වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
විවාහ ප්‍රමාදය වළකන අත්දුටු ක්‍රමයක්
දකුණු ආසියාවේ උරුමය හිමි කර ගනිමින් මෙලොවට බිහි වූ බොහෝ සිංහල හා දෙමළ අය විවාහය සඳහා පුරෝකතන ලබා ගැනීමට ඡ්‍යොතිෂය උපයෝගී කර ගනිති. ඇතැම් අයට තමාට නිසි කාලයේදී විවාහයට ඇතුළත් වීමට නොහැකි වීම මෙන්ම නිසි කල විවාහ නොවී වයස ගෙවී ජීවිතයේ අවසානය වන තෙක්ම තනිකඩව දිවි ගෙවීමටද සිදුවේ.
මෙසේ සිදුවීමට හේතුවන කරුණු කාරණා ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීම තුළින් පැහැදිලිව දැකිය හැකිය. එහෙත් මේ කාරණාවලට සිදුකළ යුතු වත්පිළිවෙත් ඉටු කිරීම මෙන්ම එම පුද්ගලයන් ධර්මානුකූල දිවි පෙවෙතකට අවතීර්ණ වීම තුළින්ද තම ජීවිතයේ අරමුණු මල්ඵල ගන්වා ගැනීමට හැකිවෙයි.
1. ඕනෑම ජන්ම පත්‍රයක සෙනසුරු ග්‍රහයා 1,3,5,7 රාශියක සිටීම විවාහය ප්‍රමාද කරයි.
2. තවද සෙනසුරු දහවැන්නේ සිටීම කන්ඨක ශනි විවාහය ප්‍රමාද කරයි.
3. සෙනසුරුගේ නැකැත් අධිපති සඳු වීමද සඳුගේ නැකැත් අධිපති සෙනසුරු වීමද තුළ විවාහය ප්‍රමාද කරයි.
4. සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටිය සඳුට වැටීමද සෙනසුරු හත අධිපතිට හෝ උප අධිපතිට දෘෂ්ටි හෙළීමද,
5. හත්වැනි භාවයේ උප අධිපති ගුරු,ශනි,රාහු,කේතු වැනි හෙමින් ගමන් කරන ග්රහයෙකු වීමද
6. හත්වැනි භාවයේ උප අධිපති ශනි,කුජ,රවි යන ග්‍රහයකු වීම, 6,8,12 ට පමණක් නිවේදකයෙකු වුවහොත් ඔවුන්ට විවාහ වීමේ වාසනාව අහිමි වනු ඇත. මේ තත්ත්වය මත ජීවිත කාලයම සමහර විට අවිවාහකව සිටීමට සිදුවේ.
7. හත්වැනි භාවයේ උප අධිපති 2,4,11 භාවවලට සහ පස්වැන්නට නිවේදකයකු වේ නම් එම විවාහය දෙදරා යාමට ඉඩකඩ ඇත.
8. උප අධිපති ගුරු,ශනි,රාහු,කේතු යන සෙමෙන් යන ග්‍රහයකු නම් විවාහය තරමක් කල්ගත වෙයි.
9. හත්වැනි උප අධිපති 2,7,11 යන භාව වලට තුන් වැන්නට නිවේදකත්වයක් තිබීමෙන් නිසි වයසට පෙර විවාහය සිදු වේ.
ඒවාගේම සඳුගේ සහ ශනීගේ බලපෑම් නිසා ප්‍රමාද වන විවාහ ඔවුනොවුන්ගේ දශකාලවලදීම සිදුවීම දක්නට ලැබේ. එසේ සිදුවීමට එම කාලයේදී විවාහයට බලපාන ග්‍රහයන් විවාහයට බලපාන භාව උප අධිපතින්ගේ සහ නැකැත්වල, භාවවලින් ගෝචර වීම සිදුවිය යුතුයි.
කරුණු කාරණා මෙසේ වුවද තව තමාගේ ජන්ම පත්‍රවල තිබෙන විවාහ දෝෂ නියමාකාරයෙන් හඳුනාගෙන එම දෝෂ සඳහා සිදුකළ යුතු ශාන්තිකර්මවල යෙදෙමින් ධර්මානුකූල දිවි පෙවෙතක් අනුගමනය කිරීම තුළින් යහපත් විවාහයකට අවතීර්ණ වීමට ඉඩකඩ සලසා ගත හැකිය.
