ග්‍රහයන්ගේ අපලවලට පිළියම්

ඔක්තෝබර් 11, 2024

ඡ්‍යොතිෂය පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කිරීමේ කාලය එළඹී ඇත. මෙය ජීවනෝපාය කරගෙන තමන්ගේ බඩ වඩා ගැනීමට බොරු ශාස්ත්‍රය භාවිත කරන්නන් නිසා සමාජයට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයකි. එනිසා මිනිසාගේ චින්තනය තුළින් ද එය ගිලිහීයාමේ සම්භාවිතාව එන්න එන්නම වර්ධනය වේ.

එහෙත් මේ සත්‍යය තුළ ගැබ් වූ කිසියම් ප්‍රයෝජනයක් ඇත. එය සෙවීමට නම් නිවැරැදි ඡ්‍යොතිෂය දන්නා පුද්ගලයන් සමාජයට වටින්නේ ය. නොපෙනෙනා බලවේග තුළින් ඉපදෙන ගුඪ සිතුවිලිවලින් මිනිසා වෙනස් කරයි. එමෙන්ම එම ගුඪ සිතුවිලි වෙනස් කිරීමට මිනිසාට ද උත්සුක විය හැකිය. එම නිසා සත්‍ය අසත්‍යතාව තේරුම් ගැනීමට තම මොළය යහපත් ලෙස භාවිත කරමින් ඡ්‍යොතිෂය පිළිපදින්නන්ට යහපත උදා වේ. උත්සාහය තුළින් කරදර හිරිහැර බාධක ජයගත හැකිය. එහෙත් ඡ්‍යොතිෂයේ ම පිහිට පතා එය කරපින්නාගෙන ඒ මතම යැපීම නොකළ යුතු ය. එසේ වුවහොත් සමාජගත වන්නේ මානසික ලෙඩුන් පිරිසක් පමණි.

බුදුන්වහන්සේ හා සමානව ශ්‍රී මහා බෝධිය පුදනු ලබයි. එලෙසින් ඡ්‍යොතිෂයට අනුව එක් එක් ග්‍රහයන් සඳහා නියමිත වෘක්ෂයන් ද ඒවාට පුදනු ලබන භෝජන සංග්‍රහයන් ද ඇත. තම වත්තේ කෙළවරක නා, නුග, කොට්ටන්, ඇසතු ගස් සිටුවීම සුබදායක යැයි පවසන්නේ ප්‍රේත භූත මෙන්ම ග්‍රහ අපලවලින් තොරවීමට ය. මේ නිසා එක් එක් ග්‍රහ බලපෑමෙන් නිදහස් වීමට නම් ග්‍රහයන් සඳහා විශ්වාසයෙන් යුතුව පුද පෙත් සිදු කළ යුතු ය. ඡ්‍යොතිෂයේ සඳහන් වන අන්දමට වත්පිළිවෙත් සිදු කළ පසු එම ජන්මපත්‍රය හිමිකරුවා අපල උපද්‍රවලින් නිදස් වී සිත සුවපත් නිදහස් පුද්ගලයකු බවට පත්වේ. ඒ එක් එක් ග්‍රහයාට සිදු කළ යුතු වතාවත් මෙසේ ය.

රවිට - ඉරිදා දිනයක රවි හෝරාවෙන් වදමල්, උක් සකුරු, තිරිඟු පිටි, සීනි, පරිප්පු, රනින් නිම වූ නෙළුම් මලක්, රතු මැණික් ගලක්, රතු රෙද්දක්, රත් හඳුන් හා එළදෙනක්, පෙරදිගින් ඉඹුල් ගසක් මුල තබා පිදිය යුතු ය.

කුජට - තිරිඟු, පරිප්පු, සීනි, කොරල්, පබළු, අරලිය මල්, තඹ, රතු රෙදි, රිදී ගොනෙක් ආදිය දකුණුදිග බලා කොළොන් ගසක් මුල පිදිය යුතු ය. ඒ අඟහරුවාදා දින කුජ හෝරාවෙනි.

සඳුට - කැකුළු හාල්, ගිතෙල් කලයක්, හාල් පිරවූ බඳුනක්, දී කිරි කෝප්පයක්, මුතු, කපුරු, හක් ගෙඩියක්, සුදු රෙදි, උණ පුරුක් කීපයක්, දිවුල් ගසක් මුල වයඹ දිග බලා පිදිය යුතුයි. ඒ සඳුදා දිනයක සඳු හෝරාවෙනි.

බුධට - මුං ඇට, ගිතෙල්, කලයක්, නා මල්, ඇත් දත්, රිදී රත්තරන්, නිල් තිර රෙදි, පච්ච මැණික්, එළුවකුගේ රුවක් ගෙන කොහොඹ ගසක් මුල පිදිය යුතුය. ඒ බදාදා දින බුධ හෝරාවෙනි.

