වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අපූරු සැත්කම (අද්භූත රෝගියා-2)
මෙතෙක් කතාව
ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන මෙන් බවසයි. එහෙත් වෛද්‍යවරයා ඔහුගේ අතෙහි එවැනි තුවාලයක් නැති බව දකියි. කෙසේ වුවත් ඔහුගේ බලවත් ඉල්ලීම පිට වෛද්‍යවරයා එයට එකඟ වෙයි. “හොඳයි මම ඔබ වෙනුවෙන් පුළුවන් ප්‍රතිකාරයක් කරන්නම්” යයි හෙතෙම රෝගියාට පවසයි.
“හැබැයි දින කීපයක්වත් මට නම් ඉන්න බැහැ, දොස්තර මහත්තයා” රෝගියා නොඉවසිලිමත්ව ආයාචනා කරන්නට පටන් ගත්තේය. “ඔබටවත් මටවත් පෙනෙන්නේ නැති තුවාලයක් මේ අතේ තියෙනවා. එයින් ඇති කරන වේදනාව නිසා මම දිවා රෑ දුක් විඳිනවා. මට පිස්සුයි කියලා හිතන්න නම් එපා. ඇත්තම කියනවා නම් මම ඔබට පෙන්වපු තැන, ඇඳපු රවුම ඇතුළෙන් කටුවට යනකම් කපලා හාරලා දැම්මොත් මේ වේදනාව නැතිවෙන බව මට ස්ථිරයි. මට ඒ උදව්ව කර මේ වේදනාවෙන් මුදාගන්න”
“කීයටවත් මට ඒක කරන්න බැහැ”
“ ඇයි බැහැ කියන්නේ ? ඔබ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් නේද?”
“ ඒ නිසාම තමයි මම එහෙම නොකරන්නේ. ඔබට තිබෙන්නේ නිරෝගී අතක් බව මා හොඳීන්ම දන්නා නිසා. හරියටම කියනවා නම් මෙය මේ මගේ අත වගේ අතක් නිසා”
රෝගියා කිසි කතා බහක් නැතිව ෆ්ලෝරින් දහසක නෝට්ටුවක් සිය වොලට්ටුවෙන් ඇද වෛද්‍යවරයාගේ මේසය මත තැබීය .
“ මම දන්නවා ඔබ මා උමතු මිනිසෙක් යයි සිතන බව. ඒ වගේම බොරුවක් කියලා ඔබව රවටන්න හදනවයි කියා සිතන බවත් දන්නවා” රෝගියා දුක්මුසු ස්වරයෙන් පැවසීය.
“නමුත් මේ වේදනාවෙන් මිදෙන්නට ඕනෑ නිසා ඒ වෙනුවෙන් ෆ්ලොරින් දහසක් ගෙවන්න වුණත් මම සූදානම් බව ඔබට පෙනෙනවා ඇති. කරුණාකරලා මේ සැත්කම කරන්න”
“ දහසක් නෙමෙයි ඔබ ලෝකය පුරාම ඇති සල්ලි එකතු කරගෙන ආවත්, සිරුරක නිරෝගී අවයවයක් වෙනුවෙන් මම සැත්කම් පිහිය භාවිත කරන්නේ නැහැ”
“ එයට හේතුව?”
“ හේතුව තමයි එය අපගේ වෛද්‍ය ආචාරධර්මවලට සම්පුර්ණ විරුද්ධ කටයුත්තක් වීම. මම ඔබේ දුබලකමින් ප්‍රයෝජන ගෙන මුදලක් කඩා ගන්තා කියා ප්‍රචාරය වේවි. සිරුරේ තුවාලයක් තියෙනවාද නැද්ද කියාවත් විනිශ්චය කරගත නොහැකි ශල්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් මගේ කිර්තිය පළුදු වී යාවී”
“හොඳයි ඵහෙම නම් දොස්තර මහත්තයා” රෝගියා ස්ථිරසාර කට හඬකින් තම සැලැස්ම ඉදිරිපත් කළේය. “ඵහෙම නම් ඔබට තමන්ගේ වෘත්තීය ආචාර ධර්ම රැකෙන ආකාරයෙන් මෙයට සම්බන්ධ විය හැකි ක්‍රමයක් මම පෙන්වා දෙන්නම්. ලෝකයේ බොහෝ දෙනෙකුට වගේ මටත් මගේ දකුණත තරම් වම් අත හුරු නැති වුණත්, මම ඒ අතින් මේ ඔපරේෂන් එක කර ගන්නම්. මම ඔබෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඵ් ඇතිවෙන තුවාලයට ප්‍රතිකාර කිරීමේ වගකීම බාර ගන්නා ලෙස පමණයි”
මේ රෝගියා කවටකමකට සැරසෙන්නකු නොවන බව ඒත්තු යාමත් සමඟ වෛද්‍යවරයාගේ මනස විස්මයෙන් ඇළලී ගියේය. කබාය ඉවත් කොට සිය දකුණතෙහි කමිස අත උඩට නැමූ රෝගියා, තම සාක්කු පිහිය දිගහැර වමතට ගත්තේය. ඉක්බිති වෛද්‍යවරයාට සිතා ගැනීමටවත් අපහසු තරම් වේගයකින් දකුණතේ කලින් පෙන්වූ තැනට ඇන ගත්තේය. සැණෙකින් ගැඔුරු තුවාලයක් නිර්මාණය කරවනු ලැබූ ඵම උමතු ප්‍රහාරයත් සමඟ වෛද්‍යවරයා කෑ ගසමින් ඉදිරියට පැන්නේය.
