ඡ්‍යොතිෂයේ කාලය අවබෝධ කර ගනිමු

ජනවාරි 24, 2025

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ දී කාලය පිළිබඳ හැදෑරීම ඉතා අවශ්‍ය සාධකයකි. ඡ්‍යොතිෂය හැදෑරීමේදී කාලය පිළිබඳ දැනුම ඔබ සතුව පැවතිය යුතු ය. ඡ්‍යොතිෂයේ සියල්ල රඳා පවතින්නේ කාලය පදනම් කරගනිමිනි. කාලය යන්න හඳුනා ගනිමු.

කාලය

සිංහල පැය 60කින් හෝ ඔරලෝසු පැය 24කින් හඳුන්වන්නේ දවසක් වේ. ලංකාවේ පළමු ලිත්හි පඤ්චාංගය සම්බන්ධ කරුණු සියල්ල මෙන්ම ග්‍රහයන්ගේ රාශි ගමන පවා දක්වා තිබෙන්නේ සිංහල පැය හා විනාඩි ක්‍රමයට වේ. වර්තමානයේ දක්නට ලැබෙන්නේ බොහෝවිට ඉංගී‍්‍රසි පැය මිනිත්තු ක්‍රමයට පඤ්චාංගය හා ග්‍රහචාරය ඇතුළු සියලු කාරණා ගොනුකොට දක්වා ඇති අයුරුයි.

මෙහි දී ඔබ අවබෝධ කරගත යුත්තේ සිංහල පැයක් යනු ඉංගී‍්‍රසි පැයෙන් 2/5ක් බවයි. එනම් සිංහල පැයක් යනු ඉංගී‍්‍රසි මිනිත්තු 24කි.

දැනට එතරම් භාවිතයේ නැතත් පසුගිය ශත වර්ෂයේ අගභාගය වනවිට මෙන්ම ඊට පෙර කාලවලදී පන්සලේ හෝ නිවසෙහි සවස හයේ සිට පසු දින උදේ හය දක්වා පිරිතක් කියනවා නම් පැරැණියන් එය හැඳින්වූයේ තිස්පැයේ පිරිත වශයෙනි. මින් අදහස් කරනුයේ සවස හයේ සිට පසුදින උදේ හය දක්වා වන ඉංගී‍්‍රසි පැය 12 සිංහල පැය ක්‍රමයට නම් පැය 30ක් වන බවයි. පැරණි බලි ඇදුරන්, බලි ශාන්තිකර්ම කිරීමේ දී එය හවස හයට ආරම්භ කර අවසන් කරනුයේ ඊට පසුදින දහවල් 12ට ය. මෙය ඔවුන් හැඳින්වූයේ “තිස් පෑ එකහමාරේ බලි යාගය” යනුවෙනි. එනම් පැය තිහක් හා ඉන් භාගයක් වන පැය පහළොවක් වූ කාල සීමාවක් දක්වා පවතින යාගයක් වශයෙනි. මේ සිංහල පැය හතළිස්පහ යනු ඉංගී‍්‍රසි පැයෙන් නම් දහ අටකි. පැරණි සන්නස් ලිපි ලේඛන හා ඓතිහාසික සටහන් පරීක්ෂා කිරීමේ දී ඒවායේ දක්වා ඇත්තේ ඉහත කී සිංහල පැය ක්‍රමයයි. රාජසිංහ රජු කාලයේ එක්තරා දේවාලයක තේවාව පටන් ගෙන ඇත්තේ පැය තිස් දෙක හමාරට බව දක්වා ඇත. එනම් අදට ගැළපෙන ලෙස නම් රාත්‍රී 7ට තේවාව ආරම්භ කළ බවයි.

ඡ්‍යොතිෂයට අනුව අද අන්තර්ජාතික ලිත් හා මෙරට ලිත් වුවද ඉංගී‍්‍රසි පැය, මිනිත්තු ක්‍රමයෙන්ම ගෙන ඇතත් පැරණි ඡ්‍යොතිෂ ග්‍රන්ථවල දක්වා ඇත්තේ ඉහත සඳහන් කළ සිංහල පැය ක්‍රමයයි. පෙරදී එය සිංහල පැය වශයෙන් සඳහන් කළ ද එහි නියම වචනය වන්නේ ලිත් පැය යන්නයි. ඉන්දියාවේ මෙය භාවිත කළේ ඝටි, විඝටි යනුවෙනි. එනම් ඝටි එකක් යනු ඉංගී‍්‍රසි මිනිත්තු 24 කි. විඝටි යනු තත්පර 24කි. එකල වේලාව මැනීමට සකස් කරගත් යන්ත්‍රය “ඝටී යන්ත්‍රය” යනුවෙන් හැඳින්වේ. ඉන් අදහස් කළේ දවස 60කට බෙදන වේලා යන්ත්‍රය යන්නයි.

