අගෝස්තු 03 සිට 09 දක්වා උපන් ඔබේ ගතිගුණ

අගෝස්තු 2, 2024

 

අගෝස්තු 3

(පෞද්ගලික අංකය 3)

සෑම දෙයක්ම මහා පරිමාණයෙන් සැලසුම් කරන ස්වභාවයක් නිතරම ඔබ පිළිඹිබු කරන්නේ. හැම දෙයක්ම ක්‍රමාණුකූලවත් පිළිවෙලටත් කරන්නටත් නිතරම කැප වෙනවා. ඒ නිසා ඔබත් එක්ක වැඩ කරනවා කියන එක නම් වෙන කෙනෙකුට සුබදායක අත්දැකීමක් වෙන එකක් නම් නෑ. සැම දෙයක්ම අකුරටම කිරීමට උත්සහා කිරීම නිසා සුළුපටු ආතතියක් නෙවෙයි ඔයාට දරන්න වෙන්නේ. ඒ වගේමයි ඔයා අනික් අයට ලබා දෙන මානසික අසහනයත්. ළමා කාලය වුවත් එතරම් සුවබර එකක් නෙවෙයි.

උත්සහය හා කැපවීමත් තුළින් ඔබට ජීවිතයේ දෙවැනි භාගයේදී ලබාගත නොහැකි ජයග්‍රහණයක් නෑ. ඔබ උගත්කමට හා වයෝවෘද්ධ බවට ගරු කරන කෙනෙක්. එනිසා උගත් වැඩිහිටි අයගේ ආශීර්වාදයත් නිරතුරු හිමියි. රවිගේ ආකර්ෂණයට ප්‍රබලව නතු වීම නිසා අනික් අය අතරේ ඔබ නිතර කැපී පෙනීමට ලක් වෙනවා. නායකත්වය ඔබව හඹා එනවා. මානසික ආතතිය පාලනය කර ගැනීම ඔබ සතු බව නිතර සිහියේ තබා ගත යුතුයි. නැතහොත් හෘද්‍යාබාධයක් විසින් ඔබගේ වටිනා ජීවිතයට තිත තබනු ඇති. කෑම බීම පාලනයක් ඔබ විසින් ඇති කර ගත යුතුමයි. මහජනතාව සම්බන්ධ කටයුතුවලදී ඔබ ඉතා සාර්ථක වනු ඇත. කුටුම්බයට ඉතා ළැදි අයෙකු වන අතර දරුවන් ඉහළට ඔසවා තැබීමට සැම විටම කැප වන්නෙකි. නැසීගිය අසහාය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාත් මෙදින උපත ලද බව සැළයි.

 

අගෝස්තු 4

(පෞද්ගලික අංකය 4)

