වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජනප්‍රිය කලාකරුවන් බිහිකළ කොණ්ඩදෙණියේ රහස්
ඝෝෂාකාරි මහබිරුම් හඬ මධ්‍යයේ බලු රෑනක් පිරිවරා ගෙන කොණ්ඩදෙණිය පන්සල සොයාගෙන පැමිණි දෙපා නිරුවත් අහිංසක පෙනුමැති හීන්දෑරි තරුණයෙකි. ඔහු මහ ගේට්ටුවට තට්ටු කරන්නට විය. ඒත් සමඟ මෙතෙක් රැඳී සිටි බලු රෑන ද විසිර ගියේය.
බල්ලන්ගේ බිරුම් හඬින් අවදි වූ අප නායක හිමියන් “ඩිංගිරි බණ්ඩෝ - කව්රුන්දෝ ඇවිත් වගේ. ඔය ගේට්ටුව ඇරල ඒ මනුෂ්‍යයාට ඇතුළට එන්න ඉඩ හරින්න.” පැවසූහ.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”
“ඔය ඇත්තා බෝධියටයි. විහාර මන්දිරයටයි ගොහින් වැඳල කියල එන්නකෝ”
“අපේ හාමුදුරුවනේ මම කතෝලිකයෙක් මම කවදාවත් බුදුන් වැඳල නැහැ. ඒ වන්දනාමාන කරනහැටි දන්නෙත් නැහැ”
“හා බොහොම හොඳයි. කෙළින් කතාකරපු එක එහෙනම් අපි මගේ කාර්යාල කාමරයට යමු. මහත්තයා කොහේ ඉඳලද කොණ්ඩදෙණිය පන්සල හොයාගෙන ආවේ?”
“මම මීගමුවේ වෙන්නප්පුවේ සිට රේල්ලුවෙන් මහව හන්දියට ඇවිත් එතැන් සිට හිතේ හයියට පයින්ම ආවෙ හාමුදුරුවනේ. මගේ දුක්ඛ දෝමනස්ස කතාව සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට කියන්නම් ඒක අහල මට පිහිටක් වෙන්න හාමුදුරුවනේ.”
හිමියන් අභියස තිබූ පුංචි පුටුවේ වාඩිවුණු මේ තරුණ හාදයා තම කතා ප්‍රවෘත්තිය හිමියන් හමුවේ දුක්මුසු අයුරින් ප්‍රකාශ කළේය.
“මම ඉපදුණේ මීගමුව පෙරියමුල්ලේ දුප්පත් ගෙදරක, මගේ තාත්තට පේදරු බාස් උන්නැහැ කියලයි කියන්නේ. ඒත් මගේ තාත්තගේ නම ‘උගෝ සිඤ්ඤෝ’ තාත්තා ගෙවල්වල මේසන්වැඩට අත්උදව්දීමයි කළේ.
මම ඒ පවුලේ ඉන්න එකම වැඩිමහල් පිරිමි දරුවා. අම්මා ලියනගේ එලිසබත් ප්‍රනාන්දු, අම්මා කොහුමෝලෙ කොහු ඇඹරුවා. ඒත් සොච්චම් පඩියක් තමයි ගන්නේ. මට නංගි කෙනකුත් හිටිය.”
“එතකොට මහත්තයා මොන ඉස්කෝලෙද ඉගෙන ගත්තේ කීයට වෙනකම් ඉගෙන ගත්තද?”
“හාමුදුරුවනේ දලුපොත රෝමානු කතෝලික පාසලේ හත්වන පන්තිය දක්වා පමණයි ඉගෙන ගන්ට සිදුවුණේ. දවසක් ස්කෝලෙ ඉන්න කොට පණිවිඩයක් ලැබුණා තාත්තා වැඩකරන තැනකදී පලංචියෙන් වැටිල කියලා. නංගියි, මමයි හනිකට ගෙදර ගොහින් කරත්තයක දාගෙන තාත්තව ඉස්පිරිතාලෙට අරන් ගියා. ඊට පස්සෙ කැඩුම් බිඳුම් වෙද මහත්තයා ළඟට අරංගිහින් දැන් එහෙන් වෙදකම් කරනවා. සෑහෙන කාලයක් ගත වුණත් නිට්ටාවට සුවයක් නම් නැහැ.