මෙය තවදුරටත් විස්තර කරමු. කිසියම් දිනක සූර්ය උදාව උදේ 6.00 ටම යැයි අදහස් කරමු. කිසියම් ජන්මියෙක් දවල් 12.00ට උපන්නේ නම් එය සිංහල පැය විනාඩිවලින් හඳුන්වනුයේ පැය පහළොවට උපන් බවයි. කිසියම් විදියකින් ජන්මියා උපන්නේ උදේ 8.00ට නම් එය හඳුන්වනුයේ ඉර උදාවී පැය පහට උපන් බවයි. රාත්‍රී 10.00 උපන්නා යැයි සිතමු. එවිට හඳුන්වනුයේ හතළිස් පැයට උපන් බවයි. එය එසේ වූයේ කෙසේ ද? උදේ 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ගතවූ කාලය ඉංගී‍්‍රසි පැය 16 කි. මෙය 2 1/2 න් වැඩි කළ විට හතළිහ බවට පත්වේ. මේ ආදී වශයෙන් සූර්ය උදාව 6.00 වූ දිනයක පසු දිනට එළිවෙන පාන්දර ඔරලෝසු පැයෙන් 4.24ට ජන්මියෙක් උපන්නේ නම් පැරණි කේන්දරවල එය දක්වා ඇත්තේ පනස්හය පැයට උපන් බවයි.

දවස

දවස යනු ඉංගී‍්‍රසි පැය 24කි. සිංහල පැය 60කි. පැරණි සිද්ධාන්ත ග්‍රන්ථවල දැක්වෙන පරිදි “භවක්‍ර භමණං නිත්‍යං නක්ෂත්‍රං දින වූ මුච්‍යතෙ” යනුවෙන් දක්වා ඇති පරිදි නිරන්තරයෙන්ම තාරකා චක්‍රය මුළුමනින්ම කරකැවීම නක්ෂත්‍ර දිනයක් හෙවත් අප භාවිත කරන දිනයක් ලෙස දක්වා ඇත. මෙහිදී එක් වරක් තාරකා චක්‍රය හෙවත් භා චක්‍රය නොහොත් තවත් පහසුවෙන් නම් පෘථිවිය එක් වරක් තමා වටා කරකැවීමට ගතවන කාලය දිනයක් වනු ඇත.

සතිය

දින හතක් සතියක් වන්නේ ය. ග්‍රහයන්ගේ ගමන අනුව මෙම දින හත ඉරිදා, සඳුදා .... ආදී වශයෙන් සෙනසුරාදා දක්වා අනුක්‍රමයෙන් දක්වා ඇත්තේ ඒ ඒ ග්‍රහයන් පිහිටා ඇති ආකාරයට බව සූර්ය සිද්ධාන්තය පවසයි.

පක්ෂය

ශුක්ල පක්ෂය හා කෘෂ්ණ පක්ෂය වශයෙන් පක්ෂ දෙකකි. එනම් පුර පක්ෂය හා අව පක්ෂයයි. චන්ද්‍රාලෝකය අඩුවැඩි වීම අනුව මෙය වර්ග කෙරේ. ශුක්ල හෙවත් පුර පක්ෂයෙහි උපරිම ආලෝකවත් දිනය පසළොස්වක වන අතර අවපක්ෂය හෙවත් කෘෂ්ණ පක්ෂයෙහි අවසන් දිනය අමාවකයි.

මාසය

පඤ්චාංග ලිත්වල තුන් ක්‍රමයකින් මාසය දක්වා ඇත. එනම් ඉංගී‍්‍රසි මාස, චන්ද්‍රමාස හා සූර්ය මාස ආදී වශයෙනි. ඉංගී‍්‍රසි මාස නම් ජනවාරි, පෙබරවාරි... ආදී වශයෙන් බව ඔබ දනී. සූර්යය මාස නම් සූර්යයා ඒ ඒ රාශි තුළ ගමන් කරන්නා වූ දින 30ක් පමණ වූ කාලයයි. උදාහරණ වශයෙන් අප්‍රේල් 13 හෝ 14 සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වන අතර මැයි 13 පමණ වන තෙක් එහි රැඳී සිටියි. අප එය හඳුන්වනුයේ මේෂ රවිය යනුවෙනි. මැයි 13 සිට ජුනි 14 පමණ වන තෙක් රවි සිටිනුයේ වෘෂභයේ ය. අප එය හඳුන්වනුයේ වෘෂභ රවි යනුවෙනි. මෙලෙස අනුක්‍රමයෙන් සූර්යා ගමන් කරන රාශීන් අනුව එය සූර්ය මාසයක් ලෙස සැලකේ. එවිට මාර්තු 13 සිට අප්‍රේල් 13 දක්වා කාල සීමාව තුළ අප හඳුන්වනුයේ මීන රවිය යනුවෙන් බව ඔබ දනී. කවරෙක් හෝ මීන රවියෙන් උපන්නා යි පැවසුවහොත් ඔහු ඉපදී ඇත්තේ අනිවාර්යෙන්ම මාර්තු 13 අප්‍රේල් 13 අතර කාලයේ විය යුතුය. රවි මීන රාශියට පැමිණි අන්තිම දිනය අප ඡ්‍යොතිෂමය වශයෙන් හඳුන්වන්නේ “මීන රවි තිස්භාග“ යනුවෙනි. මින් අදහස් කරන්නේ සූර්යයා මීනයට පැමිණ එම මීනයෙහි යම් යම් භාගයන් හෙවත් කොටස් වශයෙන් ගමන් කොට තිස්වැනි භාගයට පැමිණි දිනය මීන රවි තිස්භාග බවයි. මෙය බොහෝ දුරට අප්‍රේල් 12 හෝ 13 විය හැකිය.

