වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉන්ද්‍රජාලිකයන්ට පාඩම් ඉගැන් වූ කොණ්ඩදෙණියේ මන්තර
අලි ඇතුන්, වගවලසුන්ගෙන් ද, නයි පොළඟුන්, තඩි පිඹුරන්, විසකුරු සර්පයන්ගෙන් ද, හාවුන්, මුවන්, ඉත්තෑවන්, වල්ඌරන්, ගෝනුන්ගෙන් ද, කොටි ව්‍යාග්‍රාදී සතුන්ගෙන් ද වානරයන්ගෙන් ද පිරී ඉතිරී ගිය වන රොදක මධ්‍යයෙහි එකල කොණ්ඩදෙණිය වන අරම ස්ථානගත වී තිබුණි.
අප හිමියන් සමඟ එකතුවුණු දායක කාරකාදී ගැමියන්ගේ කැති, පොරෝ, මන්නා පහරින් මඳකට කැලෑ රොද මර්දනය කරගෙන සිටියත්, වස්සානය එළඹෙත්ම ගැමියන් තම ගොවිතැන්බත් කිරීමට යුහුසුළු වීමත් සමඟ ක්‍රමයෙන් යළි කැලය හිස ඔසවා වනඅරණ ගිල ගැනීමට සැරසෙයි.
වන සතුන් කොණ්ඩදෙණිය පන්සල ආක්‍රමණය කිරීම මඳකට හෝ වැළකී තිබෙනුයේ පන්සලට පිවිසෙන ද්වාරයේ ස්ථාපිත යකඩ මහ ගේට්ටුව නිසාවෙනි. එකල එය නිතිපතා ඉබි යතුරු දමා සුරක්ෂිත කිරීම ඩිංගිරි බණ්ඩා වෙත පැවරී තිබුණු වැදගත් රාජකාරියක්ම විය.
වප් පොහොය එළඹුණු සති අන්තයේ එක් දිනයෙක හිමිදිරි උදෑසන කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් බ්‍රහ්ම හෝරාවෙන් පිබිද තවත් හෝරාවක පමණ කාලයක් දැහැන්ගත භාවනාවේ නිරතව සිට, ඉන් අනතුරුව යෝග ව්‍යායාම්වල ද යෙද,ී බෝධිය සහ පන්සල් භූමිය ඇමද පවිත්‍ර කොට පහළ වැවෙන් දිය ස්නානය කොට පිරිසුදුව නෙළුම් මල් කිහිපයක් ද නෙලාගෙන ආවාස ගෙට පිළිපන් සේක. ඩිංගිරි බණ්ඩා, පිළියෙල කොටදුන් කොළකැඳ කෝප්පය, කිතුල් හකුරු සමඟ වලඳා මඳවේලාවක් හිඳ දිග හාන්සි පුටුවේ හරිබරිව සාමණේර හිමියන් කට පාඩමින් දෙන ගාථා සජ්ඣායනාවන්ට ද හොඳින් සවන්දී උදේ පාන්දරින්ම හීල් දානය ද වලඳා අවසන් කළ සේක.
ඒ සමඟම කිසිදු වගවිභාගයකින් හෝ කිසිදු අවසරයකින් තොරව සුදු පැහැති ජටාවක් හිසේ පැලඳ, සුදු ඇඳුමින් සැරසුණු ආගන්තුක මිනිසකු කෙළින්ම ආවාස ගෙය තුළටම පැමිණියේ ය.
“අවසරයි හාමුදුරුවනේ, මම ඉන්දියාවේ මලයාලම් දේශයේ සිට පැමිණියේ, ඔබ වහන්සේගෙන් බලවත් මන්ත්‍රයක් දැන ගැනීමටයි.”
“හොඳයි ඔක්කෝටම කලින් අගුල් දමා යකඩ ගේට්ටුව වසා තිබියදී ඔය ඇත්තො ආවාසෙ ගෙට ඇතුළු වුණේ කොහොමද කියන්න.”