අපට වියදම් කරන්න සිදුවුණේ අම්මා දිනපතා හොයන සොච්චම් පඩිය. උදේට ආප්ප දෙකක් අරගෙන හතරදෙනා එක්ක කාලා වතුර බොනවා. සමහර දවසක ගස්ලබු ගෙඩියක් තම්බලා කාල වේල පිරිමහ ගන්නවා.
දවල්ට අපි ලුණුකැඳ තමයි බොන්නෙ. “බත් ටිකක් කන්න ලැබුණෙ සමහර දාක රෑට විතරයි. මුකුත් නැති දාට බඩපිරෙන්න වතුර බීල නිදාගන්නවා. සමහරදාට අහල පහළ ගෙදරකින් කොස් ගෙඩියක් ඉල්ලගෙන ඒක තම්බලා කනවා.”
ආගන්තුක තරුණයාගේ දෑසින් විටින්විට පැන්න කඳුළු කැට සැඟවීමට නොහැකි විය.
“ඉස්කෝලෙ යන්න පොතක්, පැන්සලක් ගන්නවත් සල්ලි තිබුණෙත් නැහැ....ඇඳුම් ඔක්කොම අණ්ඩදාපු ඒවා සෙරෙප්පුවක් දාපු කාලයක් මතක නැහැ. ඔයින් මෙයින් මට ඉස්කෝලෙ ගමනත් නවත්වන්න වුණා. නංගිවත් බොහොම අමාරුවෙන් ඉස්කෝලෙ යැව්වෙ. එයාට හම්බවෙන බනිස් එක කාල බඩකඩ පිරෙන්න වතුර හරි බොන්න පුළුවන් නිසා.”
“මහත්තයා වැඩක් පලක් කරන්න එහෙම ගියේ නැද්ද?
“අම්මා යන කොහු මෝලෙ වැඩට ගියා හාමුදුරුවනේ. ඒත් මැෂිමෙ වැඩකරන්න කාලයක් පුහුණුූ වෙන්න ඕන කියලා මුදලාලි කිව්වා. එතකං පල්වුණූ මට්ටකෑලි එකින් එක ඉරල විශාල පෙට්ටියකට දාන්න කිව්වා. මුළු දවසම එකදිගට වැඩකරල යම්තම් පෙට්ටි 2ක් පුරවනවා. ඒත් දවසකට ලැබෙන්නේ සොච්චමයි. ඒත් ඉතින් නංගිව ඉස්කෝලෙ යවන්න ඕනෙ හින්ද අවුරුදු හතරක්ම එහෙ වැඩ කළා.
මගෙම කරුමෙට ටික දවසකින් මුදලාලි කොහු මෝල වහල දැම්මා. ඉතින් අපි නැත්තටම නැතිවුණා හාමුදුරුවනේ...”
“ඊට පස්සේ.”
ගම් පළාතේ කුලී වැඩ කළා හාමුදුරුවනේ. ඒත් හැමදාමත් කුලී මලී වැඩ නෑනේ. ඒ නිසා යාළුවොත් එක්ක කුකුළාව කියන ගමට ගියා මාළු අල්ලන්න. මුලතිව්වලට එතැන සිට සැතපුම් දාහතරක් පයින් යන්න වුණා. උදේ පාන්දර මුහුදු ගියාම රෑ 9ට විතර තමයි ගොඩට එන්නෙ. මාස හයක් විතර ත්‍රිකුණාමලේ ආලම්බල ගමේ ධීවර රස්සාව කළා.
කොහොම හරි තාත්තට වෙදකම් කරල තාත්තව ගොඩගන්න එක තමයි මගේ එකම අරමුණ වුණේ හාමුදුරුවනේ. ඊටත් පස්සේ හිරියාලෙ වැල්ලව ගමේ දුම්කොළ ගබඩාවක වැඩට ගියා. එහේ මට කරන්න වුණේ උයන පිහන වැඩ. මුල්කාලයේ කෑම රස නෑ කියලා බැණුම් ඇහුවත් පස්සේ ඉවුම් පිහුම් මට ටිකක් හුරුවුණා.
