මුල සිට සරලව ඡ්‍යොතිෂය උගනිමු

ජනවාරි 10, 2025

ලෝක ශිෂ්ටාචාරයත් සමඟ බිහිවූ උසස්ම විද්‍යාව ලෙස ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැඳින්විය හැකිය. අප ජීවත්වන මේ මහ පොළොව වූකලී විශ්ව පරිසරයේ තවත් එක් සාමාජිකයකු පමණි. එනම් අනන්ත අපරිමාණ විශ්වය තුළ තිබෙන්නා වූ සූර්යයා ප්‍රමුඛ ග්‍රහ මණ්ඩලයේ සාමාජිකත්වයයි.

මහ පොළොව අපගේ පරිසරයට බලපාන්නා සේ ම ඊට අනෙක් ග්‍රහයන්ගේ බලපෑම නිරන්තරයෙන් ම බලපානු ඇත. ඒ අනුව මේ ග්‍රහයන් හා අනේකවිධ නක්ෂත්‍ර තාරකාවන් මුල්කොට මහ පොළොවේ උපදින සියලු සත්ත්වයන්ට කර්මය බලපාන ආකාරය හා ඒ අනුව ජීවිතය ගතවන අයුරු පහදා දෙන ශාස්ත්‍රය ඡ්‍යොතිෂය වේ. ඔබ කවරෙක් නමුදු තමා කරන ලද කුසලාකුසලයන් මත ජීවිතය ගතවන විලාසයක් ඇත. එය කිසිවකුට වුවද කුමන සාධකයක් අනුව වුව ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් ඉපැරැණි ත්‍රිකාශදර්ශී ඍෂිවරු තම තමන්ගේ උදාරතර ඥානය ආධාර කර ගනිමින් විශ්වයේ ග්‍රහ ගමන පදනම් කොටගෙන යමෙක් උපදින වේලාවට අදාළව ග්‍රහයන් ආකාශ තලයේ සිටින ආකාරය අනුව මත ප්‍රකාශ කළ හැකි බව තේරුම් ගත්හ. එය ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ලෙස ගොඩනැඟුහ.

ඔබ අදහන ආගම සිහිකර ඉටු දෙවියන්ගේ ආශිර්වාදය ලබා මේ ශාස්ත්‍රය මට මැනවින් පිහිටත්වා යන පිරිසුදු සිතුවිල්ලෙන් මේ පාඩම් මාලාව හදාරන්න. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කරන ඔබ නිදහස් මනසකින් යුතුව කටයුතු කළ යුතුය.

ඡ්‍යොතිෂය උගෙනීමට පෙළඹෙන ශිෂ්‍යයා තුළ අනිවාර්යයෙන්ම පැවැතිය යුතු සම්මත ආචාරධර්ම ද ඡ්‍යොතිෂයෙහි පෙන්වා දී ඇත.

ඒවා පිළිපැදීම තුළින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන ආධුනිකයාට තම කාර්යය මැනවින් සාක්ෂාත් කර ගැනුමට මං පෙත් විවර වනවා ඇත. ඒ අනුව, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නට අත්පොතේ තබන ආධුනිකයා,

1. තමා අදහන ආගම ධර්මය කෙරෙහි වත්පිළිවෙත් නිවැරැදිව ඉටුකරමින් පැහැදීම කළ යුතුය.

2. පිවිතුරු ගෞරවයකින් ගුරුවරයා කෙරෙහි ගරුබුහුමන් දැක්විය යුතුය.

3. තම විෂය කෙරෙහි පෘථුල පෞරුෂයක් ලබා ගත යුතුය.

4.කපටිකමින්, අනුන් රවටන්නෙක් නොවිය යුතුය.

5. සත්‍යයට ගරු කළ යුතුය.

6. සංවරශීලි විය යුතුය

7.ගණිතයෙහි දක්ෂයකු විය යුතුය.

8. පැරැණි පොතපත කියවන, ගවේෂණශීලි අයකු වීම වැදගත්ය.

ඇසුපිරූ තැන් ඇති ගුරුවරයා තමාට ලබාදෙන ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය දැනුමෙන් පොහොසත් වීම මෙන්ම ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ශාස්ත්‍රයේ එක් කොටසක් පමණක් උගෙනුම ලබන නිසා තවත් කොටසක් පතපොත කියවා සම්පූර්ණ කර ගැනීමත් අනෙක් කොටස විමසා බැලීමෙන්, ප්‍රශ්න කිරීමෙන් උගෙන ගැනීම කළ යුතුය. අනෙක් කොටස පර්යේෂණාත්මකව උගත යුතුය.

රාශි සහ ග්‍රහයෝ

ඡ්‍යොතිෂය අනුව ලග්න 12ක් දැක්වේ. කිසියම් මොහොතක් පාසා නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශිය ලග්නය ලෙස අප සලකනු ඇත. පොළොව තම අක්ෂය වටා දවසක් තුළ කරකැවීමේදී (භ්‍රමණය) ඊට ගතවන කාලය පැය 24කි. මේ පැය 24 තුළ රාශි 12 එකින් එක උදාවනු ඇත. කවර ස්ථානයකට අදාළව වුව නැඟෙනහිර ක්ෂිතිජයට සාපේක්ෂව උදාවන රාශිය අපි එම මොහොතේ උදා ලග්නය ලෙස සලකමු. ඒ අනුව රාශි 12ක් යනු අංශක 360ක් වේ. ඒ අනුව එක් රාශියක ප්‍රමාණය අංශක 30කි.