අගෝස්තු 4 කියන්නේ තරමක් අමුතු දවසක්. මේ දවසේ උපදින අයගේ අසාමාන්‍ය ගති බොහෝ කැපී පෙනෙනු ඇත. තමා මූලිකත්වය ගෙන හිතීමත් තීන්දු තීරණ ගැනීමත් නිසාම ඔබට සාමූහිකව කටයුතු කිරීම හිතන්නට වත් නොහැක්කක් වනු ඇත. හිතට එන සැම සිතුවිල්ලක්ම දෙවරක් නොසිතා ප්‍රකාශ කිරීම නිසා ඔබගේ සමීප ඥාතීන් සමග පවා නොරුස්නා ස්වභාවයක් පැන නගීවි. වෘත්තියට කිසි ලෙසකින් හෝ සම්බන්ධයක් නොමැති අංශයකින් ඔබගේ ආර්ථික අභිවෘද්ධිය සැලසෙන බව කිව යුතුයි. හවුල් ව්‍යාපාරවලින් සාර්ථකත්වයක් ලැබීම උගහටය. ඔබ තුළද අංක 1 හෝ 4 නැඹුරුව ඇති ආකාරය අනුව ඔබගේ සමාජශීලී බව හෝ සමාජයෙන් හුදෙකලා වීම තීරණය වනු ඇත. මහත, කොට අයට ජීවිතයේ මැදිවියේ දි හෘදයාබාධ හෝ මොළයේ නහර අවහිර වීමේ අවදානමට ඉඩ වැඩිය. එහෙත් සිහින්දෑරී, උස ඇත්තන් හට ඇත්තේ ස්නායු ආබාධ හා අංශභාග අවධානමයි. කළු හෝ සුදු වශයෙන් ඔබගේ චරිතය පහසුවෙන් බාහිරට අනාවරණය කර ගත නොහැක්කක්. එය කළ හැක්කේ ඔබටම පමණි. මුදල්වලට එතරම් තැකීමක් නැතත් මුදල් නිසා ඇති වන සමාජ තත්ත්වයට හා බලයට ඔබ කෑදර වනු ඇත. දැන ගෙන ගියොත් එක තැනකද නොදැන ගියොත් තවත් තැනකද ඔබේ ජීවිතයේ ගමනාන්තය නියමිත බව නම් සක්සුදක් සේ පැහැදිලිය. කෘතහස්ථ දේශපාලඥයින් වන පාඨලී චම්පික වගේම රුවන් විජේගුණවර්ධන යන මහත්වරුන් මෙදින උපන් දින සමරනවා.

 

අගෝස්තු 5

(පෞද්ගලික අංකය 5)

ඔබ උපත ලද දිනය ඉතා ප්‍රබල දිනයක්. ආපස්සට හරිලා බලන්න ඔබ පාසැල් ජීවිතය තුළදී කොතෙක් නම් ජයග්‍රහණ අත්කර තියෙනවාද යන්න. නැදෑ හිත මිතුරන් අතර පවා ඔබ කොතෙක් නම් කැපී පෙනෙන චරිතයක්ද යන වග. ඔබේ චරිතය හා බැඳුණු සුවිශේෂීත්වය වන්නේ වේගවත් භාවයයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ වේගවත් සිතුවිලි සාමාන්‍ය සමාජයට නොගැළපීමයි. ඒ නිසා එදිනෙදා ජීවිතයේ සෑම කටයුත්තකදීම ඔබට අනවශ්‍ය මානසික ආතතියක් දරන්න සිදු වෙනවා.

¡පණ්ඩිතයට ඒදණ්ඩේ යන්න බෑ” කිව්වා වගේ බොහෝ ප්‍රශ්න ඔබ විසින්ම ඇති කර ගන්නවා. තේ කෝප්පයේ පවා මකරුන් දකිනවා. මහජනතාව සම්බන්ධ කටයුතුවලදී ඔබ ජීවිතයේ වඩාත් සාර්ථක වනු ඇත. එසේම ඔබට ජීවිත කාලය තුළදී වඩා පලදායි වන්නේ කෙටි කාලීන සැලසුම් පමණක් වන බව නිරතුරු සිහියේ තබා ගන්න. වේගවත් රිය පැදවීම, වේගවත් නර්තනය, වේගවත් ක්‍රීඩා ආදියට ඔබ ප්‍රියය. එසේම වේගවත් චරිතයක් රඟ දැක්වීමකදී වුවද ඔබ වඩාත් සාර්ථක වනු ඇත. නිතර අලුත් මුහුණුවලට පෙම් බඳීන ස්වභාවයක් ද දැක ගැනීමට ඇත. සැම විටම සතුටින් සිටීමට කැමතිය. කිසිවකු විසින් ඔබට අවවාද අනුශාසනා කිරීම ගඟට ඉනි කැපීමක් වනු ඇත. පාප මිත්‍ර ආශ්‍රය නිසා ඔබට ජීවිත කාලය පුරා බොහෝ පාඩම් නොමිළේම උගෙනීමේ අවස්ථාව උදා වනු ඇත. හිටපු කතානායක දිවංගත විජමූ ලො මැතිතුමාගේ ජන්ම සැමරුමත් ඔබ සමගමයි සැමරෙන්නේ.

