වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
දෛව අංක 5න් උපන් ඔබ ගැනයි මේ
සමාජයේ බොහෝ දෙනකු වාසනා අංකය නමින් හඳුන්වන දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව අපි දනිමු. පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා හෙළි කරගැනීමේදී දෛව අංකයට සුවිශේෂී තැනක් හිමිවෙයි. තමන්ගේ උපන්දිනය දන්නා ඕනෑම කෙනකුට දෛව අංකය පහසුවෙන් සොයාගත හැකිය.
එහිදී ඔබේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් ලැබෙන තුරු එකට එකතු කිරීම අවශ්‍ය වේ. මේ උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.
උදා - 1985.11.25
1+9+8+5+1+1+2+5 = 32
3+2= 5
එසේ ඔබ උපන් අවුරුද්ද මාසය දිනය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ඔබගේ දෛව අංකය අංක 5 නම් ඔබ බුධ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මෙය ඔබගේ ජීවිතයේ ස්ථිරසාරභාවය යම් මට්ටමකට අඩු කිරීමට හේතු වන අතර සිතිවිලිවල ඒකාත්මික බව අඩු කිරීමට හේතු වෙයි. එක ස්ථාවර සිතිවිල්ලක කටයුතු කිරීමට අපොහොසත් වන අතර විටින් විට අදහස් වෙනස් කරන ස්වභාවය ඇති කරයි.
එමෙන්ම ඔබ එකම දෙයකට කොටු වීමට කැමැති නැත. ජීවිතයේ සෑම දෙයකම විවිධත්වයක් සහ වෙනසක් අපේක්ෂා කරයි. බොහෝ කාලයක් එකම තැන රැඳී සිටීමට කැමැති නැත. ඔබ රැකියාවක් සහ ව්‍යාපාරයක් පටන් ගත්තත් ටික කාලයක් යන විට එය වෙනස් කිරීමට සිතෙයි. ජීවත්වන පරිසරයද වෙනස් කිරීමට සිතයි. ඔබ නිවසක් අංග අංගසම්පූර්ණව හැදුවත් ටික කාලයක් යන විට නැවත එය වෙනස් කොට සදන්නට හෝ අලුතින් කොටස් එකතුකර විවිධ විදිහට වෙනස්කම් කරන්නට සිත් දෙයි. එමෙන්ම ඔබ යම් තීරණයක් ගැනීමට පෙර බොහෝ කල්පනා කරයි. දෙපැත්තේම වාසි අවාසි හොඳීන් කල්පනා කර බලා බොහෝවිට තීන්දු තීරණ ගනී. මෙහි ඇති යම් දුර්වලතාවයක් වන්නේ හදිසි අර්බුදකාරී අවස්ථාවක ක්ෂණිකව යම් යම් තීරණවලට එළඹීමේ නොහැකියාවයි.
ඔබ ස්වාධීනව කටයුතු කිරීමට කැමති පුද්ගලයෙකි. ඔබටම ආවේණික අනන්‍ය වූ ගති ලක්ෂණ ඔබට ඇත. ඔබ නිදහස් පෞරුෂයකට හිමිකම් කියයි. ස්වභාව සෞන්දර්ය නැරඹීමටත් ඒවා බලමින් සංචාරය කිරීමටත් ඔබ බොහෝ ආසා කරයි. විනෝදයෙන් විහිළුවෙන් තහළුවෙන් කාලය ගතකිරීම ද ඔබේ සිරිතක් වෙයි. කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා සිතන්නේ ද නැත. ඔබගේ දුර්වලතාවයක් වන්නේ පහසුවෙන් අන් අයට ඔබව ඕනෑ පැත්තකට නම්මවා ගැනීමට හැකි වීමයි. වැදගත් තීන්දු තීරණ ගැනීමේදී ඒ පිළිබඳ දන්න විශ්වාසවන්ත අයගේ උපදෙස් ගැනීම ඉතාමත් යහපත් වෙයි. ඔබව සතුටු කිරීමට බොහෝ දේවල් අවශ්‍ය නැත. සමහරවිට එක් යහපත් වචනයකින් පවා ඔබ සෑහීමකට පත්වන පුද්ගලයෙකි.
ඔබ යම් දෙයක් ආරම්භ කිරීමට පෙර බොහෝ සැලසුම් කරයි. ඒ පිළිබඳ ඉතාමත් ලොකුවට කල්පනා කරයි. එහෙත් එය පටන් ගත්ත විදිහට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් තිබෙනවා ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. පටන් ගන්නට තිබුණු වුවමනාව පවත්වාගෙන යෑමට ටික කාලයක් යද්දි නැති වී යයි. එය අතහැර දැම්මාය කියා ඔබට කිසි ගාණක් ද නැත. එය සාමාන්‍ය සිද්ධියක් ලෙස සලකා ඔබ හිත හදා ගනියි. එක දෙයක් කරගෙන යන ගමන් තව දෙයක් ගැන කල්පනා කරන ස්වභාවය ද ඔබේ පවතී. එම නිසා දෙකම අසාර්ථක වීමට තිබෙන ඉඩකඩ වැඩි බව මතක තබා ගන්න. සමාජයේ අනෙකුත් පුද්ගලයන් ඔබ ගැන එතරම් විශ්වාස නොකරන්නේ ඔබගේ පවතින්නා වූ මේ අස්ථිර ස්වභාවය නිසයි.
ඉතාමත් ප්‍රියමනාප ලෙස කැපී පෙනෙන ලෙස අඳීන්නට පලඳීන්නට ඔබ ආසා කරයි. තමාට යමක් කමක් තිබෙන කෙනෙක් ලෙස සමාජය තුළ පෙනී සිටින්නට ද ඔබ කැමති වෙයි. දැනුම එකතු කිරීමට අලුත් දේවල් ඉගෙන ගැනීමට පොත්පත්වලට ලේඛන කලාවට ඔබ ඉතාමත් ප්‍රිය කරයි. ආදරය කරන්නට වගේම ආදරය ලබන්නට ද ඔබ ඉතාමත් ආසා කරන පුද්ගලයෙකි. ඔබ තමන්ගේ පවුල තුළ ඉතාමත් ආදරණීය ප්‍රියමනාප පුද්ගලයකු ලෙස ජීවත් වෙයි. ඔබට අන් අය යටතේ වෘත්තීන් කරනවාට වඩා තමන්ගේම නිදහසේ කළ හැකි ව්‍යාපාර හෝ වෘත්තින් තෝරාගැනීම ඔබට ඉතාමත් පලදේ.
(දෛව අංක 6 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)