දුම්කොළ යායේ කංකානම් වැඩෙත් මාස ගාණක් කරලා ඊට පස්සේ පුත්තලමේ මදුරන්කුලියේ උඩප්පුවට ගිහින් මාළු ඇල්ලුවා. ඒහෙදි තුනපහ පොල්කිරි නැතිව නිකම්ම මාළු තම්බලා කන්ට තමයි සිදුවුණේ. ඒනිසා ඇඟපුරා බිබිළි දැම්මා.”
“හොඳයි දැන් දහවලත් වෙලා නොවැ. අපි තියෙන දෙයක් දවල්ට කාල ඉඳිමු. ඉතිරි කතාව අපි ඊට පස්සෙ අහමු කෝ... ඩිංගිරි බණ්ඩො මේ මහත්තයට දහවලට කෑම ලෑස්ති කරල දෙන්න.”
දිවා අහාරය භුක්තිවිඳීමෙන් පසු තරුණයා නැවත හිමියන් මුණ ගැසුණි.
“හොඳයි තරුණයා කියමු බලන්න ඉතිරි කතාව”
“ගෙදර ඇවිල්ලා රස්තියාදු ගගහ ඉන්න කොට කොළඹ දෙමළ උගන්වන ඉස්කෝලෙ මහත්තයකු මුණගැසුණා. සර් හිටියෙ කොටහේන පල්ලිය පිටුපස්සෙයි. ඒ මහත්තයා සිංහල දන්නේ නෑ. එයාට සිංහල උගන්වන්න මට සිද්ධ වුණා. මම එතුමාගෙන් දෙමළයි ඉංගී‍්‍රසියි ගත්තා. ඒත් මගේ රස්සාව බත් උයන එකම තමයි. ඒ දෙමළ සර්ට මගේ “උගෝ” කියන නම හරියට උච්චාරණය කරන්න අමාරුයි. එයා මට “හියුගෝ” කියලයි කතා කළේ. පස්සේ වටේ පිටේ අයත් මට හියුගෝ කියන්න පටන් ගත්තා. ඒ නම ජනපි‍්‍රය වුණා. පස්සේ ඒකෙනුත් අයින්වෙලා මේසන්බාස් වැඩකටත් ගියා. ඒකෙත් මට සිද්ධ වුණේ උයන්න පිහන්නයි.
පස්සෙ එයිනුත් අයින්වෙලා පෙරියමුල්ලේ වැවසියර් කොම්පැණියේ පෙට්ටි හදන්න ගියා. ඒකත් කලක් යද්දි මට එපා වුණා. ඔන්න ඔය කාලේ මලතියන් මාස්ටර් සර්පිනා ගහනවා. මම හැමදාම බලාසිටියා. අමාරුවෙන් එකතු කරගත් මුදලින් සර්පිනාවක් මිලදීගෙන තවදුරටත් මාස්ටර්ගෙන් ඉගෙන ගත්තා හාමුදුරුවනේ”
“ඔය කිව්වා මැදැයි... මට දැන් ඔක්කෝම වෙච්ච දේ තේරෙනවා. අපි දැන් දේව මන්දිරයට යමු.”
දේව ප්‍රතිමාවල මුහුණ දිහා බලාගෙන වැඳගෙන ඉන්නා ලෙසට අප හිමියන් තරුණයාට උපදෙස් දුන් සේක. බලවත් මන්ත්‍රයක් තෙල් බඳුනකට හෝරා කිහිපයක් තිස්සේ ජපකර අප හිමියන් වෙත පරිත්‍යාග ලෙස ලැබුණු රන්සුර කිහිපයකින් එකක් ගෙන ඒ තුළට සිංහ තෙල් බිඳක් දමා ආගන්තුක තරුණ මහතාගේ කරේ බඳින අතර “දැන් ඉතින් සියලු දෝෂාංධකාර නිමයි. හැමදේම හරියාවි.” හිමියෝ පැවසූ සේක.
තරුණයාගේ හස්ත පරීක්ෂාවක්ද සිදුකළ අප හිමියන් “ඔය මහත්තයා කවදහරි ලංකාවේ ජනපි‍්‍රයම කලාකරුවකු වනවා. මම අද කිව්වා කියලා මතක තියාගන්න” යැයි පැවසූ සේක. මේ සියල්ල ඉතා සොම්නසින් ඇහුම්කන් දුන් හියුගෝ ප්‍රනාන්දු තරුණයා බිම දිගාවී හිමි දෙපාමුල වැඳ වැටුණේ සතුටු කඳුළු වගුරවමිනි.
