තෙල් බෙහෙත් වෙළෙඳුන්ගෙන් වෙන් කර හඳුනාගත යුතු අෂ්ටාංග ආයුර්වේදය

නොවැම්බර් 8, 2024

සිත, කය, වචනය දියුණු කරගත් ඍෂිවරුන් විසින් ලෝකය මැව්වා වූ මහා බ්‍රහ්මයා වෙතින් මනුෂ්‍ය ලෝකයට රැගෙනවිත් මිනිසාගේ සිත සුව පිණිස ව්‍යාප්ත කළාවූ ආයුර්වේදය අනූන ශාස්ත්‍රයකි. පරිපූර්ණ විද්‍යාවකි. ජීවිතයේ වින්දනය පිණිස අංග 08කින් යුතුව සකස් කළාවූ ජීවන දර්ශනයකි. මෙය අෂ්ටාංග ආයුර්වේදය ලෙස හඳුන්වයි.

යටත් විජිත සමයත් සමඟ ඉන්දියාව ආදී පෙරදිග රටවලින් මිලින වී ගියා වූ අෂ්ටාංග ආයුර්වේදය නැවතත් ඉස්මතුකර තාක්ෂණයත් සමඟ අත්වැල් බැඳ ඉදිරියට ගෙන යාමට ඉන්දියාව සාර්ථක පියවරක් ගෙන ඇත.

ඔබටත් ආයුර්වේදය යන වදන සවනත වැකුණූ වහාම සිතට නැඟෙන්නේ තෙල් බෙහෙත් කුප්පියක් සුරතෙහි රැගෙන සෙමෙන් සෙමෙන් පියවර තබන්නා වූ සැරයටියකට වාරු දී සිටින වියපත් දේහයක් පමණක් නම් ඔබ දරන ආයුර්වේදය පිළිබඳ සංකල්පය වෙනස් කිරීමට කාලය එළැඹී ඇත.

ආයුර්වේදයේ අංග අට

1. රසායන තන්ත්‍රය

2. වාජීකරණ තන්ත්‍රය

3. කෞමාරභෘතය තන්ත්‍රය

4. ශල්‍ය තන්ත්‍රය

5. කාය චිකිත්සා තන්ත්‍රය

6. භූත විද්‍යා තන්ත්‍රය

7. අගද තන්ත්‍රය

8. ශාලක්‍ය තන්ත්‍රය

ආයුර්වේදයේ අංග අට වේ.

 

රසායන තන්ත්‍රය

වැඩි කාලයක් තරුණබව දිගටම රැකගැනීම ආයුෂ, බලය, බුද්ධිය වන මේවා වර්ධනය කිරීම ශරීර ශක්තිය වැඩීම, රෝග පහකිරීම යන මේවා සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වේ. නීරෝගීව දිගු කලක් ජීවත්වීමට උගන්වන ශාස්ත්‍රය රසායන තන්ත්‍රය වේ.

වාජීකරණ තන්ත්‍රය

අල්ප වූද, දූෂිත වූද, හීන වූද, ශුක්‍රධාතුව ඇති අයගේ ශුක්‍රධාතුව වර්ධනය කිරීම, පැහැද වීම, රැස් කිරීම, ඉපදවීම යන මේවා සඳහා ද මෛථුන කර්මය පිළිබඳ සතුට වැඩිකිරීම සඳහා ද ප්‍රයෝජනවත් වන ශාස්ත්‍රය වාජීකරණ තන්ත්‍රය වේ. නීරෝගි දරු පරපුරක් බිහිකිරීමට අවශ්‍ය ශුක්‍රාණු සහ ඩිම්බවල ශක්තිය වැඩිකිරීමට යොදන ප්‍රතිකාර ක්‍රමයයි.

කෞමාරභෘත්‍ය තන්ත්‍රය

කුඩා දරුවන්ගේ පෝෂණය, දූෂිත තනකිරි පානය කිරීමෙන් හා දුෂ්ට ග්‍රහයන්ගේ ආවේශයෙන් හා කුඩා දරුවන්ට වැලදෙන රෝග සංසිඳවීම යන මේවා සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන ශාස්ත්‍රය කෞමාරභෘත්‍ය තන්ත්‍රය වේ.

ශල්‍ය තන්ත්‍රය

විවිධාකාර වූ තෘණ, ලී කැබලි, ගල්කැට, පස්, යකඩ කැබලි, කැට කැබිලිති, ඇටකටු, කෙස්, නිය, සැරවා ලේ ගැබ තුළ වන මළ දරු හෝ මූඪ ගර්භ යනාදී ශල්‍ය වර්ග ව්‍රණාදියෙන් උදුරා (උපුටා) දැමීම සඳහාද යන්ත්‍ර ශාස්ත්‍ර ක්ෂාර අග්නි යන මේවායේ භාවිතය සහ ව්‍රණ හඳුනාගැනීම සඳහාද ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන ශාස්ත්‍රයයි.

කාය චිකිත්සා තන්ත්‍රය

කාය චිකිත්සා යනු සර්වාංගව ඇසුරු කළ (උණ රත්පිත්, ක්ෂයරෝග, මානසික රෝග, අපස්මාරය කුෂ්ඨ, ප්‍රමේහ රෝග, අතීසාරය ආදී) රෝගවලින් සුවවීම සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන ශාස්ත්‍රයයි.

අගද තන්ත්‍රය

සර්ප, මකුළු, මීයන් ආදීන්ගේ දෂ්ඨ විෂ නිශ්චය කිරීම සහ විවිධ වූ ස්ථාවර ජංගම ආදි විෂ හා මිශ්‍ර විෂ සුව කිරීම සඳහා ප්‍රයෝජනවත් වන ශාස්ත්‍රය අගද තන්ත්‍රය වේ.

භූත විද්‍යා තන්ත්‍රය

දේවතා ඇසුර, ගන්ධර්ව, යක්ෂ, රාක්ෂ, ප්‍රේත, පිසාච, නාග සහ ග්‍රහ ආදීන්ගේ ආවේශ හේතුකොට ගෙන ඒ ග්‍රහවේශයන් සමනය කිරීමේ ශාන්තිකර්ම බිලිදාන ආදී ක්‍රියා මුල්කොට ඇති ශාස්ත්‍රය භූත විද්‍යා නම් වේ.

ශාලාක්‍ය තන්ත්‍රය

(ඇස, කන, මුහුණ, නාසය ආදී) දසරුවෙන් උරහිසෙන් ඉහළ උපදනා රෝගයන්ගේ සුවය සඳහා කූරු වැනි උපකරණ යොදා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන ශාස්ත්‍රය ශාලාක්‍ය තන්ත්‍රය වේ.

මෙලෙස දැක්වූ අංග අටකින් යුක්ත වූ අෂ්ටාංග ආයුර්වේදයෙහි මනුෂ්‍ය ප්‍රජාව ගොදුරු විය හැකි සියලුම ආකාරයේ රෝගාබාධයන් පිළිබඳව සඳහන්වන බවත් ආයුර්වේදය යනු එක්තරා කොට්ඨාසයකට හෝ බෙහෙත් තෙලකට සීමාවූවක් නොවන බවත් පැහැදිලි වනු ඇත.

 

උපදෙස්

වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන

හිටපු අධ්‍යක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.