කාලගුණ අනාවැකි හරියටම දැනගනිමු

ජනවාරි 10, 2025

කාලගුණය මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට අතිශයින් බලපායි. කල් තබා ඒ බව දත හැකි නම් ඊට අනුකූලව තමන්ගේ කටයුතු, ජීවිකා වෘත්තිය, ගමන බිමන ආදී නොයෙක් කරුණු සැලසුම් කළ හැකි වේ.

ඉදිරි කාලගුණය ගැන කල් තබා කියන්නට ලොව රටවල්හි කාලගුණ විද්‍යාව පිළිබඳ අනාවැකි පළ කරන්නෝ වෙති. නවීන විද්‍යා හා තාක්ෂණික ඥානය ඔස්සේ විවිධ කාලගුණික උපකරණ ඇසුරෙන් ඔවුහු සිය අනාවැකි පවසත්. අපේ රටේ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැස්ස, සුළඟ, නියඟ, මුහුදු රළ ආදී නොයෙක් කරුණුවල ස්වභාවය කල් තබා පවසනු ලැබේ. අද ලොව කාලගුණ අනාවැකි පවසන්නේ විද්‍යාත්මක නවීන උපකරණ ඔස්සේ ලැබෙන දත්ත මතය. එහෙත් අපේ රටේ පැරැන්නෝ තම ජීවිතය තුළ ලද අත්දැකීම් ඔස්සේ ඉදිරියේ පවත්නා තත්ත්වය ගැන කියන්නට පොහොසත් ය.

ඈත වනචාරී යුගයේ මිනිසාට වඩාත් හමු වූයේ වන සතුන් ය. ඔවුන්ගේ ශබ්දයේ ස්වභාවය, හැසිරීමේ ස්වභාවය ඔස්සේ යම් යම් නිගමනවලට ඒමේ හැකියාව ඒ මිනිසුන්ට විය. මිනිසාට වඩා ඉක්මනින් සතුන්ට පරිසරයේ වෙනස්වීම් ස්වභාවය පිළිබඳව දැනීමේ ඉව ඇත. ගිනිකන්දක් පිපිරෙන්නට ආසන්න කල බොහෝ කල් තබා සතුනට වැටහේ. සුනාමි ව්‍යසනය කාලගුණ උපකරණ තුළින් ප්‍රකාශ කරන්නට පෙර අපා දෙපා සිවුපා සත්ත්වයෝ සිය හැසිරීම් රටාවෙන් පෙන්නුම් කළහ. බලවත් විපත් වන බව තේරුම් ගන්නා සත්වයෝ ප්‍රදේශය හැර යති. සුනාමි ව්‍යසන අවස්ථාවේ යාල වනෝද්‍යානයෙහි සත්වයෝ මුහුදු ප්‍රදේශයෙන් බොහෝ ඈතට දිව ගොස් සුරක්ෂිත වූහ. සත්ත්වයන් ප්‍රදේශය හැර යාම, නොසිතූ ලෙස මහා ශබ්ද නැඟීම, ආහාර වර්ජනය කිරීම, නොනිදා සිටීම, දුක්මුසු ස්වරූපයෙන් සිටීම ආදී නොයෙක් කරුණු ඉදිරියේ විය හැකි මුහුද ගොඩ ගැලීම, මහා ජල ගැලීම්, ගිනිකඳු පිපිරීම්, භුමිකම්පා, චණ්ඩ මාරුත ආදී බිහිසුණු විපත් පිළිබඳ පෙර නිමිතිය. සුනාමි අවස්ථාවේ සත්ත්වෝද්‍යානවල සතුන් මහා ශබ්ද පැවැත්වූ ආකාරය පිළිබඳ පුවත් ප්‍රකටය. මුහුද ආසන්න ප්‍රදේශවල විසූ බලු බළල් ආදීන් මෙන්ම තලගොයි, මුගටි ආදී සතුන් ද ඈතට දිව ගියේ විපතක ඉව දැනීම මතය.

සතුන්ට පවත්නා ඉව ඔස්සේ ඔවුන්ගේ හැසිරීම් රටාවේ වෙනස්වීම් අපේ ගැමියෝ හඳුනාගෙන සිටිති. ඒ චර්යාවන් මත ඉදිරියේ සිදුවන සිද්ධීන් පිළිබඳ අනාවැකි ඔවුහු පළකරති.

නියං කොබෙයියන් නාද කරනු අසන ගැමියා ඉදිරියේ නියඟයක් සිදු වෙතැයි පවසයි. රැහැයියන්ගේ නාදයද ළඟ නියඟයක් ගැන කියැවෙයි.