ඔහු ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන්නට වැඩිකලක් ගත නොවීය. ලංකාවේ පළමු චිත්‍රපටය වූ කඩවුණුපොරොන්දුව, බණ්ඩා නගරයට පැමිණීම, පේ‍්‍රමතරඟය, සරදියෙල්, අහංකාර ස්ත්‍රි, මාතලන්, වනමෝහිණී, සංදේශය, අල්ලපුගෙදර චණ්ඩියා වැනි ජනපි‍්‍රය චිත්‍රපට තිහ, හතළිහක පමණ රඟපෑ අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, තිර රචකයකු ගීත රචකයකු ලෙස ද සම්මානයට පාත්‍රවිය.
වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් මුණගැසීමට තමන්වහන්සේ සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ එකම පීඨයේ උපාධි අපේක්ෂකයන්ව සිට පසුකාලීනව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු ලෙස මෙන්ම කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයද, රථවාහන කොමසාරිස් ජනරාල් ධුරය ද හෙබවූ ජගත් චන්ද්‍රසිරි තරුණයා සමඟ එවකට ආධුනික කලාකරුවකු ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවු ජැක්සන් ඇන්තනී තරුණයාද පැමිණියේය.
කලා ක්ෂේත්‍රයේ බාධක වැටකඩුලු අභිබවා යමින් ලංකාවේ ජනපි‍්‍රය සම්මානනීය විශිෂ්ට කලාකරුවකුවීමට ඔහුට අවශ්‍ය විය. සහජ දක්ෂතාවලින් පිරිපුන් වුව ද එයින් නිසි ප්‍රයෝජනය ගැනීමට මඟක් සෙවූ තරුණ ජැක්සන් ඇන්තනීට එළඹෙන සියලු බාධක බිඳලා ඉදිරියට යාමට අනුරුද්ධ නායක හිමියන් උපකාර කළේ, තමන්වහන්සේගේ දේව මන්දිරයට කැඳවා හෝරා කිහිපයක් තිස්සේ ඉතා වටිනා තෙල් බඳුනකට බලගතු මන්ත්‍රයක් ජපකොට ඉන් තෙල් බිඳක් දමා ඔහු රැගෙන ආ රන්සුරයට දමා ජැක්සන්ගේ ගෙලෙහි පැලඳවීමෙනි. ජැක්සන් ද විටින් විට සිය මිතුරා ජගත් සමඟ කොණ්ඩදෙණිය පන්සලට පැමිණ එය යාවත්කාලීන කිරීමට අමතක නොකළේය.
ජැක්සන් ඇන්තනි නාමය කලා ක්ෂේත්‍රයේ ඉහළට ඔසවා තැබීමට උන්වහන්සේගේ යාතු කර්ම මහත් ඵලදායි වූ බව දන්නේ ඉතා සමීප සීමිත පිරිසක් පමණි. ජැක්සන් ඇන්තනී සහ ජගත් යන කලණ මිතුරන් කොණ්ඩදෙණිය පන්සලට පැමිණෙන සෑමවිටම, තම සරසවි සගයන්ට ඉතා හොඳින් සත්කාර සංග්‍රහ කරන්නට අප හිමියන් පැකිළුණේ නැත. ජැක්සන් ඇන්තනි උපතින් කිතුනුවකු වුවද හිමියන් ගේ ඉතා බලගතු පිරිත්නූල් තම දකුණතේ බැඳගැනීමට ඉමහත් උනන්දුවක් හා කැමැත්තක්ද දැක්වීය.
හදිසි අනතුර සිදුවන දින අලුතින් නිමවන සිනමාපටයේ රංගනය වෙනුවෙන් සියලු පලඳනා සහ පිරිත්නූල් ඉවත්කර තිබුණු බව සමීපතමයන් පමණක් දන්නා කරුණකි.
ජැක්සන් ඇන්තනි ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය කලාකරුවකු වීමේ කතාවේ තිරය පිටුපස සිට ප්‍රබල සහායක් දුන් කොණ්ඩදෙණියේ ශක්තිය පිළිබඳ අද ද දන්නේ ඉතා සුළු පිරිසකි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