“ නවත්තනවා ඔය පිස්සු වැඩේ” ඔහු කෑ ගැසුවේය.
“හොඳයි තමුසේ මහා විනාශයක් කර ගන්න හදන නිසා මම මේක කරන්නම්”
මෙසේ පැවසූ වෛද්‍යවරයා සැත්කම ආරම්භ කළේය. බොහෝ සේ රුධිරය ගලා යන සැත්කමක් වන හෙයින් ඉවත බලා ගන්නැයි හෙතෙම රෝගියාට දැන්වීය.
“එහෙම අවශ්‍ය නෑ”
රෝගියා ඉතා සැහැල්ලු ස්වරයෙන් පැවසීය.
“මොකද මම කැපිය යුතු ප්‍රමාණය කොයිතරම් ද කියලා ඔබට පෙන්වා දිය යුතුයි නේද?” හෙතෙම ඇසීය.
රෝගියා කිසිදු කම්පනයකින් තොරව සැත්කමට මුහුණ දුන් ආකාරය ශල්‍ය වෛද්‍යවරයා පුදුමයට පත් කළේය. පොරොන්දු වූ පරිදිම කැපිය යුතු තැන වෛද්‍යවරයාට පෙන්වා දුන් රෝගියා අල්පමාත්‍රවුද වෙව්ලීමකින් පවා තොරව ඒ මුළු කාලයම ගත කළේය. සැත්කම අවසන් වූ පසු හිසෙහි තිබූ මහත් බරක් බිම තැබු කලෙක වැනි සැනසුමක් ඔහු අත් වින්දේය .
“ දැන් අතේ කැක්කුම කොහොමද ?” වෛද්‍යවරයා රෝගියාගෙන් විමසීය.
“පොඩ්ඩක්වත් නැහැ දොස්තර මහත්තයා.” රෝගියා සැනසිලිදායක මන්දස්මිතයකින් යුතුව පැවසීය. “සිරුර ඇතුළේ තිබුණු වේදනාව කපලා අරන් දැම්ම වගෙයි. ඇත්තම කියනවා නම් ඔබේ සැත්කම් පිහියෙන් අත කැපෙද්දී මට දැනුණේ රත්වෙලා පිලිස්සෙන අතරවාරයේ සීතල සූළං පහරක් හමාගෙන යනව වාගෙ. ලේ ගලාගෙන යන එකෙන් මට හරිම සනීපයක් දැනුණා”
සැත්කමෙන් අනතුරුව තුවාලය වෙලීමත් සමඟ රෝගියා සම්පුර්ණයෙන්ම අළුත් මිනිසකු බවට පත්වූයේය. ඔහු කෙරෙන් පහල වූයේ සන්තෝෂජනක තෘප්තිමත් විලාශයකි. තම වමතින් හෙතෙම වෛද්‍යවරයාගේ දකුණත ඉතා තදින් මිරිකා ගත්තේ ය.
“දොස්තර මහත්තයා මම නැවතත් ඔබට අතිශයින්ම කෘතඥ වෙනවා”
සැත්කමෙන් අනතුරුව තවත් දින කීපයක් තිස්සේ රෝගියා නගරයේ හෝටලයක නැවතී සිටියේය. මේ සෑම දිනකම වෛද්‍යවරයා තම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා හෝටලයට ගියේය. මේ කාලය තුළ ඉතා සන්සුන් සුවපත් මානසික තත්ත්වයකින් පසුවූ රෝගියා, උගත් මෙන්ම ආචාරශිලී පුද්ගලයකු බව ද, තම පළාතේ උසස් පවුලකට අයත් වූවෙකු බවද දැන කියා ගැනීමට වෛද්‍යවරයාට හැකි විය.