“මමත් ටිකක් මන්ත්‍ර ශාස්ත්‍රය හදාරලා තියෙන කෙනෙක්. ඒක මගේ මන්ත්‍ර ශාස්ත්‍රය බලය උරගා බැලීමක්. මේ මන්ත්‍රවලින් මට පොඩි, පොඩි ඒවා කරගන්න පුළුවන්.”
“මේ උදේ පාන්දර අවසරයකින් තොරව තකහනියෙම ආවේ මන්ත්‍ර ශාස්ත්‍ර ගැන සාකච්ඡා කරන්නට ද?”
“එහෙමයි හාමුදුරුවනේ. මට ඔබ වහන්සේගේ දේව මන්දිරය ඇතුළට ගිහින් පොඩි ශාන්තිකර්මයක් කරගන්න ඉඩදෙන්න පුළුවන් ද?”
“හොඳයි. පිටරටක ඉඳලනේ ආව කිව්වේ, අපි ඉතින් ආගන්තුක සත්කාරය හොඳින් දන්න අය නොවැ. තියෙන දෙයක් කාල බීලා එන්න. එතකල් මම මගේ උදේ වතාවත් කෙරුවාට පසු දේව මන්දිරයට එන්න පුළුවන් නොවැ...”
“එහෙමයි හාමුදුරුවනේ”
“ඩිංගිරි බණ්ඩො. මේ උන්දැට උදේට සප්පායම් වෙන්න තියෙන දෙයක් හරිගස්සල දෙන්න” හිමිගේ අණ ක්‍රියාත්මක කිරීමට ඩිංගිරි බණ්ඩා වගබලා ගත්තේය. එහෙත් ආගන්තුකයාගේ දේහ විලාසය ඩිංගිරි බණ්ඩාට එතරම් රිස්සුවේ නැත. වන සතකු ලෙස ඉතා ගිජුව තලුගසමින් උදේ ආහර ගිල දමන ආකාරයත්, විටින්විට ඇස්දෙක තද රතු පාට ගැන්වීමත්, නෙරාවිත් ඇති තියුණුූ නළදත් දෙකකින් යුතුවීම සහ තද රතු දිගු එල්ලෙන දිවත් මුහුණේ ඇති රෞද්‍ර ගතියත් නිසා ඩිංගිරි බණ්ඩාට මේ ආගන්තුකයා නම් කිසිසේත් සිත්ගත්තේ නැත.
මේ අතර කොණ්ඩදෙණියේ සීලරතන හිමියෝ දේව මන්දිරයට පිවිස වත්පිළිවෙත් ඉටුකොට දේවාරාධනාව සිදුකර අති ප්‍රබල මන්ත්‍රයක් ජපකරන්නට වූ සේක. මුළු දේව මණ්ඩලයේ සියලුම ප්‍රතිමා සෙළවෙන්නට විය. පැමිණි ආගන්තුකයා වෙන කවරෙක්වත් නොව ඉන්ද්‍රජාලිකයකු බව හිමියන්ට වහා අවබෝධ කරගත්හ. ඉඩ ප්‍රස්තාවක් ආ විගස දේව මන්දිරයට පිටුපස දොරින් හිමිහිට පැමිණි ඩිංගිරි බණ්ඩා, හිමියන් බැහැදැක්කේය.
“අපේ හාමුදුරුවනේ මේ සැරේ මෙහාට ඇවිත් ඉන්නේ මහ මරුමුස් හාදයෙක් නොවැ.”
“බයවෙන්ඩ කාරණයක් නැහැ. උන්දැ කවුරුන් ද යන්න මට අවබෝධ වුණා නොවැ. මොනවද වෙන්නෙ කියල බලාගෙන ඉන්නකො”
අප හිමියන්ගේ අවසරය පරිදි ආගන්තුකයා දේව මන්දිරයට පිවිසීය.
“හැබැයි එකක් මතක තියාගන්නවා, මේ දේව මන්දිරයේ එකම දේව ප්‍රතිමාවකටවත් අත එහෙම තියන්නේ නැහැ.”
