වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
විත්තිකරුවන්ට සාධාරණය ඉටු කළ කොණ්ඩදෙණියේ තීන්දු
කොණ්ඩදෙණිය සීලරතන නායක හිමිපාණන් වෙත සහජයෙන් උරුම වූ බලය අභියෝගයකට බදුන් කළ නොහැක්කක් ලෙස පිළිගැනේ. ඒ එය එතරම් සුවිශේෂි වූ නිසාය. එය බොහෝ දෙනකුගේ ගැටලු නිරාකරණය කළේ විස්මිත අයුරිනි.
ආදරය ඇතැම් විටක මිනිසා අන්ධකාරයෙන් මුසපත් කරයි. “ආලය අන්ධයැයි” සමාජයේ අදහසක් පැතිර පවතින්නේද එනිසාය.
කෙතරම් උගත් අයකු වුවද, තාන්න මාන්න දැරුව ද විටෙක සමාජ සම්මුතීන් බිඳ දමන්නකු බවට පත්විය හැකි අවස්ථා උදාවනු ඇත. එහි ප්‍රතිපලය වනුයේ ජීවිතයේ අතිශයින්ම කටුක අත්දැකීම් සමුදායකට උරුමකම් කීමට සිදුවීමයි. නීතියෙන් දඬුවම් පවා ලැබීමට සිදු වීමයි.
යම් ප්‍රබල නියෝගයන්ට පවා අභියෝග කළ හැකි යතිවරයාණන් වහන්සේ නමක් ලෙස කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියනගේ විස්මිත බලය පිළිබඳ එකල පැවැති විශ්වාසය නිසාදෝ නීති විශාරදයන් පිරිවූහ.
එදා බිනර පොහොයට පසු උදා වූ ඉරිදාවකි. කොණ්ඩදෙණියේ නායක සීලරතන හිමියන් හිමිදිරි පාන්දර අවදිව සුපුරුදු පරිදි ඩිංගිරි බණ්ඩා සකස් කර දුන් ගිලන්පස වළදා බෝ මළුව සහ පන්සල් භූමිය තමන් වහන්සේ විසින්ම ඇමද පවිත්‍ර කොට පහළ වැව් දියෙන් ස්නානය කොට පිරිසුදු වී බුද්ධ මන්දිරයේ සහ දේවමන්දිරයේ වතාවත් ඉටු කළ සේක.
එදා සති අන්තය බැවින් රටේ නන් දෙසින් විවිධ ආතුරයන් පැමිණෙන බැවින් වෙනදාට වඩා වේලාසනින් හීල්දානය වළදා මදක් ගිමන් හල සේක.
ඒත් සමඟම ළානිල් පැහැති නවීන වෑන් රථයක් කොණ්ඩදෙණිය පන්සලේ ගේට්ටුව අසල නතරවිය.
“ඩිංගිරි බණ්ඩෝ ඔය වෑන් එක පන්සල ඇතුළට ගන්න ගේට්ටුව ඇරලා දුන්නා නම්...”
“එහෙමයි නායක හාමුදුරුවනේ”
හොඳින් හැද පැළඳ ලිපි ගොනු කිහිපයක් අතින් ගත් ආගන්තුක පිරිසක් වාහනයෙන් බැස ගත්හ.
“ආහ්.....ඩිංගිරි බණ්ඩෝ තව එකක්
මේ මහත්තැන්ලාට පහළ පොකුණෙන් මුහුණ කටහෝදා ගෙන නෙලුම් මල්ද කඩාගෙන බෝමළුව සහ විහාර මන්දිරය වන්දනාමාන කොට තමන් පැමිණි කාරණය ඉෂ්ට සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරගෙනම එන්න කියන්න.”
“එහෙමයි හාමුදුරුවනේ”
“මේ ඇත්තන් වැදගත් ආගන්තුක මහතුන් ලෙසටයි. මට පෙනෙන්නේ උන්දැලට උදේට සප්පායම් වෙන්ඩ කුරක්කන් ඉදිආප්ප, පිට්ටු සහ කුරහන් රොටි එක්ක ව්‍යාංජනයක්ද, කිරිහොද්දක් හදල කිතුල් හකුරු එක්ක කොළකැඳ දෙන්න” හිමි අණ වහා ක්‍රියාත්මක විය. පැමිණි ආගන්තුක මහතුන්ද උදේ සංග්‍රහය සතුටින් භුක්ති වින්දේය.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”
“මහත්තයලා කොයි පළාතෙ ඉඳලද ආවේ”
“අපි ගාල්ලෙ ඉඳලයි ආවේ. ගාල්ල උසාවියේ නීතිඥ මහත්වරු හාමුදුරුවනේ”
“ඉතින් මෙහාට තකහනියෙම ආවේ”
“අපි දකුනු පළාතේ ලොකු දොස්තර මහත්තයෙක් වෙනුවෙන් ගාල්ලේ ඉහළ උසාවියේ පෙනී සිටින්නේ “හොඳයි දොස්තර මහත්තයා කරපු වරද මොකක්ද?”