මේ රාශි 12 හෙවත් අංශක 360 උදාවී ක්‍රමයෙන් ගතවීමට ඇති කාලය පැය 24කි. එම පැය 24 ගතවනුයේ අංශක 360ක් සඳහා යැයි සැලකුවහොත් එක් අංශකයක් ගත වීමට ගතවන කාලය (360/(24ය60)) මිනිත්තු 4ක් වන බව ඔබට පැහැදිලි වනු ඇත. කෙසේ නමුත් පැය 24ක් තුළ රාශි 12 සම්පූර්ණයෙන්ම උදාවී ක්‍රමයෙන් ගත වෙවී යනු ඇත.

එක් රාශියක් උදා වී ගෙවෙන විට අනෙක් රාශිය උදාවනු ඇත. රාශි 12 මෙසේය.

1. මේෂ 2. වෘෂභ 3. මිථුන 4. කටක 5. සිංහ 6. කන්‍යා 7. තුලා 8. වෘශ්චික 9. ධනු 10. මකර 11. කුම්භ 12. මීන

ග්‍රහයෝ

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ග්‍රහ පිහිටීම් ප්‍රධාන වේ. පලාපල කථනයක් සිදුවන බැවින් ග්‍රහ පිහිටීම් සංයෝග අතිශය වැදගත් වේ. ආකාශ ගෝලයේ පවත්නා ග්‍රහතාරකා අතර ඉතාම වැදගත් ග්‍රහයන් නව දෙනකු පිළිබඳව පූර්වාචාර්යවරුන් හඳුන්වා දී ඇත. අප ජීවත්වන මේ මහපොළොව සූර්යයා ප්‍රමුඛ ග්‍රහ මණ්ඩලයට අයත් වේ.

මේ සියලු ග්‍රහයන් පවතින්නේ සූර්යයා මුල්කොට ගෙන වේ. ඔවුන් සියල්ල සූර්යයාගෙන් ජීවත් වන්නන් හා සමානය.

සියලු ග්‍රහයෝ සූර්යයා වටේ කරකැවෙමින් ගමන් කරයි. තම තමන්ගේ කක්ෂයේ දිග ප්‍රමාණය අනුව සූර්යයා වටේ ඔවුන්ට යාමට ඇති කාලය අඩු වැඩි වන්නේය.

සූර්යයා හා චන්ද්‍රයා ප්‍රධාන ග්‍රහයින් සේ සැලකේ. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයාය. අපගේ පොළොව වටේ කැරකැවෙමින් සූර්යයා වටා ගමන් කරන චන්ද්‍රයාත් ප්‍රධාන ග්‍රහයකු ලෙස සලකනු ලැබේ. මීළඟට කුජ( අඟහරු), බුධ, ගුරු( බ්‍රහස්පති), ශුක්‍ර(සිකුරු), ශනි(සෙනසුරු) යනුවෙන් ග්‍රහයන් 5 දෙනකු ඇත.

මෙයට පරිබාහිරව රාහු කේතු යනුවෙන් ග්‍රහයන් දෙදෙනකු ඡ්‍යොතිෂයේ දැක්වේ. ඇත්ත වශයෙන් මේ රාහු, කේතු අනෙක් ග්‍රහයන් මෙන් ග්‍රහලෝක නොවේ. සඳ සමඟින් පොළොව ඉර වටා ගමන් කිරීමේදි ඇති කරන ඡේදන ලක්ෂ දෙකක් (ව්ධපබඩ ව්ධඤඥ/ ඉධභබඩ ව්ධඤඥ) යනුවෙන් අවරදිගුන් හඳුන්වනු ලබයි.

උතුරුපස ඡේදන ලක්ෂය රාහුත් දකුණුපස ඡේදන ලක්ෂය කේතුත් වශයෙනි. ඇත්ත වශයෙන්ම රාහු කේතු ලෙස ග්‍රහ නාමය ආරෝපණය කර ඇති මේ ගණිතමය ලක්ෂ්‍ය දෙක අනෙක් ග්‍රහයන්ටද වඩා ප්‍රබල බව පිළිගැනේ.

රාශි අධිපතියා

 

රවි, චන්ද්‍ර ආදි ග්‍රහයන් 9 දෙනාගෙන් ඡායා ග්‍රහයන් ලෙස සලකන රාහු හා කේතු හැර අනෙක් ග්‍රහයන්ට මේ රාශි 12 අධිපතීත්වය පවරා ඇත. ඒ අනුව රවි ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වේ. චන්ද්‍රයා අප පෘථිවිය වටා කරකැවෙන අපේම ග්‍රහලෝකයට අයත් චන්ද්‍රයාය. (අනෙක් ග්‍රහලෝකයන්ටද චන්ද්‍රයන් ඇත.) මේ දෙදෙනා ග්‍රහලොව පියා හා මව ලෙස සලකනු ඇත.

