වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
හෝටල්කරුවන් මවිත කළ හුණු ඩිංගේ මන්තරය
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්ට තම දායකයන් විසින් පිරිනැමූ ජීප් රථයක් තිබුණද, බොහෝ දුර බැහැර ගමන් සඳහා උන්වහන්සේ වඩාත් ඇලුම් කළේ දුම්රියෙන් යෑමය. වාෂ්ප දුම්රියන් පිටවන ගල් අඟුරු දැවීමෙන් දසත පුරා විහිදෙන ඒ අපූරු සුවඳ උන්වහන්සේ වඩාත් පි‍්‍රය කළසේක.
ඒ නිසාදෝ එදින කොණ්ඩදෙණියේ නායක හිමියන් තම ජීප් රථයෙන් මහව දුම්රිය ස්ථානයට වැඩම කොට එතැන් සිට තම අතවැසි ඩිංගිරි බණ්ඩාත් සමඟ රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ බලා පිටත් වන්න සිතුවේ. කොළඹ රාජකාරී රැසක් ඉටුකර එදින රාත්‍රී නැවත මහවට පැමිණීමේ අපේක්ෂාව උන්වහන්සේගේ සිතේ පෙරටු කොට ගෙන තිබිණි.
එකල කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හිමිදිරි පාන්දර 1.45ට පමණ මහව දුම්රිය ස්ථානයට ළඟාවේ. පාන්දර 4ට පමණ ඒ තැපැල් දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා විය. එකල කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දිවා, රාත්‍රී පුරා විවෘතව පවතින හෝටලයකට හිමියෝ ඩිංගිරි බණ්ඩාත් කැටුව ගොඩ වූ සේක. දිනය පුරා කළ යුතු රාජකාරී කටයුතු රැසක් තිබුණ නිසා පාන්දරින්ම හීල් දානය එම හෝටලයෙන් වැලඳීමට අපේක්ෂාවෙනි ඒ. එයද එකල කොටුවේ තිබූ හොඳම ප්‍රසිද්ධම හෝටලය විය.
එසේ වුවද එම හෝටලයේ සිටි වේටර් කොලුවාගේ මුහුණේ නොරිස්සුම් ගතියක් පෙන්නුම් කෙරිණි. ඔහු බොහෝ තෙහෙට්ටු ගතියක් ද පෙන්නුම් කළේ රාත්‍රිය පුරාම සේවය ඉටුකිරීම නිසා විය හැකිය.
කෙසේ වෙතත් අප හිමියන් එහි වැඩම කළ ද වේටර් කොලුවා කිසිසේත්ම ඒ ගැන තැකුවේ නැත. මේසය පුරා අපිරිසුදු තත්ත්වයෙන් පැවතිණි. හිමියන් මේසය පවිත්‍ර කරන ලෙස ඉල්ලා සිටිසේක. එයින් කිපීමට පත් වේටර් කොලුවා ආවාට ගියාට එම මේසය පවිත්‍ර කළේ හිමියන් ඇඳ සිටි චීවරයටද ඉඳුල් ඉසෙන පරිද්දෙනි. එපමණක් නොව ඇණවුම් කළ බත් වෑංජන පිරිනැමුවේද කිසිදු ගරුසරුවක් නොදක්වමින් ආවාට ගියාටය. අඩුපාඩු ව්‍යාංජන ගෙනෙන ලෙස කීවද එය එතරම් ගණන් නොගෙන සෑහෙන වෙලාවකට පසුව ව්‍යාංජන ගෙන එන ලදී. වේටර් කොලුවාගේ නොසැලකිලිමත්කමින් හොදි ව්‍යාංජනයක්ද මේසය මත ඉහිරිණි.
නායක හිමියන්ට මෙය එතරම් සිත්ගත්තේ නැත. එසේම හිමිනමක් ඉදිරිපිට වේටර් කොලුවාගේ හැසිරීම කොහෙත්ම අවස්ථාවට උචිත නොවීය. හිමියන්ද හෝටලයේ උඩ සිට පහළට ඇස්කරකවා බැලූ සේක.
“ඩිංගිරි බණ්ඩො මට මෙවුන්ගේ ගතිගුණ අල්ලන්නේ නැහැ. මගේ තැනට ගෙන්වල පාඩමක් උගන්වන්න ඕනෑ. මෙතින් අපි යන්න ඉස්සර වෙලා බුලත් විටක් ඉක්මනට අරන් ආවනං.”
“එහෙමයි හාමුදුරුවනේ” හිමි අණ වහා ඉටු කෙරුණි. හිමියන් බුලත් විටේ හුණු ටිකට මතුරා කෑම මේසයෙ අතුල්වා ගාස්තුවා ගෙවා හනිකට හෝටලයෙන් පිටතට වැඩම කළ සේක.