“එහෙමයි හාමුදුරුවනේ” අමුත්තා පිළිවදන් දිනි. ඔහු කියන කරනා දේ පිළිබඳව සෝදිසියෙන් සිටීමට හිමියෝ වගබලාගත් සේක. එවිට අමුත්තා තම ජටාව ගලවා පසෙකින් තබා මන්ත්‍රයක් මතුරන අයුරුත් එය දිෂ්ටිගන්වන අන්දමත් හිමියන්ට දැක බලා ගන්නට හැකි විය.
දේව මන්දිරය වික්ෂිප්ත වන්නට විය. ආගන්තුකයා තමන්ව විනාශ කිරීමට ලකලැහැස්ති වන බව හිමියන්ට පසක් විය. තමන්ගේ අණසක පවතින භූමියට පිටස්තරයකු පැමිණ නටන්ට යන නාඩගම හිමියන්ට පසක් විය. ඉක්බිතිව වහා දේව මන්දිරයට පිවිසි අප හිමියන් ඉතා බලගතු මන්ත්‍රයක් මහත් හඬ නඟමින් ජප කරන්නට පටන්ගත් සේක. විවිධ ආලෝක ධාරා දේව මන්දිරය තුළින් විද්‍යමාන විය. ඩිංගිරි බණ්ඩා ද තිරය අස්සෙන් එබී සිදුවන සන්තෑසිය දැකබලා ගත්තේය. කළු තඩි බළලා ද දේව මන්දිරයේ ජනේලයක් අතරින් දේව පැනවිත් හිමි පාමුල දැවටිණි. ගතවූයේ නිමේෂයකි. මරහඬ නඟමින් ආගන්තුක ඉන්ද්‍රජාලිකයා දේව මන්දිරයේ දොරටුවෙන් එළියට විසිවිණි.
“ඩිංගිරි බණ්ඩො මේ මිනිහා එකපාරටම අන්තර්දහන වුණා නොවැ. ඔය වටපිටාව හනික බලන්න.”
“හාමුදුරුවනේ විශාල දිග ගැරඬියෙක් නම් බිම වැටී අතුපතු පෙරළගෙන කැලෑව දෙසට ඇදිල යනවානම් දැක්කා. අර ආපු මරුමුස් මිනිහා නම් දැක්කෙ නැහැ.”
“දැන් ඔක්කොම අහවරයි. මේ දේව මන්දිරයෙම හෝදල පවිත්‍ර කරන්න. ඒ මිනිසා හිසේ බැඳගෙන ආපු තලප්පාවත් පුච්චලා දාන්න. ඒ ආවේ වෙන කවුරුත් නොවෙයි. මලයාලම් ඉන්ද්‍රජාලිකයෙක්. කොණ්ඩදෙණියේ ගුරුකම් නිසා මාතර ගුරුකම් කරන පිරිසකට වෙනදා තරම් ආදායම් නැති වෙලා, ඒ අයයි එවලා තියෙන්නේ.”
එතැන් සිට අප හිමියෝ එකදිගට එදින මධ්‍යම රාත්‍රිය දක්වාම පිරිත් සජ්ඣායනයේ යෙදී සියලු දෝෂාංධකාරයෙන් දුරු කළ සේක.
කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී අනුරුද්ධ හිමියන් මුණගැසීමට ද මෙවැනි පුද්ගලයකු පැමිණ සිටියේ අනපේක්ෂිතවම ය.
එදින ආගන්තුක පිරිස් හමුනොවන දිනයක් විය. අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ යට අති විශාල දැවැන්ත ගේට්ටුව, ඉබියතුරු දමා වසා තිබුණේ සන්ධ්‍යා කාලය එළඹීමත් සමඟ ය.
කාර්යාල කාමරයේ වැඩහිඳ එදිනෙදා සාමාන්‍ය රාජකාරි කටයුතුවල යෙදී සිටි අනුරුද්ධ නායක හිමියන්ට යාබද දේව මන්දිරයේ පිළිම එක්විට සෙලවෙන හඬක් ඇසිණි.
