වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
විවිධ යෝගවලින් ලැබෙන විවිධ ගුණ
ජන්ම පත්‍රවල බහුලව දක්නට ලැබෙන යෝග මෙන්ම විරලව යෙදෙන යෝගද ජන්ම පත්‍ර පරීක්ෂාවේදී අපට හමුවේ. එවැනි විරල යෝග කිහිපයක් පිළිබඳව පොදුවේ කතාබහ කිරීම මේ ලිපියේ අරමුණ වේ.
කාමල යෝගය
කාමල යනු නෙළුම් මලයි. සියලුම ග්‍රහයෝ 1, 4, 7, 10 ආදී කේන්ද්රස්ථානවලම පමණක් සිටින්නේ නම් එය කාමල යෝගයයි.
මේ යෝගයෙන් යුතු පුද්ගලයා රජෙක් නැතහොත් උසස් රාජ්‍ය නිලධාරියෙක්, ජනාධිපති, අගමැති තනතුරු දරන්නෙක් වීමට අවකාශ ඇත. ඔහුගේ චරිතය යහපත්ය. ඔහු ප්‍රසිද්ධය. දීර්ඝායු සම්පත්තිය ඇත. මෙවැනි අය ඉතා යහපත් සුබ ක්‍රියාවල යෙදෙන්නේය. පොදුවේ ඉතා හොඳ යෝගයකි.
යූප යෝගය
සියලුම ග්‍රහයෝ 1, 2, 3, 4 ආදී ස්ථානවල පමණක් සිටින්නේ නම් මේ යෝග යෙදේ. එම පුද්ගලයා කිසියම් ආකාරයක අධ්‍යාත්මික බලයක් හෝ ගුප්ත බලයක් තිබේ. ඔහුට යාච්ඥා කිරීමේ හැකියාව ඇත. ඔහුගේ භාර්යාවද ඔහු කෙරේම බැඳීමෙන් යුක්තව සිටියි.
ඔහුට සාත්ත්වික ගුණය ඇත. ඔහු සියලු ආගමික ප්රතිපත්තිවල බැඳී සිටියි. යූප යනු කිසියම් ස්ථම්භයක් හෙවත් කණුවකි.
සාර යෝගය
සියලුම ග්‍රහයෝ කේන්දරයේ 4, 5, 6, 7 ආදී ස්ථානවල සිටින්නේ නම් මේ යෝගය යෙදේ. මෙවැනි යෝගයකින් යුක්ත පුද්ගලයා ඊතල, දුනු ආදිය සකසන්නෙක් යැයි දක්වා ඇත. වර්තමානයට සාපේක්ෂව සැලකීමේදී මෙවැන්නෝ යම් යම් ආයුධ සකසන්නේ යැයි පැවැසුවාට වරදක් නැත. ඔහු යම් යම් දරුණු වැඩ කරන්නන් අතර ප්‍රධානියකු වීමට ද අවකාශ ඇත. ඔහු වෙඩික්කරුවෙකු ද විය හැකිය. මොහු මස් මාංශ භෝජනය කරයි. දරුණු වැඩවලට සම්බන්ධ වේ.
සර යන්නෙන් ඊතලය, දුන්න යන්න අර්ථවත් කරයි.
ශක්ති යෝගය
සියලුම ග්‍රහයෝ 7, 8, 9, 10 ස්ථානවල පමණක් සිටින්නේ නම් මේ ශක්ති යෝගය යෙදේ. මේ යෝගයෙන් යුතු පුද්ගලයා අසතුටෙන් යුක්තය, දුප්පත්ය. අසාර්ථක අයෙකි. වටිනාකමින් තොරය. උදාසීනය. කෙසේමුත් දීර්ඝායුෂ විඳී. ඔහුට යුද කටයුතු වැනි දෑවලදී සටන්වලදී නිසි ලෙස සහභාගි වීමේ තියුණු මනසක් ඇත. ශක්ති යනු ජවය යන්නයි. එමෙන්ම බලවත් ආයුධය යන්නද ඉන් අදහස් කරයි.
දණ්ඩ යෝගය
සියලුම ග්‍රහයෝ 10,11,12 සහ ලග්නයේ නම් මේ දණ්ඩ යෝගය යෙදේ. මෙවැනි යෝගයෙන් යුක්ත පුද්ගලයා තම භාර්යාව හා දරුවන්ගෙන් වියුක්ත වන නැතහොත් අහිමිවන කෙනෙක් විය හැකිය.
මිනිසුන් ඔහුව අත්හරී. ඔහු අතෘප්තිකර භාවෙන් යුක්ත වන අතර යම් යම් පහළ මට්ටමේ අයට සේවාවන් කරයි. දණ්ඩ යන්න අන්‍යයන්ට දඬුවම් කිරීමට යොදාගන්නා දණ්ඩකි.
නෞකා යෝගය
සියලුම ග්‍රහයෝ ලග්නයේ සිට ඇති භාව 7ක සිටින්නේ නම් මේ යෝගය යෙදෙයි. මේ යෝගයෙන් යුක්ත පුද්ගලයා දියට වතුරට සම්බන්ධ කටයුතුවලින් මුදල් උපයයි. ඔහු නොයෙකුත් දෑ සඳහා ආශාවන් ඇත. එවැනි සුවිශේෂ දෑ සඳහා ඔහුට ප්‍රසිද්ධියක් ද ඇත. ඔහු දරුණුයි. නෞකා යනු නැව යන්නයි.
ජලය සම්බන්ධව කටයුතුවලදී දක්ෂ වේ. දක්ෂ ලෙස පිහිනීම, එහිදී යම්යම් අනතුරුවලට ලක් වූ අය ගොඩගැනීම වැනි දෑ සඳහා මොහුට විශේෂ හැකියාවක් ඇත.
කූඨ යෝගය
සියලුම ග්‍රහයෝ 4 වැන්නේ සිට ඇති භාව 7 හි සිටින්නේ නම් මේ යෝගය යෙදේ. මෙවැනි යෝගයෙන් යෙදුණු අය බන්ධනාගාර නිලධාරින් වැනි සේවකයන් විය හැකිය. ඔහු බොරු කරන්නෙක්ද වීමට අවකාශ ඇත. මෙවැන්නන් කඳුකර ප්‍රදේශවල නැතහොත් යම් යම් බල කොටුවල වැඩ කරන්නන් විය හැකිය.
මෙය ඉපැරැණි යුගයන්ට ආශි‍්‍රතව සඳහන් කොට ඇති කියමනකි. පැරැණි හිමිකරුවන් යම් යම් බල කොටුවල, කැලයේ, වනාන්තරවල සිරගතව සිටීමට සැලස්විය. ඔවුන්ගේ ආරක්ෂකයන් වශයෙන් මොවුන් මෙකී ස්ථානවල හැසිරෙනවා යැයි දැක්වුවත් එය අදට අදාළ නොවේ.
මොහු කෲරය. දුප්පත්කමින් යුක්තය. කූඨ යන්නෙන් කිසියම් කණ්ඩායමක් ද එසේ නැතහොත් කඳුකරයේ මුදුනද අර්ථවත් වෙයි.
ආචාර්ය ජී. ඇම්. ගුණපාල