පක්ෂ දෙකක් චන්ද්‍ර මාසයක් බව ඔබ දනී. එම චන්ද්‍රමාස බක්, වෙසක්, පොසොන් ආදී වශයෙන් නම් කෙරේ. මේ චන්ද්‍ර මාස 12 නම් බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, නවම්, මැදින් ආදී වශයෙනි. සෑමවිටම අප්‍රේල් මාසයත් සමඟම බක් මාසය ආරම්භ වන අතර ඊළඟට වෙසක් මාසය ආරම්භ වේ. අවුරුද්දක් මුළුල්ලේ චන්ද්‍ර මාස 12ක් ඇතත් සඳුගේ චන්ද්‍ර මාසයක් ප්‍රමාණය සූර්ය මාසයක ප්‍රමාණයට වඩා අඩු නිසා වර්ෂ කිහිපයකට වරක් චන්ද්‍ර මාස 13ක් යෙදෙනු ඇත. අප එවැනි මාසවලදී එම චන්ද්‍ර මාසය අධි මාසයක් ලෙස සලකනු ඇත.

සෘතු

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව කාලගුණය මත වෙන් කෙරෙන කොටස් සෘතු යැයි නම් කෙරේ. පෙරදිග ඡ්‍යොතිෂය අනුව වර්ෂයක් තුළ දෙමසින් දෙමසට සෘතු 6ක් උදාවන බව දැක්වේ. මේවා නම් වසන්ත, ගී‍්‍රෂ්ම, වර්ෂා, සරත්, හේමන්ත හා සිසිර වශයෙනි.

මීන - මේෂ දෙරැසෙහි රවි සිටින කාලය වසන්ත සෘතුව ලෙස ද

වෘෂභ - මිථුන දෙරැසෙහි රවි සිටින කාලය ගී‍්‍රෂ්ම සෘතුව ලෙස ද

කටක - සිංහ දෙරැසෙහි රවි සිටින කාලය වර්ෂා සෘතුව ලෙස ද

කන්‍යා- තුලා දෙරැසෙහි රවි සිටින කාලය සරත් සෘතුව ලෙස ද

වෘශ්චික - ධනු දෙරැසෙහි රවි සිටින කාලය හේමන්ත සෘතුව ලෙස ද

මකර - කුම්භ දෙරැසෙහි රවි සිටින කාලය සිසිර සෘතුව ලෙස ද දැක්වේ.

ඉහතින් දැක්වූයේ සූර්ය මාස ක්‍රමය අනුව සෘතු හයයි. චන්ද්‍ර මාස අනුව ද මෙය දක්වා ඇත. එනම්

බක් - වෙසක් දෙමස වසන්තය වශයෙන් ද

පොසොන් - ඇසළ දෙමස ගී‍්‍රෂ්ම වශයෙන් ද

නිකිණි - බිනර දෙමස වර්ෂා වශයෙන් ද

වප් - ඉල් දෙමස සරත් වශයෙන් ද

උඳුවප් - දුරුතු දෙමස හේමන්ත වශයෙන් ද

නවම් - මැදින් දෙමස සිසිර ද වශයෙනි.

අයන

උත්තරායනය, දක්ෂිණායනය වශයෙන් අයන දෙකක් වර්ෂය තුළ ඇත. එක් අයනයක ප්‍රමාණය මාස 06ක්. හෙවත් සූර්ය සෘතු තුනකි. සූර්යයාගේ මකර සංක්‍රාන්තියේ පටන් මාස 6ක් උත්තරායනය ද මීළඟට කටක සංක්‍රාන්තියේ පටන් 6 මසක් දක්ෂිණායනය ද දැක්වේ. මෙයින් උත්තරායන කාලයට දේව දවාල යැයි ද දක්ෂිණ කාලයට දේව රාත්‍රියයි ද කියවේ. මේ අතර මේෂ රාශියේ පටන් කන්‍යා රාශිය දක්වා වූ රාශි හයේ සූර්යයා ගමන් කරන කාලයේ උත්තර ගෝලය යැයිද තුලා රාශිය පටන් මීන රාශිය දක්වා වූ රාශී හයේ දී සූර්යයා ගමන් කරන කාලය දක්ෂිණ ගෝලය යැයිද නම් වේ.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.