තුවාලය සුවපත් වීමෙන් අනතුරුව මේ තැනැත්තා වෛද්‍යවරයාගෙන් සමුගෙන සිය ගම්පළාත බලා පිටත්ව ගියේය. ගතවූයේ සති තුනක කාලයකි .
රෝගියා නැවත වරක් ශල්‍ය වෛද්‍යවරයා ඉදිරියට පැමිණ සිටියේය. පළමු දවසේදී මෙන්ම එවරද රෝගියා සිටියේ සිය දකුණත උරපටියකින් එල්ලා ගනිමිනි. ඔහු වෛද්‍යවරයාට පැවසුවේ සැත්කමට පෙර සිදුවූ පරිදිම ඒ ස්ථානය නැවතත් දරුණු ලෙස කකියන්නට පටන්ගෙන ඇති බවය. රෝගියාගේ මුහුණ බරපතළ ලෙස සුදුමැලිව තිබු අතර නළල් තලය දහදියෙන් පෙඟී තිබිණි. අනාරාධනාවෙන්ම පුටුවක් මත ඇද වැටුණු හෙතෙම වෛද්‍යවරයාට තම දකුණු අත පැවේය.
“ අනේ දෙවියනේ මොකද ආයෙත්? දැන් ඔබට මොකද වෙලා තියෙන්නේ ?” වෛද්‍යවරයා විමසීය. “ එදා ඔබ අතින් ගැඔුරට හෑරුණේ නැහැ”
ඔහු කොඳුළේය.
“පස්සේ ආයෙමත් අත කකියන්නට පටන් ගත්තා”
“ ඇත්තම කියනවා නම් වේදනාව ඉස්සරටත් වැඩියි. ආයෙමත් ඔබට කරදර කරන්න අකමැති වුණ නිසා මම කොහොම හරි වේදනාව දරා ගෙන ඉන්න උත්සාහ ගත්තා. ඒත් මට තව දුරටත් නම් ඉවසා ගෙන ඉන්න අමාරුයි. දොස්තර මහත්තයෝ අපි ආයෙමත් ඒ තැන කපා ඉවත් කරන්න ඕනෑ”
අවවාද කිරීම හෝ වාද කිරීම්වලින් තොරව මෙවර සැත්කම ආරම්භ කරනු ලැබීය. සැත්කමෙන් අනතුරුව රෝගියාට ලොකු සැනසීමක් දැනුණු බව පෙනෙන්නට තිබුණි. එහෙත් රෝගියාගෙන් ඒ හේතුකොට ගෙන පෙර දවසේ මෙන් සැනසිලිදායක මඳහසක් නැගුණු බවක් වෛද්‍යවරයාට දක්නට නොලැබිණි. ඵ්
වෙනුවට බිඳුණු හඬකින් ඔහු වෛද්‍යවරයාට මෙසේ පැවසීය.
“තව මාසයක් ගත වෙන්න කලින් මම ආපහු ආවොත් දොස්තර මහත්තයා ඒ ගැන පුදුම වෙන්න එපා”
“ ඒ වුණාට ඔබ එහෙම හිතන්න එපා. මෙවර ඔබ සදහටම සුවපත් වෙයි”
වෛද්‍යවරයා පැවසීය. එහෙත් එය අවිනිශ්චිත සිතුවිල්ලක් විය හැකි බව තම රෝගියා ගැන දන්නා ඔහුට හැඟී ගියේය.
එහෙත් මාසයක් පමණ ගෙවී යාමෙන් පසු වුවද රෝගියා ආපසු පැමිණියේ නැත. තවත් මාසයක් ගත වී ගියේය. නමුත් ඒ කාලය අවසානයේ රෝගියා වෙතින් ලිපියක් ලැබිණි. වෛද්‍යවරයා විසින් එය විවෘත කරනු ලැබුවේ කුතුහලය මුසු සන්තෝෂයකිනි. රෝගියාට වේදනාව යළි ඇති නොවන්නට ඇතැයි යන හැඟීමක් ඔහු තුළ ඇතිවී තිබිණි.
(තවත් කොටසක් ලබන සතියේ ) ප්‍රේමසිරි