එසේම සූර්යයා නිසා සියලුම ග්‍රහයන් පවතින නිසා මේ සූර්යයා ආත්මකාරක ග්‍රහයා ලෙස සැලකේ. අපගේ මව, ඇය කන කෑම බීමෙහි සෑම දෙයකින්ම උණන ලේ සුදුසු සේ කිරි බවට පත්කර අපගේ පෝෂණය සඳහා පොවන්නාක් මෙන් විශ්ව තලයේ සියලු ග්‍රහ නක්ෂත්‍ර තාරකාවන්ගෙන් ඇතිවන යහපත් අයහපත් කිරණ ධාරා පොළොවට ගැළපෙන ලෙස ශුද්ධ කර එවන්නා සේ පොළොව පෝෂණය කිරීමට උදව් කරන්නාය යන අර්ථය මත සලකා චන්ද්‍රයා මාතෘ කාරකයා ලෙස සලකනු ඇත. ඡ්‍යොතිෂයට අනුව සඳු සිත නියෝජනය කරන්නා ද වනු ඇත.

මේ අනුව මේ ප්‍රධාන ග්‍රහයන් දෙපළට එක් එක් රාශිය බැගින් ද අනෙක් ග්‍රහයන් 5 දෙනාට රාශි දෙක බැගින් ද හිමිවන ලෙස අයිතිය පවරා ඇත.

මේ අනුව කුජට මේෂ, වෘශ්චික, රාශි ද බුධට මිථුන, කන්‍යා රාශිද, ගුරුට ධනු, මීන රාශිද, සිකුරුට වෘෂභ, තුලා රාශිද, සෙනසුරුට, මකර, කුම්භ රාශිද රවිට සිංහයද චන්ද්‍රයාට කටකය ද අයත් බව පැවැසිය හැකිය.

රවි අතිශයින්ම තේජෝ බලයෙන් යුතු ග්‍රහයා වේ. සඳු ආපෝ ගුණයෙන් යුත් ග්‍රහයාය. අතිශයින්ම තේජෝ රාශියක් ලෙස සලකන සිංහය සූර්යයාට අයත්වන අතර අතිශයින්ම ආපෝ රාශියක් වන කටකය චන්ද්‍රයාට පවරා ඇත.

පීතෘකාරක ග්‍රහයා වන රවිට සිංහය ද මාතෘකාරක ග්‍රහයා වන සඳුට කටකය ද අයත් වේ. කන්‍යාවටත්, මිථුනයටත් බුධ අයත්ය.

බුධ ග්‍රහලොවේ සුරතලා හෙවත් ළාබාල කුමරුවන් ලෙස හඳුන්වයි. මවුපියන් හෙවත් අඹුසැමියන් සේ සලකන මේ රවි - චන්ද්‍ර දෙපළගේ දරුවකු සේ සලකන බුධ ග්‍රහයා ඔවුන්ගේ පුතු වන්නේය. මව්පිය අඹුසැමියන්ගේ ලෙන්ගතුකම, ආදරය, පේ‍්‍රමය, යන කරුණුවල එකතුව මතය, දරුවකු උපදින්නේ.

මේ තත්ත්වය නිරූපණය කරන දියණිය වන්නේ සිකුරුය. මේෂ, වෘශ්චික රාශි දෙක නියෝජනය කරන ග්‍රහයා වන එනම් සෙන්පතියා, ආරක්ෂකයා ලෙස හැඳින්වෙන කුජ එඩිතරකම හා වීර්යය , වික්‍රමය නියෝජනය කරන පවුලේ ආරක්ෂකයා බඳුය.

ගෙදර දොරේ හා පවුලේ දියුණුව ද සමගිය සමාදානය ද සඳහා වැඩිහිටියකුගේ දැනඋගත් අයෙකුගේ අවවාද අනුශාසනා ලැබෙන්නේ නම් එය ඉතා වැදගත් කරුණකි. මේ තත්ත්වය නියෝජනය කරන දෙවියන්ගේ ද ගුරු ලෙසින් හඳුන්වන සුරගුරුගේ රාශි වන්නේ ධනු හා මීන රාශීන්ය.

ගෙදරක මෙහෙකරුවාට හිමිවන්නේ අන් හැමටම වඩා අඩු ස්ථානයයි. සෙනසුරු මේ තත්ත්වය නිරූපණය කරයි. මකරය හා කුම්භය සෙනසුරුට අයත් වන්නේය.

රාශි දොළහේ අධිපතීත්වය වුවද තීරණය කර ඇත්තේ එක්තරා විධියක තර්කානුකූල නියමයක් පරිදි බව ඔබට වැටහෙනු ඇත.

(දෙවැනි පාඩම ලබන සතියේ... )

 

ආචාර්ය ජී. ඇම්. ගුණපාලතුෂාරි නේරංජා වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.