හඳහනේ ලියැවුණ ඔබේ රැකියාව

ඔක්තෝබර් 18, 2024

වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වනුයේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේද රැකියාවයි. යම්කිසි අයකුට රැකියාව හෙවත් ජීවන වෘත්තිය කුමන විදියේ එකක් ද යන්න තමන්ගේ කේන්දරයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුව දැනගත හැකිය.

කේන්දරයේ දහවැනි භාවයෙන් හෙවත් දසවැන්නෙන් අඹුසැමි ජීවන පැවැත්ම දිගටම සාර්ථකව පවත්වාගෙන යාම පිළිබඳව පෙන්නුම් කරයි. එහෙයින් දෙක, හතර, හත ස්ථාන රැකියා තීරණය කිරීමේ දී වක්‍ර මෙහෙයක් ඉටු කරයි. කේතු හැර අන් කවර ග්‍රහයකු දහවැන්නේ සිටියත් අශුභ තත්ත්වයක් නොමැත.

ක්ෂේත්‍ර බලයකින් යුතුව ශුභ දෘෂ්ටි, ශුභ සංයෝගවල සිටීම ඒ ඒ ග්‍රහයන්ට අනුව උසස් රැකියාවක් ලැබීම පෙන්නුම් කරයි.

විශේෂයෙන් රජයේ රැකියාවක් ලැබීමට රවිගේ බලය ඉතා අවශ්‍ය වේ. රවි ආත්ම කාරක ග්‍රහයා පමණක් නොව, රජයට සම්බන්ධ ග්‍රහයා වන බැවින් රවිගේ බලය හා ඔහු හා බැඳුණු උසස් ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටි ඇති තරමට රජයේ තනතුරු වරප්‍රසාද උදා කරයි. දස වැන්නේ උච්ච ක්ෂේත්‍රග්‍රහයින් සිටීම. දහය අධිපති බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානගතව හෝ ත්‍රිකෝණස්ථානගතව සිටීම සහ සුබ ග්‍රහ සංයෝග සුබ දෘෂ්ටි සහිත වීම ස්ථිර රැකියාවක් ලැබීමට හේතු වේ. තවද රවි, බුධ සංයෝගය කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක හෝ යෙදුණ විට රජයේ රැකියාවක් උරුම වේ. එම රැකියාව කුමක් ද යන්න පැවසීමට එම ග්‍රහ සංයෝගය පිහිටි රාශ්‍යාධිපති හා ඊට දෘෂ්ටි ලබාදුන් ග්‍රහයන් සැලකිල්ලට ගත යුතු ය. දහ වැන්නේ රවි, ගුරු, කුජ, රවි, බුධ ආදී වශයෙන් සංයෝගය වීමද, ස්ථිර රජයේ රැකියාවක් පෙන්නුම් කරයි. දෙවැන්න වෘෂභ හෝ කටක රාශියක් වී චන්ද්‍රයා එහි සිටියේ නම් හෝ දෙවැන්න ධනු, මීන යන රාශියක් වී ගුරු සිටියේ නම් හෝ රජයේ සේවය උරුම වේ.

කේන්දරයේ දෙවැන්න මිථුන, කන්‍යා රාශියක් වී එහි ශුභ දෘෂ්ටි සහිතව රවි, බුධ යෝගය, රවි, ගුරු යෝගය යෙදී සිටීම ලේඛන කලාව තුළින් හිමි වන රැකියාවක් පෙන්නුම් කරයි. දස වැන්නාධිපති දහයේ බලවත් නම් ගුරු වෘත්තිය හිමිවීමක්ද, යෝග කාරක ග්‍රහයින් හතර දෙනකු රවි හෝ සඳු සමඟ කේන්දරයේ යෝග වීමෙන් රාජ්‍ය සේවයේ රැකියාවක් ද පෙන්නුම් කරයි. දසවැන්න අධිපති සෙනසුරු සමඟ යෝග වූ විට ලැබෙන රැකියාව දැසි දස් කම්කරුවන් ආශි‍්‍රත කය වෙහෙසා කරනු ලබන රැකියාවක් වෙයි. දහය අධිපති රාහු සමඟ යෝග වූ විට අයුතු මාර්ගවලින් ධනය උපයයි. දහ වැන්නේ සිටි විට රාජ්‍ය සේවයේ අධ්‍යක්ෂධූර, විධායක ශ්‍රේණියේ රැකියා ආදී අන් අයව පාලනය කරනු ලබන රැකියා හිමි වෙයි.

රවි දසවැන්නට දික්බල බැවින් පාලන ක්ෂේත්‍රයේ රැකියාවලට ඉතාමත් යහපත්ය. එසේම තම ආත්මගරුත්වය රැකගෙන සේවයේ යෙදෙයි. කුජ දස වැන්නට සුබය. දස වැන්නට කුජ දික්බල බැවින් කුමන කටයුත්තක් කළත් හෙතෙම කාර්යයේ අතිදක්ෂයෙක් වෙයි. වෙළෙඳ ව්‍යාපාරවලටද ඉතා යහපත් වෙයි. එක තැන සිට කරන රැකියාවලට වඩා ක්‍රියා ශූරත්වයෙන් කරන වැඩවලට යෝග්‍යය. විරුද්ධවාදීන් පහසුවෙන් මෙල්ල කළ හැකිය. පටන්ගත් කාර්යය බාධක මැද්දේ වුවද අවසානය දක්වා කිරීමේ දක්ෂතාවයද ඇත. එසේම අවි ආයුධ පිළිබඳ ආරක්ෂක අංශයේ රැකියා යන්ත්‍ර සූත්‍ර පිළිබඳ කාර්යයන්, මාංශ වෙළෙඳාම ආදී ක්ෂේත්‍රයන්හි රැකියාවල් හිමි වේ.