 

අගෝස්තු 6

(පෞද්ගලික අංකය 6)

පුද්ගලික අංකය 6 තුළ ප්‍රේමණීය බව උතුරා යනවා. උණුසුම් නිකිණි මහේ රවි විසින් ලබාදෙන ජවයත් එක්කම එකී ප්‍රේමණීය බව වඩ වඩාත් තීව්‍ර වෙනවා. ඔබ ඉතා ත්‍යාගශීලීයි. සාණුකම්පිතයි. ඕනෑම ගැටලුවක් දිහා බලන්නෙත් එවැනි උසස් මානුෂික ගුණාංග පෙරදැරිව. සරාගික අයෙක් හැටියට ලෝකයා බොහෝ විට ඔබව වරදවා වටහා ගනු ඇත. ඔබ සැබැවින්ම ආදරයෙන් තොරව ජීවත් විය නොහැකි චරිතයක්. ඔබ ඔබේ පවුලට අසීමිතව ආදරය කරන්නෙක්. බොහෝ අය ඔබගෙන් සැලකිලි හා සත්කාර ලබාගෙන ඔබව අතැර යනු ඇති. එසේ වුවද සෑම විටකදීම තවත් පිරිසක් ඔබව රොද බැඳ ගෙනය. ඔබ කුඩා දරුවන්ටත් හදවතින්ම ඉතා කාරුණිකයි. වයෝවෘද්ධ බව ලෙහෙසියෙන් ඔබ සොයා පැමිණෙන්නේ ද නැත. සුරාවත් නුරාවත් සුඛෝපභෝගී ජීවිතයත් ඇති නම් ඔබ සදහටම තරුණය. ඔබගේ ජීවිතයේ ඇති ප්‍රබල අංකයන්ගේ බලපෑම නිසා කුමන හෝ ක්ෂේත්‍රයක ඔබව ඉහළින්ම ඔසවා තැබෙනු ඇත. එනිසා ඔබගේ වියදම්කාරී පැවතුම් ජීවිත කාලය පුරා ගැට ගසා ගැනීමට ඉඩ සැලසෙනු ඇත. නමුත් වයස 51 පමණ සිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීමට ඔබට ඉඩ සැලසෙනු ඇත. වයස 60 පමණ සිට ආර්ථිකය පිරිහීම ඇරඹෙන විට අනාගත ආයෝජනයක්, බැංකුවේ ඉතිරියක් හෝ රක්ෂණයක් වැනි දෙයක් ඔබ සතු නොවූ විට ඔබ ප්‍රතිනිර්මාණය කරන්නේ අර පළඟැටියාගේ චරිතයම වන බව පමණක් සිහි තබා ගන්නා ලෙස අවධාරණය කළ යුතුමයි. හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහත්තයා වැනි මූනක් දැක්කම සුබසෙත බලන පොඩි දරුවෙක් උනත් හරියටම උපන් දවස කියාවි.

 

අගෝස්තු 7

(පෞද්ගලික අංකය 7)

