙන් ගත්තත් කර්මානුකූලව ගත්තත් ඒ සියල්ලෙහි ඇත්තේ ගනුදෙනුවකි. අපි සැවොම මවුකිරි බිව්වෝ වෙමු. සමහර විටෙක කලාතුරකින් එසේ නොවීමට ද ඉඩ ඇත.

ඒ මවුකිරිවල ණය ගෙවා නිම කළ නොහැකිය යනුවෙන් සමාජ මතයක් තිබේ. මාපියන් විසින් කරන ලද, ආච්චිලා, සීයලා විසින් කරන ලද හොඳ නරක විපාක පරම්පරා හතක් දක්වා පැමිණෙන බව ද පැවසේ. මේ සියල්ල ගනුදෙනු ය. එහෙත් අපට වඩාත් සිහිපත් වන්නේ වෙළෙඳපළ ගනුදෙනුය. මේ ගනුදෙනු සියල්ල වඩාත් සාර්ථකව සිදු කිරීමට ඡ්‍යොතිෂය තුළ න්‍යාය ධර්මයක් වේ. සත්‍ය වශයෙන්ම එය සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන ඉන්ද්‍ර ගුරුලු සංකල්පය පදනම්ව නිර්මාණය වී ඇති බව ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් බොහෝ දෙනකු ද නොදන්න බව මාගේ විශ්වාසයයි. කෙසේ වෙතත් මේ ගනුදෙනු වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා භාවිත කරන න්‍යාය බොහෝ පත පොතෙහි අන්තර්ගත වන්නේ ය.

අපි මිලදී ගැනීම් සහ විකිණීම් පිළිබඳ අවධානය යොමු කරමු. ඔබ වෙළෙන්දෙක් නම් ඔබ බඩු ගන්නේ විකුණා ලාභ ලබන්නටය. තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාම දෙකටම එය සාධාරණය. දෛනිකව මිලට ගෙන දෛනිකව විකිණීම් කටයුතු සිදු කරන අයට පොත පතෙහි ප්‍රකටව ඇති න්‍යාය භාවිත කිරීම තරමක් අපහසුය. එහෙත් සිංහල උමා ඡ්‍යොතිෂයෙහි සූක්ෂම විමසුම්වලදී එය ප්‍රශ්නයක් නොවන්නේම ය.

ඔබගේ ඉඩම විකුණා ගැනීමට ඔබ වැර දරනවා විය හැකිය. ඔබේ වාහනය හෝ ඔබේ ස්ථාවර ජංගම වත්කම් විකුණා ගැනීමට වැර දරන්නෙකු විය හැකිය. මේවා ප්‍රකට ගනුදෙනු ක්‍රියාකාරකම්ය. දැන් ඔබ ගනුදෙනුවක් යැයි නොසිතන එහෙත් ගනුදෙනුවක්ම වන තවත් කාරණාවක් දෙස අවධානය යොමු කරමු. ඔබේ දියණියගේ පුතණුවන්ගේ විවාහය අරමුණු කරනවා ද? ඒ සඳහා දැන්වීම් දමනවා ද? කපු මහත්වරුන්ගේ සහය දැන් අප න්‍යාය දෙසට හැරෙමු. ඡ්‍යොතිර්වේදීන්ට එය අමුතු අලුත් එකක් නොවන නමුත් එය භාවිතයේ යෙදෙන්නවුන් නම් අල්ප ප්‍රමාණයක්ම විය හැකිය. එය ඇතුළත් පිටත් නැකත් න්‍යායයි. සියලු ගැනුම් සඳහා ඇතුළත් නැකත් භාවිතා කිරීමට ඡ්‍යොතිෂය තුළ උපදෙස් ලැබේ. සියලු විකිණීම් සඳහා ‘පිටත් නැකත් ‘භාවිත කළ යුතුව ඇත. එය පොදු න්‍යාය වන අතර සමහර මිලට ගැනීම් පිටත් නැකතින් සිදු කළ යුතු අතර සමහර විකුණුම් ‘ඇතුළත් නැකැතින්’ කළ යුතු ය.

ඡ්‍යොතිෂය තුළ නැකැත් 27ක් ප්‍රධාන වශයෙන් සලකා බැලේ. එහෙත් ඇතුළත් පිටත් නැකත් ගැනීමේ න්‍යාය අනුව අභිජිත් නැකත ද සමඟ එය ගැන ඇත. කැති, රෙහෙන, මුවසිරස, අද, මා, පුවපල්, උත්‍රපල්, හත, අනුර, දෙට, මුල, පුවසල, දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප යන නැකත් ඇතුළත් කාණ්ඩයේ වෙයි. එහි නැකත් දහසයකි. පුනාවස, පුෂ, අස්ලිස, සිත, සා, විසා, උත්‍රසල, අභිජිත්, සුවන, රේවතී, අස්විද, බෙරණ නැකත් දොළොස පිටත් නැකත් කාණ්ඩයේ ය. ඒ ඒ දවස්වල තිබෙන නැකත දැන ගැනීමට නම් ඔබ පංචාංග ලිතක් පරිශීලනය කළ යුතුව ඇත. වර්තමානයේ ජංගම දුරකතනවලද එවැනි මෘදුකාංග බොහොමයක්ම වේ.