“දොස්තර මහත්තයා රටේ ලෝකෙ ප්‍රසිද්ධ කෙනෙක්. රෝහලේ නර්ස් නෝනා කෙනෙක් එක්ක යාළුවෙලා හිටියා. ඉතින් දොස්තර මහත්තයාගේ නෝනා මහත්තයාට මේක ආරංචිවෙලා. අපේ දොස්තර මහත්තයත් එක්ක විරසක වෙලා හැම තිස්සෙම ඒ නෝනාට තරහා එනවා. මහත්තයාව තුට්ටුවකට මායිම් කරන්නේ නැතිව ගෙදරදී නිරන්තරයෙන් පවුලේ ගැටුම් සිදු වුණා. දොස්තර මහත්තයාට සලකන්නේ නැතිව ගියා. කාලයක් යනකොට දොස්තර මහත්තයා නර්ස් නෝනාත් එක්ක සම්බන්ධය වැඩිවෙලා අන්තිමට අනියම් බිරිය බවට පත්වුණා නොවැ. ඉතින් දොස්තර මහත්තයාටත් තමන්ගේ නෝනා සමඟ කේන්ති ඇවිත් තමන්ගේ නෝනාව කාමරේකට දාල හිරිකරල තිබ්බා.
උදේ දවල් රෑ කෑම දෙන්නෙත් කඹයක් දාලා කෑම පිඟානයි වතුර බෝතලයයි. අන්තිමේදි දෝසතර මහත්තයා අතින් ඒ නෝනා මහත්තයා මැරුණා. උසාවියේදි ජූරි සභාව දෝසතර මහත්තයාව එල්ලලා මරන්න නියම කළා.”
“දැන්මට තේරෙනව වෙච්ච සංගදිය... ඉතින් මහත්තයලා මගෙන් මොනවද කෙරෙන්න ඕන”
“ඔබ වහන්සේ ගාල්ලෙ නඩුකාර උන්නාන්සේලා එතරම් අඳුරන්නෙ නැහැනේ. අපි අභියාචනාවක් ඉදිරිපත් කරලා විත්තිකාර දොස්තර මහතීතයා වෙනුවෙන් පෙනී සිටිනවා. ඔබ වහන්සේ ගාල්ලෙ උසාවියට වැඩම කරල කොහොම හරි මරණ දණ්ඩණයෙන් දොස්තර මහත්තයාව බේරලා දෙන්න.”
“හොඳයි දොස්තර මහත්තයාගේ නෝනා මිය ගිහින් දැන් වසර ගණනාවක් ගතවෙලා තියෙනවනේ. අනික දොස්තර මහත්තයා තමන්ගේ පවුලට අවඩැක් කළත්, බන්ධනාගාරේ කූඩුවෙ ඉන්න මිනිසුන්ට වත් වෛද්‍ය වෘත්තියෙන් ප්‍රයෝජනයක් ගත හැකි නොවැ.”
“එහෙමයි නායක හාමුදුරුවනේ”
මඳක් කල්පනාවේ නිමග්නව වැඩ සිටි හිමියෝ ආගන්තුක පිරිස දේව මන්දිරයට කැදවා දහස් වර පිරිත් කළ දිග පිරිත් නූලක් අල්ලාගෙන ඉන්න සලස්වා හෝරාවක් පුරාම ප්‍රබල මන්ත්‍රයක් ජප කරන්නට වූහ. ක්‍රමයෙන් මන්ත්‍රය වඩ වඩාත් ශබ්ද නගා ජීවම් කොට අවසන් කළ සේක. ආගන්තුක නීතිඥ මහතුන්ගේ දකුණුූ අතේ පිරිත් නූල් බන්දවා අප හිමියන් කෙසේ හෝ දොස්තර මහතාගේ දකුණු අතේ විශේෂිත පිරිත් නූල ගැටගසන ලෙස උපදෙස් දුන් සේක.
නියමිත දින ගාල්ල උසාවියේදී අභියාචනය විභාගයට ගන්නට විය. නීතිඥවරුන්ගේ තර්ක විතර්ක ඉදිරිපත් විය. සියලු දේශන අවසන් විය.