ගුරුට - සීනි, අමුකහ, ලුණු, මී පැණි, කහ පාට, රෙදි පුෂ්පරාග මැණිකක්, අශ්ව රුවක් බෝ ගසක් ඉදිරියේ ඊසාන දිගින් පිදිය යුතුයි. ඒ බ්‍රහස්පතින්දා දින ගුරු හෝරාවෙනි.

සිකුරුට - කැකුළු හාල්, ගිතෙල්, දුම්මල, තුන් පොට රෙදි කැබැල්ලක්, දියමන්තියක්, රිදී කොටළුවෙක්, කරඳ ගසක් මුල තබා ගිනිකොන දිශාවෙන් පිදිය යුතුයි. සිකුරාදා දිනක සිකුරු හෝරාවෙනි.

ශනිට - උඳු, තලතෙල්, කොල්ලු, ලෝකඩ, ඊයම්, නිල් මැණිකක්, නිල් රෙද්දක්, රත්තරන් මීමෙක්, නුග ගසක් මුල පිදිය යුතු ය. ඒ සෙනසුරාදා සෙනසුරු හෝරාවෙන් බටහිර දිශාවෙන් ය.

රාහුට - තල, තලතෙල්, කස්තුරි, නව කම්බිලියක්, රිදී කඩුවක්, ගෝමේද මැණිකක්, රත්තරන් නාගයෙක් වත්තේ මැද ඇති ගසක් මුල තබා පිදිය යුතුයි.

කේතුට - තල මිශ්‍ර කිරිබතක්, කෙසෙල් ගෙඩි, මී කිරි, මී පැණි, කැවිලි, අගිල් මිශ්‍ර සුවඳ දුම්, රතු මල්, නිල් මල්, පුවක් මල්, කෙසෙල් මුව මල්, පස්තෙල් මිශ්‍ර පහනක්, තද නිල් හා රතු පැහැ කොඩි, වෛරෝඩි මැණිකක්, රත්තරන් නාගයෙක් වත්තේ ඇති කෙසෙල් ගසක් මුල තබා උදය වරුවේ පිදිය යුතුයි.

“දෛත්‍යං පූජ්‍යං දෛත්‍යං ගුරුං පවිත්‍ර ප්‍රහීනන්නදනං චිත්‍රාංගර චාමර ධරං පතිං තං ප්‍රමාණ ම්‍යහං ඒවං වනත්තං මහිමා ජිනරත්නරාත්මා”

යන ගාථාව දේශනා කරමින් පූජා කිරීම සිදු කළ යුතු වේ.

ඒ අනුව එක් එක් ග්‍රහ පැවැත්ම සඳහන් වන කාල තුළදී බලපෑම්වලින් නිදහස් වීමට නම් උක්ත ලෙස සඳහන් වන ආහාරපාන වස්තු පූජා කර සැනසීම උදා කර ගත හැකිය. මිනිස්සු පවුලේ තිබෙන සියලු කරදර හා ප්‍රශ්න ඔළුවේ තබාගෙන මානසිකව පීඩාවිඳියි. කේන්දරය පරීක්ෂා කළ ද ඉන් අපල කාලයක් වැටහුණු විට මානසිකත්වය දෙගුණ තෙගුණ වී මිනිසාට ප්‍රශ්න වර්ධනය කරයි. එවන් අවස්ථාවලදී මේ ග්‍රහයන්ගේ පිහිට පතා වෘක්ෂ වන්දනය සිදු කරයි. එමඟින් සිත නිදහස් කර ගැනීමේ හැකියාව ලැබේ. නැතිනම් සියලු කරදර ඔළුවේ තබාගෙන සිට සැමදා පීඩාවිඳියි.

සය දස සත අටළොස සොළොසේයා

නවලොස සකළොස සත විස්සේයා

ඒ අනුව ඕනෑම පුද්ගලයකුට මෙය පොදුය. එක එක් කාල පරාසයන් තුළ එක් එක් ග්‍රහයා විසින් යහපත් හෝ අයහපත් ව්‍යසනයන් සිදු කරනු ලබයි. එහි සැබෑ තත්ත්වය කෙසේ වුවද ඒවා මිනිසාට හිමි ඒවාය. එනිසා ප්‍රතික්ෂේප කළ නොහැකි ය. එහෙත් ජයගත හැකි අවස්ථා එමටය. දෛනික දිවියට බලපානු ලබන නරක පාපි ග්‍රහයන්, සෙනසුරු, අඟහරු, රවි, කේතු, රාහු ලෙස දහිතකර ග්‍රහයන් - සඳු, සිකුරු, බුධ, ගුරු ලෙසද සලකන අතර ඒ ඒ ග්‍රහයන්ට අයිති කාල මෙසේ ය.

රවිට අවුරුදු 6

සඳුට අවුරුදු 10

කුජට අවුරුදු 7

රාහුට අවුරුදු 18

ගුරුට අවුරුදු 16

සෙනසුරුට අවුරුදු 19

බුධට අවුරුදු 17

කේතුට අවුරුදු 7

සිකුරුට අවුරුදු 20 වශයෙනි.

ශාන්ති කර්ම ගුප්තවිද්‍යා

එස්.ටී. එස් ද සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.