වඩුකුරුල්ලා, වැව් තාවුල්ලේ ගස්වල පහළ අතුවල කූඩු තැනීම එම කන්නයේ වැවට අඩුවෙන් වතුර ලැබීමත්, ඉහළ අතුවල කූඩු තැනීම එම කන්නයේ වැවට වැඩියෙන් වතුර ලැබීමත් කියාපායි.

වැහිළිහිණියන් රංචු වශයෙන් අහසේ පියාසර කිරීමත්, ගේ කුරුල්ලන් වැල්ලට පැන වැලි නෑමත් වැස්ස ළඟ ළඟම බව කියාපායි.

කළු කුහුඹින්, කඩි විශාල ලෙස ගුල්වලින් එළියට ඒම ද, ජල මැඩියන්ගේ මහ හඬ ශබ්දයද වර්ෂාව ළඟ බව කියාපාන පෙර නිමිති සේ හඳුන්වයි.

මෙරු ඉගිල්ලීම ද වැසි වසින බව කියාපායි. කෑඳැත්තා පහළ අහසේ ශබ්ද නඟමින් සැරි සැරීම වර්ෂාව ළඟ ළඟ ඒමේ පෙර නිමිතිය. උලමා හඬ විපතක් සේ සලකන ගැමියා උලමා එළිවෙන්නට ආසන්නයේ හැඬලීම වර්ෂාව ළඟ බව පවසන කරුණකි. උකුස්සන් අහසේ පහතින් කතිර ස්වරූපයට පියෑඹීම දකින ගැමියා වැස්ස අද හෙටම එතැයි පවසයි.

රාත්‍රී කාලයේ ගම්මානයේ වෙල්වල නරින්ගේ ‘හූ’ හඬ ශබ්දය ඇසෙන කල “ඔය ඉතින් වර්ෂාව අත ළඟ බව කියා පාන ලකුණු “ යැයි ගැමියා කියයි.

පොළවේ ගුල්වල වසන කකුළුවන්ටද වර්ෂා ලකුණු දැනේ. උන් පොළව මතුපිටට එයි. වර්ෂාව පතිත වේ යයි සිතන ඔවුන් වහ වහා නරින්ගේ වල්ගවල එල්ලෙති. නිරායාසයෙන්ම ඒ කකුළුවෝ නරින්ගේ ගොදුරු වෙති.

රාත්‍රී කාලයේ අහසේ විටින් විට විදුලි කොටන කල වර්ෂාව ළඟම බව පවසන ගැමියා රාත්‍රියේ ඇඟපත පුරා දහඩිය ගලන කල ද වර්ෂාව ළඟ ළඟ බවේ පෙර නිමිති යයි කියයි.

තවද මීදුම එක දිගටම පවතියි නම් වර්ෂාව අඩුවක් වන බව අදහස් කරන ගැමියා ගහක කොළයක් වත් නොසෙල්වන නිශ්චල ස්වභාවය පවතින විට වර්ෂාව පුරාගෙන එන බව කියයි. කිරලිය වැව් කන්දට බරව බිත්තර ලෑම එම කන්නයට අඩු වතුරක්ද, වැව් තාවුල්ලේ කෙළවර බිත්තර ලෑම වැඩි වතුරක් ද ගෙන දෙන පෙර නිමිති යැයි සැලකේ.

කකුළුවන් තමන්ගේ ගුල කෙළින් නොව වංගු සහිතව හාරන්නේ නම් එම කන්නයට වැඩි වතුරක්ද සිරස් අතට හාරන්නේ නම් අඩු වතුරක්ද ලැබෙන බව පෙර නිමිති සේ ගැමි ජන සමාජය අදහස් කරයි. එසේම කක්කුට්ටන් වෙළේ නියරේ පහළින් ගුල් හාරයි නම් පෑවිල්ලක්ද ඉහළින් ගුල් හාරයි නම් වැස්සක් ද බලාපොරොත්තු විය හැකිය.

හිටි ගමන් ගෘහාශි‍්‍රතව සැරිසරන මුගටි, තලගොයි, බලු, බළල් ආදීහු වහ වහා වනාන්තරයට දුව යාමට පුළුවන. වනාන්තරයේ වන සත්තු සුපුරුදු විධියට නොව අමුතුම හඬ දෙන්නට පුළුවන. කලබලයෙන් සැරිසරන්නට පුළුවන. මේ ලක්ෂණ මහා ජල ගැල්මක, භූමි කම්පාවක, ගිනිකඳු, පිපිරීම්, මුහුද ගොඩ ගැලීම් ආදී මහා බිහිසුණු විපත්, පිළිබඳව එම සතුන්ට දැනී ඔවුන් කලබලව හැසිරෙන බව කියා පෑමය. මේ ආකාර පෙර නිමිති පිළිබඳ අවබෝධයක් ඇති ජන සමාජය ඒ අනුව සුදුසු ලෙස දිවිමග සකසා ගනිති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.