කොණ්ඩදෙණියේ නායක සීලරතන හිමියන්ද උසාවියේ කෙළවරක ඍජු ලෙස විනිසුරුතුමා පෙනෙන ඉසව්වක වැඩ සිටි සේක. උන්වහන්සේ බලගතු මන්ත්‍රයක් හෙමින් තොල්මතුරමින් එක එල්ලේ විනිසුරුතුමා දෙසම බලා සිටිසේක. අභියාචනා උසාවියේ අවසාන විනිශ්චය ප්‍රකාශයට පත්විය.
“මේ විත්තිකරුට ජූරිසභාව සාධාරණව දඬුවම් නියම කර තිබෙනවා. ඒත් එල්ලා මැරීමට දුන් තීන්දුව වෙනස් කොට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කරනවා. බන්ධනාගාරයේ යහපත් කල්ක්‍රියාවෙන් සිටිය හොත් අවුරුදු 10කින් පමණ සමාව ලැබීමට වුවත් හැකියි. එමෙන්ම සිර මැදිරියේ සිටියදීි බන්ධනාගාරගත නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පිණිස විත්තිකරුට ලිහිල්ව ගතකිරීමටත් වෛද්‍ය වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් සපයන ලෙසත් නියෝග කරනවා.”
නඩුව අවසන් විය. නීතිඥ මහත්වරු හිමි දෙපා වන්දනා කොට සතුට පළ කළහ. හිමියන් වහාම කොණ්ඩදෙනිය පන්සලට වැඩම කළ සේක.
වත්මන් කොණ්ඩදෙණියය රජමහ විහාරාධිපති ශාස්ත්‍රවේදි කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට කොළඹ ප්‍රදේශයේ විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ මහතුන් දෙදෙනකු පැමිණියේ ඉහත කතා ප්‍රවෘත්තියට ආසන්න සිද්ධියක් සම්බන්ධයෙනි.
එක කුසේ උපන් නිඹුල්ලු දරුවන් සිටි පවුලක තම මැඩිමහල් සොහොයුරා බේරා ගැනීමේ අටියෙන් වරද පිළිගත් බාල නිඹුල් සොහොයුරා විත්තිකරු විය.
දිනක් වෙරිමතින් පැමිණී පුද්ගලයන් කිහිප දෙනකු තම නිවෙස පිහිටි භූමියට බලහත්කාරයෙන් පිවිස පිරිසේ නායකයා නොසරුප් බස් දොඩා පැරැණි ඉඩෙම් ප්‍රශ්නයක් මුල්කොට ගෙන වැඩිමහල් නිඹුල්ලු සොයුරාට පහර දුන්නේය. ඉන් කිපුණු සොයුරා බීමත්ව පැමිණී කණ්ඩායම් නායකයාව තම ඉඩම පිහිටි මායිමෙන් පිටතට තල්ලු කළේය. පැමිණි අනෙක් පිරිස වහා දිව යන්නට විය.
එහිදී එම පුද්ගලයාගේ පය ලිස්සී ඇද වැටී ඒ අසල තිබුණූ ගලක හිස වැදී බරපතළ තුවාල සහිතව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගියේය.
පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් දැරූ තම වැඩිමහල් සොයුරා වෙනුවෙන් එකම පෙනුමැති බාලසොයුරු වහා ඉදිරිපත්ව වරද පිළිගෙන පොලීසියටත් භාරවිය. උසාවියේ සාක්ෂි විභාග කොට වසර 5ක සිර දඬුවම් නියම විය. නැවත නඩුව අභියාචනා අධිකරණයේ විභාග වී අවසන් තීන්දු දීමට දින තුනකට පෙරාතුව විත්තිකරු වෙනුවෙන් පැමිණී නීතිඥ මහත්වරු වත්මන් විහාරාධිපති අනුරුද්ධ හිමියන් බැහැදැකීමට පැමිණ සිටියහ. කරුණු, කාරණා විමසා බලා කල්පනාවේ නිමග්නව සත්‍ය බව අවබෝධ කොටගත් අනුරුද්ධ හිමියන් ප්‍රබල මන්ත්‍රයක් පුරා හෝරාවක් තිස්සේ දහස්වර පිරිත් කළ නූලක් ජීවම් කොට නීතිඥ මහතුන්ගේ දකුණු ූඅතේ බැන්දවූහ. එම නූලක් විත්තිකරුගේ දකුණූු අතේද බැන්දවීමට නීතිඥයන් කළ උත්සාහය ද සාර්ථක විය.
නියමිත නඩුවිභාග අවසානයේ අභියාචනාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්විය. බීමත්ව පහරදීමට පැමිණිවිට ආත්මාරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් ලෙස සලකා නඩුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් විණි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