පාප දෘෂ්ටි නොලබා ගුරු දහවැන්නේ පිහිටා තිබීමද යහපත් ය. කොන්ත්‍රාත් වැඩ, ගුරු සේවය, නියෝජිත ධුරය, මැති ඇමැතිකම් ආදී බොහෝ දෙනාගේ ගරුසරු ලැබිය හැකි කාර්යයන් රැකියාවක් වශයෙන් ලැබෙයි. තිබෙන රැකියාවෙන් ක්‍රමක්‍රමයෙන් උසස් වීමටද වාසනාව ඇත. ගුරු දස වැන්නේ සිටින්නන්ට සමාජයේ ගෞරවය නිතැතින්ම හිමි වෙයි. තමන් යටතේ වැඩ කරන්නන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට ද දක්ෂය. රාහු දහවැන්නේ සිටි විට විප්ලවවාදී දේවලට සිත යොමු වේ. විදේශගත රැකියාවලටද හිමිකම ඇත. එසේම තැනින් තැන සංචාරය කරමින් කරන රැකියා ක්ෂේත්‍ර නිලධාරි, අලෙවි නියෝජිතයින් ආදි රැකියාවලට හිමිකම් ඇත. කේතු දසවැන්නේ සිටි විට ඥානය මෙහෙයවා කරන කාර්යයන් සඳහා ද ඉතා යහපත් ය. ලිපිකරුවන්, ගුරුවරුන්, ලේඛකයන් ආදී අය කේතු දස වැන්නේ සිටි විට බිහි වේ.

චන්ද්‍රයා ජලීය (ජලය ආශි‍්‍රත) ග්‍රහයෙකි. මෙබඳු ජල ග්‍රහයකු රැකියා කාරක වේ නම් ජන්මියා ජලය හා සම්බන්ධ රැකියාවකට යොමුවීම දෛවයේ නියමයයි. එබඳු අය ජලය සම්බන්ධයෙන් ඇති ජීවන වෘත්තියක යෙදෙමින් ධනය රැස් කරයි. නාවික හමුදා සේවය, සිසිල් බීම කර්මාන්තයක හිමිකරුවකු වීම හෝ සේවකයකු වීම, සායම්, තීන්ත ආදිය නිෂ්පාදනය, සරුවත්, තේ පැන් ආදිය විකිණීම මේ ගණයට වැටේ. චන්ද්‍රයා ආහාර පාන ආදියටද සමීප සම්බන්ධයක් ඇති ග්‍රහයෙකි. ධනස්ථානාධිපති ග්‍රහයාගේ යෝගවීමක් හෝ දෘෂ්ටිවීමක් හෝ යම් සම්බන්ධයක් වේ නම් එම අය ආහාර පාන අලෙවි කරන්නෙකු හෝ ආපනශාලා හිමියකු හෝ වීමට ඉඩ ඇත. රැකියා කාරක චන්ද්‍රයා කෙරෙහි රාහුගේ ප්‍රභවය (බලපෑම) වේ නම් කේන්දර හිමියා මත්පැන් අලෙවි කරන්නෙකු වීමටද ඉඩ ඇත. කවර හෙයින්ද යත් මත්පැන්ද විෂ සංයුක්ත ජලීය පදාර්ථක් බැවිනි.

වෘෂභ හෝ තුලා කෙනකුගේ ලග්නය වී සිකුරු බලවත්ව දහවැන්න අධිපතියා සමඟ සිටීම කලා අංශයට බර රැකියාවක් කිරීමට භාග්‍යය පෙන්වන ග්‍රහ යෙදුමකි. තුලා ලග්න හිමියන්ගේ කේන්දරවල බුධ ග්‍රහයා බලවත් නම් විශේෂයෙන් ව්‍යාපාරවලට බර රැකියාවලට පල පෙන්වන ග්‍රහ පිහිටීමකි. සිංහ හෝ කුම්භය ලග්නය වී බුධ සමග සඳු දහවැන්නේ හෝ ලග්නයේ දහවැන්න සමඟ බලවත්ව සංයෝග වීමෙන් පොළොවට සම්බන්ධ කරන ව්‍යාපාරවලින් ජයග්‍රහණ පෙන්වන ග්‍රහ පිහිටීමකි.

සිකුරු චන්ද්‍රයා වැනි ස්ත්‍රී ග්‍රහයකු තවත් එවැනි ස්ත්‍රී ග්‍රහයෙකුගේ බලපෑම් ලැබූ විට කේන්දර හිමියා ස්ත්‍රීන් සමඟ එක්වී එම අයගේ සහාය ඇතිව රැකියාවක් කරයි. සමහර විට සිනමා නළුවකු වීමටද ඉඩ ඇත. සිනමා අධ්‍යක්ෂ වැනි තනතුරුද ලබනු ඇත. රැකියා කාරක චන්ද්‍රයා හා ශුක්‍ර රාහු හා සම්බන්ධව දුර්වලව හෝ නීච රාශිගතව සිව්වැන්නේ (ජනතාව හඟවන රාශියේ) වී නම් ජන්මියා ගණිකා මඩම් පැවැත්වීම වැනි කටයුතුවලින් ධනය රැස් කරනු ඇත.

චන්ද්‍රයා බලවත්ව රවි ගුරු ආදීන් හා සම්බන්ධ රැකියා කාරකව සිටී නම් තානාපති තනතුරු, රාජ්‍ය අධිකාරි තනතුරු, නාවික හමුදා අධිකාරි වැනි තනතුරු ලැබීමට ඉඩ ඇත.යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.