බිනර මහේ තවත් කැපී පෙනෙන පුද්ගල පෞරුෂයක් ඔබට හිමියි. ජනතා මාධ්‍යයන් ප්‍රතිඵලදායි යමක් කිරීමෙන් නමක් රැන්ඳීම පමණයි ඔබේ ජීවිතයේ එකම සිහිණයත්. විශේෂයෙන්ම කලා මාධ්‍යයන් තුළ. පෞද්ගලික අංකය 7 වන විට දේශ දේශාන්තර අතර සංචාරය, මුහුදු ගමන් ආදියත් ඔබේ ජීවිතයට නිරන්තරයෙන් බද්ධ වේවි. එසේම අනාගත අවදානම් කලින්ම දැනෙන අමුතු ඉව බලයකුත් ඔබට හිමියි. එහෙම නේද? ගුප්ත විද්‍යා අංශයට නැඹුරු මෙදින ජන්ම ලාභය ලද ඇත්තෝ තමන් ප්‍රගුණ කරන අංශයෙන් ජයකෙහෙලි නංවන බවත් ඒකාන්තයි. ශාරීරික වශයෙන් ඔබ එතරම් ශක්තිමත් බවක් පළ නොකළද මානසික තලයේදී ඔබ පතාක යෝධයෙක් වනු ඇත. මුදල් මත්තේ නොනැහුණද ඔබට මදුල් අවශ්‍යමයි. ඒ අන් අයගේ අවශ්‍යතා සපුරා දීම වෙනුවෙන්. පෞද්ගලිකව ව්‍යාපාර මත්තේ නැහෙන්නටත් ඔබ අකමැතියි. නමුත් විවිධ ආයතනයන්ගේ තනතුරු භාර ගැනීමට ඔබ නොපැකිළෙන්නේ මුදල් අවශ්‍යතාවය නිසාමයි. ඔබ දිවි ගෙවන්නේ ඔබේම මොඩලයකට අනුවයි. ඔබ සාර්ථක වන්නේද ඔබම සොයා ගත් දෙයකින් හෝ ප්‍රගූණ කළ හැකියාවකින්. මුළු ජීවිත කාලය පුරාම සමාජය සමඟ ගැටෙන්නේ තමන්ගේ අසාමාන්‍යය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. නිකමට හිතලා බලන්නකෝ විශාරද ගුණදාස කපුගේ මහත්තයා අප අතරින් සමු අරං මෙතරම් කාලයක් ගෙවිලා ගිහිල්ලත් ඒ මහත්තයාගේ මනුස්සකම් ගැන මිනිස්සු අදටත් කතා කරන එක අහවරයක් වෙලා නැත්තේ නිකමටද කියලා.

 

අගෝස්තු 8

(පෞද්ගලික අංකය 8)

පරස්පර විරෝධී සමාජ කණ්ඩායම් දෙකකින් එකකට ඔබ අනිවාර්්‍යයෙන්ම අයත්. එක්කෝ ඔබ ද්‍රව්‍යවාදයෙන් අන්තයේ.

නැත්නම් අධ්‍යාත්මිකවාදී බවින් අන්තයක. මේ වන විට ඔබ තරුණ වයසේ පසු වන්නෙක්ද? එසේම මේ වන විට ආගම හා ගුප්ත ශාස්ත්‍ර තැකීමක් නොකරන්නෙක් ද? එසේ නම් ඔබ මැදිවියේදී අනිවාර්්‍යයෙන්ම අංශක 180 ක් ආපස්සට හැරෙනවා මයි. ඔබ දැඩි අයෙක්. වටහා ගැනීමට අපහසු අයෙක්. සමාජයේ සෙසු අයට ඔබව වටහා ගැනීම හරිම අපහසුයි. සමාජයේ අනික් අය සමග හවුල් කටයුතු කිරීම ඔබට ඊටත් අපහසුයි. සමාජය සමඟ නොගැළපීම කැපී පෙනෙන නිසාම ඔබේ ජීවිතයේ සැලසුම් සැම එකක්ම තනිවයි සිදු කෙරෙන්නේ. ඔබ ඉතා කරුණාවන්ත හා ත්‍යාගශීලී අයෙක්.