කොළඹ සියලු යාතු කර්ම, ශාන්ති කර්ම, සහ රාජකාරී අවසන් කර නැවතත් රාත්‍රී 8ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරය බලා යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වූහ. එහිදී කොණ්ඩදෙණිය හිමියන් දැන හඳුනන දුම්රිය සේවකයන් හිමියන්ට පැවසුවේ ඉස්සරහ හෝටලයේ සේවකයන් එකිනෙකා රණ්ඩුසරුවල් කරමින් ගහ මරාගන්නා බවය. ඒ බව නොතකා දුම්රියට හිමයන් ගොඩවනවාත් සමඟම නියමිත වේලාවට කොටුවෙන් දුම්රිය ධාවනය ආරම්භ විය.
රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී දහය හමාරට පමණ මහව දුම්රිය ස්ථානයට ළඟාවිය. එතෙක් එහි රැඳී සිටි හිමියන්ගේ ජීප් රථයේ රියැදුරු හිමියන් රැගෙන කොණ්ඩදෙණිය පන්සල බලා පිටත්විය.
පසුදින කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් හිමිදිරියේ බෝමළුව සහ පන්සල් බිම ඇමද සියලු වත් පිළිවෙත් ඉටුකර අවසන් වූවා පමණි. පන්සල් ගේට්ටුව ඉදිරිපස වඳුරු මුහුණ සහිත ලොරි භාගයක් නතර කර තිබිණි. එහි කොළඹ කොටුව හෝටලයේ අයිතිකාර මුදලාලි සහ ඔහුගේ සහායකයන් පිරිසක් ද පැමිණ සිටියහ.
“ඩිංගිරි බණ්ඩෝ ඔය ගේට්ටුව තව හෝරාවකින් පමණ ඇරල ලොරිබාගෙ ඇතුළට ගන්න ඉඩ සලස්වන්න. එතකම් ඔහෙ බලාන හිටපුවාවේ. හිමි අණ එපරිදිම ක්‍රියාත්මක විය.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ” සමාවන්න. ඔබ වහන්සේ ඊයේ උදේ අපේ හෝටලයට හීල් දානෙ වළඳන්න වැඩම කළා කියල දැනගත්තේ රාත්‍රියේ කොටුව දුම්රිය පොළේ වැඩකරන සේවකයකුගෙන්. ඉතින් රෑම අපේ හෝටලයට බඩුගේන ලොරිබාගයෙන්ම මගේ ගෝලයන් කිහිපදෙනකු එක්ක ඔබවහන්සේ බැහැදකින්නයි ආවේ.”
“ඇයි ඉතින් හැරෙනසුනංගුවට මෙහේ ආවේ.”
“අනේ අපේ නායක හාමුදුරුවනේ මගේ හෝටලයට මහ ඇබැද්දියක් වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ හෝටලයට වැඩම කරල පිටත්වුණාට පස්සේ අපේ හෝටලයට හරි නස්පැත්තියක් නෙ වෙලා තියෙන්නේ. සේවකයෝ කවදාවත් නැතිව දෙපැත්තට බෙදිල ගහමරා ගන්නවා. දෙතුන් දෙනෙක් ඉස්පිරිතාලයටත් යවන්න සිදුවුණා නොවැ.”
“හෝටලයට අලාභ හානිත් වෙලාද?”
“එවුන් එවුන්ම රණ්ඩුසරුවල් කරගෙන පුටු මේස කඩල ඉස්සරහ වීදුරු ෂෝකේස් සියල්ල බිඳල මට හරිම අලාභ හානියක් වෙලා තියෙන්නෙ හාමුදුරුවනේ.
“වෙන මොනවද වෙලා තියෙන්නේ.”
“අනේ සමාවෙන්න අපේ නායක හාමුදුරුවනේ. අපේ වේටර් කොල්ල ඔබ වහන්සේට කළ මදිපුංචිකම් හෝටලයේ තේ හදන කොලුවා දැකල මට කිව්වා.” එසේ කියමින් හිමි දෙපාමුල අඬා වැටුණු හෝටලයේ හිමිකරු සමාව අයදින්නට විය.
“අනේ මට සමාවෙන්න නායක හාමුදුරුවනේ උන්දැ කරපු නොසැලකිල්ලට.”
“මම පොඩි එවුන් කරන වැරදි එතරම් ගණන් ගන්න කෙනෙක් නොවෙයි. ඒ වුණාට මේ උන්දැලා මම ඇඳන් ඉන්න බුද්ධ චීවරයටවත් ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ.
මම ඔහෙට එක අවවාදයක් දෙන්නම්. චීවරයක් ඇඳගෙන ඔතැන හෝටලයට එන්නේ පිටිසර ගම්දනව්වල හාමුදුරුවන් වහන්සේලායි. ඒ අයට නිසි ගෞරවය ලබාදෙන්නටත්, පිළිවෙළකට වැඩ කරන්නටත් ඔය හෝටලයේ කොලු ගැටවුන්ට අවවාද කරනවා හොඳයි.”