එමෙන්ම අන් අයගේ පවුල් ජීවිත අවුල් වන අන්දමේ කටයුතුවලට දායක නොවී සිටීමත්, විවාහයක් වීමේ අපේක්ෂා පෙරදැරිව සිටින අය සඳහා උදවු උපකාර කිරීමත්, ඒ වගේම තිරිසන් සත්ත්වයින් උදෙසා නොඉඳුල් ආහාර ලබාදීමත්, කුඩා සාමනේර හිමිවරු උදෙසා රසවත් ආහාර පාන ලබාදීම මඟින්ද, තම බලාපොරොත්තු ඉටු කර ගත හැකිය.
අංග සම්පූර්ණ බෝධි පූජා සිදුකර පත්තිනි මෑණියන් උදෙසා පින් පෙත් අනුමෝදන් කර භාරහාර සිදු කිරීමද,
විවාහ ප්‍රමාද වීම් සිදුවන තරුණියන් උදෙසා පහත සඳහන් කර තිබෙන කිරි අම්මාවරුන්ට සිදු කළ හැකි ඉතා අගනා භාරවීමක් සඳහන් කරමි.
මේ සඳහා සපයාගත යුතු දේ-
පඬුරක් සඳහා රිදී කාසියක්, බුලත් කොළ හතක්, සුදු රෙදි පටියක්, සඳුන්කුඩු, මා වී ටිකක්, සාම්බ්‍රානි කිරි
භාර බැඳීම -
මල්බුලත් තට්ටුවක් සකසා නිවෙසේ බුදුන් දෙවියන් නමදින තැන පිරිසිදුකොට කිරි බඳුනට සඳුන් කුඩු කවලම් කර ඉසින්න. පිරිසුදු ඇඳුමක් ඇඳ කිලිවලින් වැළකී නා පිරිසිදුව පැමිණ ගිතෙල් පහනක් දල්වා පහත සඳහන් කන්නලව්ව හත් වරක් කියන්න. සාම්බ්‍රානි දුම් අල්ලා පඬුරු බැඳ කාරණාව ඉටු වූ පසු බාරය ඔප්පු කරන බව කියන්න.
කන්නලව්ව -
සිද්ධ පස්වාන් දහසකට ශ්‍රී ශාන්ත උතුම් වූ කරුණා මෛත්‍රී ගුණයෙන් යුතුවූ ශ්‍රීමත් බලධාරීනි සමෘද්ධිමත් වූ කිරි අම්මාවරු හත්දෙනා වහන්සේලා ද මේ පුද පඬුරු තබා ආරාධනා කරන්නේ ඔබ වහන්සේලා හත් දෙනාගේ බල මහිමයෙන් අණවිණ අතුරු අන්තරා දෝෂ යක්ෂ ප්‍රේත දෝෂ සුන් වී ආරක්ෂාව ලබා දෙන්න. ශ්‍රී සත් පත්තිනි කිරි අම්මාවරුන්ගේ (මෙතනදී තම කාරණාව කියන්න) මේ ගැත්තන්ගේ දුකට පිහිට වෙන්ටයි. ඔවුන්ට ආරක්ෂාව සලසා දෙන්ටයි. ඔබ වහන්සේලා හත්දෙනාට කියා සිටින්නේ මේ කාරණාව සපල කර දෙන්නේ නම් ඔවුන් ඔබ වහන්සේලාට කිරි පැණියෙන් පුද පූජා පවත්වයි, ශ්‍රී කාන්තා උතුම් වූ බලධාරී කිරි අම්මාවරුන් හත් දෙනා වහන්සේලාගේ පිහිටයි. ආරක්ෂාවයි. අසා පිහිට වෙනවයි.පස්වාන් දහසකට ආවඩා ආයුබෝවේවා!
මේ කටයුත්තට තමාගේ උපත් නැකතට සුබ වන නැකැතක සිදු කරන්නේ නම් ඉතා ශුභප්රතිඵල අත් විදිය හැකිය.