ඒ පිළිබඳ අවධානය යොමු කරමින් බැලූ විට දක්නට ලැබුණේ දේව ප්‍රතිමා බොහොමයක් පෙරළී ගොස් ඇති බවය. පන්සලට එතරම් හුරු නොවූ කළු තඩි පූසෙක් දේව මන්දිරය තුළට පැන හිමි දෙපාමුල දැවටෙන්නට විය. ඒ සමඟ දැල්වූ පහන්වල ප්‍රභාශ්වරය එක්විට වැඩි වන්නට විය.
කුමකින් කුමක් වේවිදැයි කුතුහලයක් අනුරුද්ධ හිමියන්ට ද දැනෙන්නට විය. ඒත් සමඟම කාර්යාල කාමරයේ වසා තිබූ දොර පළු ඉබේ විවර විය.
ලේන්සුවක් ජටාවක් මෙන් හිසේ බැඳගත් උඩුකය නිරුවත්, පපු පෙදෙස ලෝමයෙන් වැසුණු කළුතඩි, රතු ඇස් ඇති මිනිසකු කාර්යාල කාමරයට පිවිසියේය. හිමි ඉදිරියේ තිබූ පුටුවේ හරිබරි ගැසී වාඩි වූ මේ ආගන්තුකයා
“මම මේ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ ගැටලු කිහිපයක් ඔබ වහන්සේගෙන් දැනගන්නටයි ආවෙ“ යැයි පැවසීය.
වාහල්කඩ ප්‍රධාන ගේට්ටුව දොර, ඉබියතුරු දමා වසා තිබියදී මේ ආගන්තුකයා පැමිණියේ කෙසේදැයි කුතුහලයක් අනුරුද්ධ හිමියන්ට ඇති විය. ඒත් සමඟ කළු තඩි පූසකු මහ හඬින් “ඤාව්” ගාමින් එකදිගට හඬනඟන්නට විය.
“අනික ඔබ වහන්සේගේ දේව මන්දිරය ඇතුළට ගිහින් මන්ත්‍රයක් ජීවම් කර ගන්න අවසර ගන්නත් එක්කයි මේ තකහනියෙම ආවේ.”
“හොඳයි මම මේ මන්ත්‍රයක් බාගෙට ජීවම් කරගෙන ඉන්න කොටයි දොර ඇරෙන ශබ්දයට බලන්න ආවේ. මා ඉතිරි ටික ජීවම් කරලම එන්නම්කො”
“එහෙමයි හාමුදුරුවනේ” අනුරුද්ධ හිමියන් ඉතා බලගතු මන්ත්‍රයන් ජප කරන්නට විය. මේ පැමිණ අත්තේ ඉන්ද්‍රජාලිකයකු බවත් තමන් වහන්සේට අනතුරක් කිරීමට ප්‍රයත්නයක් දරන බවත් අවබෝධ විය. ගතවූයේ නිමේෂයකි. “මුළු ඇඟම පිච්චෙනවා මාව නිදහස් කරන්න” යැයි මරහඬ නැගූ ආගන්තුකයා මොහොතින් අතුරුදන් විය.
ඔහු හිමියන්ට කරන්නට සූදානම් වූ නපුර සිදු කිරීමට අපොහොසත් විය. දකුණු පළාතේ ගුරුකම් කරන පිරිසක් විසින් තම ලාභ ප්‍රයෝජන අඩුවෙතැයි සිතා එවන ලද ඉන්ද්‍රජාලිකයකු බව හිමියන්ට පසක් කරගත් සේක. ඉන්පසු කොණ්ඩදෙණිය පන්සලේ සියලු ආරක්ෂක යන්ත්‍ර අලුත් කර ඊට පිළියම් යෙදීමට හිමියෝ වහා ක්‍රියාත්මක වූ සේක.
ඒ අතරම කොණ්ඩදෙණිය පන්සලේ චෛත්‍යරාජයාණන්වහන්සේ “මව්පිය සෑය” නමින් අභිනවයෙන් විවෘත කරන්නටත් විහාර සංවර්ධන අරමුදලක් ඇති කිරීමට පියවර ගත්හ.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