එසේ වුවත් ඔබගේ උසස් ගුණාංග ඇගයීමට පත් වෙන්නේ අඩුවෙන්. මිතුරු වෙසින් එන සතුරන් හඳුනා නොගත්තොත් ජීවිත කාලය තුළ ඔබට බොහෝ අලාභ හානී සිදු වේවි. භූමිය ආශ්‍රිත කර්මාන්ත හෝ කෘෂිකර්මාන්තය වැනි අංශවලින් ඔබට වැඩි ආර්ථික වාසි ලැබිය හැකියි. නමුත් ඔබ අවධානයෙන් පසු නොවුණහොත් ඔබගේ යටත් සේවකයන් විසින් පවා ඔබට වංචා කිරීම් සුලබ වනු ඇත. ඔබ මනසින් කඩා වැටීමත් සමඟ නිරායාසයෙන්මයි සෞඛ්‍ය තත්ත්වයත් කඩා වැටෙන්නේ. පුදුමය නම් එවැනි අවස්ථා වලදී ඔබේ අතට අසුවන්නේද වැරදි ඔසු වර්ග ආදිය පමණක්ම වීමයි. කෘතහස්ථ දේශපාලඥයකු වූ ඊ.එල්. සේනානායක මහතාගේ ජන්ම අනුස්මරණයත් මෙම දිනයටයි යෙදී තියෙන්නේ.

 

අගෝස්තු 9

(පෞද්ගලික අංකය 9)

අවිවාදයෙන් ම ඔබ ප්‍රබල චරිතයක්. සෘජුව තීන්දු තීරණ ගන්නවා විතරක් නෙවෙයි අනික් අයගෙනුත් ඒ වගේ බලාපොරොත්තු වෙනවා. සෘජු ස්වභාවය නිසාම අනවශ්‍ය වාද විවාදවලින් නිතරම සතුරන් ඇති කර ගන්නවා. ගැටලුවක් දුටු තැනදී තමා තුළ ඇති යුක්තිය පිළිබඳ අවබෝධය නිසා වහා එය විසඳා ලීමට ඉදිරිපත්

වෙනවා. කාගේ හෝ අතකොලුවක් වීමට කිසි විටෙකත් කැමැති වන්නේ නැත. රජයේ ඉහළ තනතුරු හෝ හමුදා හා පොලිස් අංශයන්ගෙන් ඔබට සුපිරිම ආකාරයට වැඩ පෙන්විය හැකි වෙනවා. ඔබ ලෙහෙසියෙන් කෝප ගැන්වෙන්නේ නැත. ඔබ කෝප ගැන්වුවහොත් ප්‍රතිවාදියාගේ ජීවිත අයිතිය සැක සහිත වනු ඇත. එනිසාම ඔබ තමන්ගේ තත්ත්වයට නොගැළපෙන අය දෙස උපහාසයෙන් බලනවා මිස ඔවුන් සමග පැටලෙන්නේ නැත. වයස 21 තෙක් ඔබ වැඩි වශයෙන් ගත කරන්නේ රෝහල් පෝලිමේය.

ඉන්පසු හොඳීන් ඔරොත්තු දීමේ හැකියාව ඇතිව ඉදිරි කාලය පුරා පංච කාමයන් පෝලිමට හඹා යනු ඇත. අධිකාම යෝගයන්ගේ බලපෑම බුද්ධිමත්ව පාලනය කර ගැනීමට අසමත් වුවහොත් අනිවාර්්‍යයෙන් සිදු වන්නේ "ඇඟේ ගාගෙන ගෙරි මස් කෑවා” වැනි තත්ත්වයක්. කෙසේ වුවත් 36 වියෙන් පසු ජීවිතයේ දෙවැනි භාගයේ ඇති වන පරිණත බවත් සමග ඔබ නවතින පෝළිම වන්නේ පිරුවට හැඳ ධර්මාවබෝධය හඹා යන සැදැහැතියන්ගේ පෝලිමයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ හිටපු දියවඩන නිළමේ තැන්පත් ගරු. නෙරංජන් විජේරත්න මැතිතුමත් ඔබ සමගයි මෙදින උපන් දින සමරනු ලබන්නේ.

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන මැතිතුමා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.