මෙහි භාවිතය පියවරින් පියවර ප්‍රබල කර ගැනීමට ඡ්‍යොතිර්වේදියෙකුගේ උපදෙස් ලබා ගැනීම සේවාදායකයාට වඩාත් යහපත් වනු ඇත. තමා උපන් නැකතට සීහෙන සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී පරම මෛත්‍රී නැකතක් තෝරා ගැනීම වඩාත් ඵලදායක වනු ඇත. මෙසේ මෙහි බොහෝ රහස් ඇත. එකී රහස් බොහොමයක්ම ඉගැන්වෙනුයේ සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන ඉන්ද්‍ර ගුරුළු ශාස්ත්‍රයෙහිය.

ඔබේ නැකත අස්විද නම් රෙහෙන නැකත ක්ෂේම නැකතකි. එය එකී නැකතින් ගෙන ඒම මිලට ගැනීම යහපත්ය. ඔබ නව ව්‍යාපාරයක් අරඹන්නේ නම් පළමු ගනුදෙනුව ඔබට සීහෙන ඇතුළත් නැකතකින් සිදු කිරීම යෝග්‍යය. ඔබේ වැටුප වර්තමානයේ බොහෝ විටක බැංකු ගිණුමේ තැන්පත්වනු ඇත. අත්හදා බැලීමක් වශයෙන් ඔබට සීහෙන ඇතුළත් නැකත් දවසකින් ගිණුමෙන් මුදල් ගැනීම සුදුසු ය. ඔබ වෙළෙන්දෙකු නම් ඔබ මිලට ගන්නේ විකිණීම සඳහා ය. එකල්හි ඔබ මිලට ගත යුත්තේ පිටත් නැකතක් යෙදෙන ගැළපෙන දිනකදීය. එසේ ස්වකීය ඥානයෙන් කටයුතු කළහොත් බොහෝ දේ මෙකී ඇතුළත් පිටත් න්‍යාය භාවිතයෙන් සිදු කළ හැකිය.

ඔබ ගොවිකමෙහි යෙදෙන්නේ නම් ඔබේ අස්වනු ගෙට ගත යුත්තේ ඇතුළත් නැකතකය. විකිණීම ඔබට සීහෙන පිටත් නැකතකදී සිදු කළ යුතුය. මෙවැනි අත්හදා බැලීම් තුනක්, හතරක්, පහක් සිදු කිරීමෙන් ඔබට මෙහි ඵලදායකත්වය අවබෝධ වනු ඇත. මෙය අතිශය සූක්ෂම න්‍යායක් නමුදු එය ගැන විස්තරාත්මක සටහනක් ඇති ග්‍රන්ථයක් වර්තමානයේ නැති තරම්ය. මෙහි වේගවත් ප්‍රතිඵල නෙළා ගැනීමට ඉන්ද්‍ර, ගුරුළුව පිළිබඳව ද අවබෝධය අවශ්‍ය වේ. පෙර කී නිදසුන පරිදි අස්විද නැකතින් උපන් ඔබ “ත, ථ, ද, ධ, න” අකුරු මුලට යෙදෙන හෝ නාග යෝනියේ උපත ලැබුවෙක් නම් ඔබට රෙහෙන නැකතින් බලාපොරොත්තු වන තරමටම ප්‍රතිඵල නොලැබෙනු ඇත. එහෙත් යම් දුරකට හෝ ලැබෙනු ඇත. එසේම ඉහත සඳහන් කර ඇත්තේ පොදු න්‍යායයි. පොදු න්‍යාය පොදුවේ සුබපල ගෙනදේ. පොදුවේ භාවිත කළ හැකි වේ.

ඉහත කී රෙහෙන නැකත ඇතුළත් නැකතක් වන බව සෑබෑය. එහෙත් ඔබගේ නාම යෝනිය අනුව සමහර විටක එය පිටත් නැකතක් ද විය හැකිය. එසේ හෙයින් රෝගයක් කලෙක වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්නා සේම මෙහිදී ඔබේ ගමේ, ඔබේ දෛවඥයාගෙන් උපදෙස් ලබා කටයුතු කිරීම වැඩදායක වේ.

ඡ්‍යොතීර්වේදීන්ගේ අවබෝධය සඳහා තවත් තොරතුරු කීපයක් මෙහි සඳහන් කරන්නට කැමැත්තෙමු. මෙකී ඇතුළත් නැකතක් හෝ පිටත් නැකතක් භාවිත කරන විට එම නැකත රජකරවා, ඇතුළු කිරීම හෝ රජ කරවා පිට කිරීම සිදු කළ හැකිය. ගෙට ගෙවදින නැකතකදී මර හෝ නිදි තත්ත්වයට පත් වූ පිටත් නැකතක් යෙදේ නම් එම ගෘහය නිතරම ධන ධාන්‍යයෙන් හිස්වනු ඇත. මේ සියල්ල බොහෝ දුරකට කර්මය සමඟ සබැඳී පවතින අතර චේතනාවම කර්මය වන බව ද අමතක නොකළ යුතු ය. චේතනාව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය බාහිර පරිසරය සැකසීම නැකතින් සිදු වේ. වර්තමානයෙහි අලුත් අවුරුදු නැකැත් ද චාරිත්‍රයක් පමණකැයි පවසන පිරිසක් වේ. එකී නැකැත්වලින් සුබ හෝ අසුබ නොගෙනේය යන සංකල්පය පිහිටා එසේ කියනු ලැබේයැයි අප දනිමු. එය අතිරේක කතාවකි. කෙසේ වෙතත් නැකතක සුබ අසුබ ප්‍රතිඵල පාලක පරීක්ෂණ ඇසුරින් ඔබටම තහවුරු කරගත හැකිය. එවැනි ක්‍රම කිහිපයක් ඉදිරියේ දී ඔබ වෙත ගෙන එන්නට අපේක්ෂා කරමි.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.