“එහෙමයි අපේ හාමුදුරුවනේ”
“හොඳයි මේ පිරිත් වතුර කලය හෝටලය පුරා ඉහින්න. සියල්ල හරියාවි.”
මුදලාලි නායක හිමියන්ගේ දෙපාමුල නැවත වැඳවැටී සමාව ගෙන පිටව ගියේ මහත් සහනයක් සිතට දැනුණු නිසාය.
කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ද දිනක් රාජකාරී කටයුත්තක් සඳහා තම මෝටර් රථයේ රියැදුරු සහ තවත් සහයකයන් දෙදෙනකුද සමඟ කොණ්ඩදෙණියේ සිට අවිස්සාවේල්ල ප්‍රදේශයට අලුයම පිටත්වූ සේක. එම කටයුතු අවසන් කර අවිස්සාවේල්ලේ මෑතකදී ඉදි කළ හෝටලයක රථය නතර කර දහවල් දානය වළඳා නිම කළ සේක. රියැදුරු සහ සහායකයන්ද දහවල් ආහාරය ගෙන අවසන් විය. වේටර් මහතා විසින් ඉදිරිපත් කළ බිල්පතේ අසාධාරණ ලෙස කිසිසේත් ඇදහිය නොහැකි තරම් ඉහළ මිලක් සිවු දෙනා වෙනුවෙන් සටහන් වී තිබිණි.
එසේ වුවද සැපයූ සේවාවද එතරම් හොඳ තත්ත්වයේ නොතිබිණි. කෙසේ වෙතත් බිලේ මුළු මුදල ඔරොත්තු නොදෙන තරම් බැවින් හිමිගේ රියැදුරු මේ මුළු මුදල සැකසුණු ආකාරය දන්වන ලෙස වේටර්වරයාට දන්වන ලදී. “අපිත් හරියට දන්නෙ නැහැ. බිල හැදුණ ආකාරය. ඔය ළඟදී රට ඉඳල ඇවිත් ඉන්න මුදලාලිගේ පුතා තමයි කැෂියර් එකේ ඉන්නේ. එයා තමයි බිල ලියල එවන්නෙ.”
එවිට අනුරුද්ධ හිමියන්ගේ රියැදුරු කැෂියර් එකේ වාඩි වී සිටි කොණ්ඩය විවිධ වර්ණයන්ගෙන් විච්චූර්ණ කර ඇති තරුණයා හමුවිය. “මෙතරම් මුදලක් අයකරන එක සාධාරණ නැහැනේ. ඔහේ දන්නවද මේ වැඩම කරල ඉන්නේ කොණ්ඩදෙණියේ රජමහා විහාරයේ නායක හාමුදුරුවන් බව.”
“හා... හා..... මොන දෙණියේ ඉඳල ආවත් ඒවායින් මට වැඩක් නැහැ. කෑව නම් බීවනම් මුදල් ගෙවල යන එකයි තියෙන්නේ. සේවා ගාස්තුත් එක්කයි අයකරල තියෙන්නේ...”
සිද්ධිය දුටු අනුරුද්ධ හිමියන් වහා ඉදිරිපත්ව තම පසුම්බියේ මුදල් නෝට්ටුවලට පුංචි මන්ත්‍රයක් මතුරා එම බිල වහා ගෙවා දමා කොණ්ඩදෙණිය බලා පිටත්වූ සේක.
ඊට පසු දිනම කොණ්ඩදෙණිය රජමහා විහාරයට තම බෙන්ස් රථයෙන් සපැමිණි අවිස්සාවේල්ල හෝටලයේ හිමිකරු සහ මුදල් අයකැමි පුතා අනුරුද්ධ හිමියන් හමුවී වැඳ නමස්කාර කොට සමාව අයදින්නට වූහ.
සිදුවී ඇත්තේ අපූරු සිදුවීමකි. හෝටලයේ ලාච්චු සියල්ලමද සේප්පු ද හිරවී අගුළු නොහැරී ඇත. යතුරු සියල්ල තිබුණද කෙසේවත් විවෘත කළ නොහැකි විය. ගරාජයේ තිබූ වාහනයද ගෙන තිබුණේ අගුළු ගලවා මහත් වෑයමක් යෙදූ පසුවය. අනුුරුද්ධ හිමියන්ගෙන් අයකළ මුළු මුදල පන්සලේ පින් කැටේට දැමූ හෝටලය හිමිකරු මින් මතුවට මෙවැනි වරද සිදු නොකිරීමට ශපථ කළේ ය. ඉන්පසු දිනම සාධාරණ මිල ගණන් දැන්වූ පුවරු ද පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කිරීමට හිමිකරු පියවර ගත්තේ ය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